නඳුනි කරුණාතිලක සහ දිනූෂ දිසානායක කියන්නේ මේ දිනවල රූපවාහිනී තිරයේ නිතර දක්නට ලැබෙන යුවළක්. ආකර්ෂණීය රූසපුවකට හිමිකම් කියන නඳුනි සහ කඩවසම් පෙනුමින් යුතු දිනූෂ ක්ෂේත්රයට පිවිසෙන්නේම විවාහකයන් ලෙසින්. විවාහක බව ප්‍රේක්ෂක ආදරයට කිසිසේත්ම ගැටලුවක් නොවූ බවයි ඔවුන් පවසන්නේ. දෙරණ නාලිකාවේ මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දිලූක ප්‍රසාද්ගේ ඉස්කෝලේ හි ආලෝකා ටීචර් ඇයයි. බොහෝ ප්‍රතිචාර ලබමින් විකාශය වුණු පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේ නිරාශා මෙන්ම දියණි ටෙලිනාට්‍යයේ සචිනි සහ රිතූ වූයේද ඇයයි.
නඳුනි අමතක වෙන තරමටම මේ දවස්වල ආලෝකා ජනප්‍රිය වෙලා නේද?
ඒක නම් ඇත්ත. කොහේ ගියත් මිනිස්සු මට ආලෝකා කියලා කතා කරන තරමටම ආලෝකා මිනිස්සු වැලඳගෙන. ඒ වගේම පුංචි ළමයින්ගේ ආදරෙත් නොඅඩුවම ලැබෙනවා.
නඳුනි කොහොමද ආලෝකා වුණේ?
මීට කලින් මං දිලූක අයියගේ ටෙලි ෆිල්ම් කිහිපයකම වැඩ කරලා තියෙනවා. ඒ සම්බන්ධතාව මත තමයි මට ඉස්කෝලේ නාට්‍යයට ආරාධනා ලැබුණේ. ලක්සිරි වික්‍රමගේ මහත්මයා වගේම එහි තිර රචනය කළ සමන් එදිරිමුණි අයියගේත් තේරීම මත තමයි මාව ඒ සඳහා තෝරාගත්තේ.
එතකොට නඳුනි කලා ක්ෂේත්රයට සම්බන්ධ වුණේ කොහොමද?
දෙරණ නාලිකාව හරහා තමයි මං කලාවට යොමු වෙන්නේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හදාරමින් ඉන්න කාලේ මගේ ෆොටෝ එකක් මුහුණු පොතින් දැකලා මට දෙවැනි ඉණිමේ මාලිකා කියන බාලිකාවගේ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක නම් පොඩි චරිතයක්. ඊට පස්සේ පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. මේක මට විශේෂයි. මගේ මහත්තය දිනූෂ දිසානායක එක්ක එකටම රඟපාන්න ලැබුණ නිසා. ළමයින්ට ආදරේ කරන, ඒත් ළමයි නැති නිසා මහත්තයගේ වගේම නැන්දම්මගේ තාඩන පීඩනවලට ලක්වන කාන්තාවකගේ චරිතයක් මට කරන්න තිබුණේ. ඒක මං ගොඩක් කැමැත්තෙන් කළ චරිතයක්. ඊට පස්සේ දිලූක ප්‍රසාද්ගේ ටෙලි ෆිල්ම් කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ හඳුනා ගැනීම නිසා තමයි ඉස්කෝලේ නාට්‍යයට මට අවස්ථාව ලැබුණේ.
ඔය අතරේ හර්ෂ උඩකන්දගේ දියණි ටෙලි නාට්‍යයට දායක වුණා. එය තමයි මගේ රංගන ජීවිතේ සුවිශේෂී හැරවුම වුණේ. එහි මං කළේ ද්විත්ව චරිතයක්. සචිනි සහ රිතූ කියන්නේ නිවුන් සොහොයුරියන්. ඒත් හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. සචිනි බොහෝ දුරට පාවෙලා වළාකුලේ චරිතයට සමානකමක් තිබුණා. ඒත් රිතූ කියන්නේ පිටරටක හැදුණු වැඩුණු බටහිර සංස්කෘතියට හැඩගැහුණු තරුණියක්. එය මට අභියෝගයක් නොවුණාමත් නෙවෙයි.
ඊට පස්සේ එන් කවුන්ටර් 2 කියලා සියත නාලිකාවේ විකාශය වුණු නාට්‍යයකට සම්බන්ධ වුණා. මේ දවස්වල දිගටම ඉස්කෝලේ එක්ක තමයි.
ඔබට සිනමාව ගැන අත්දැකීම් නැද්ද තවම?
මට ආරාධනා කිහිපයක්ම ලැබුණා. යම් යම් හේතු නිසා ඒවාට සම්බන්ධ වෙන්න බැරි වුණා. චරිතයක් භාරගනිද්දි මං පොඩ්ඩක් පිටපත ගැන හොයලා බලනවා. ලොකුවට සීමා මායිම් දාගෙන ඉන්නවා කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. මට ආස චරිතයක් ලැබුණොත් මං උපරිමයෙන් කැප වෙලා කරනවා. ඉදිරියේ දී හොඳ චරිතයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනව ද?
මම එහෙම හැදෑරීමක් කරලා ක්ෂේත්රයට ආපු කෙනෙක් නෙවෙයි. රංගනය කියන්නේ මට අහඹුවක්. අත්දැකීම්වලින් සහ මා වටා ඉන්න, මා හා ගැටෙන ප්‍රවීණයන්ගෙන් තමයි මං බොහෝ දේ ඉගෙන ගන්නේ.
එතකොට දිනූෂව මුණගැහෙන්නේ ක්ෂේත්රයට ආවට පස්සෙද?
දිනූෂව මට හමුවෙන්නේ ක්ෂේත්රයට එන්නත් කලින්. 2015 වගේ. ෆේස්බුක් එකෙන් තමයි මුලින්ම මම ඔහු දකින්නේ. අපි දෙන්නම නුවර. ඉතින් ඒ හඳුනාගැනීම තමයි හමුවෙලා කතාබහ කරලා ආදරයක් දක්වා වර්ධනය වුණේ. පාවෙලා වලාකුළේ නාට්‍යයට සම්බන්ධ වුණේ අපි දෙන්නා විවාහ වුණ අලුතමයි.
රංගන කටයුතුවලට දිනුෂගෙන් ඔබට ලොකු සහායක් ලැබෙනවනේ?. ගෙදර දොර කටයුතු වලදී ලැබෙන සහාය කොහොම ද?
කලින් අපි නුවර හිටියේ. ඒත් නිතර යන්න එන්න අපහසු නිසා අපි කොළඹ පදිංචි වුණා. අපි දෙන්නම එකම ක්ෂේත්රයේ නිසා ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ගේ දොර වැඩත් හරිම සහයෝගයෙන් කරගන්නවා. එයා මගේ සෙවණැල්ල වගේ මගේ හැම දේකටම උදවු කරනවා. අපි හරි සතුටින් කාලය ගත කරනවා.
ඔබ ඉටු කරගැනීමට අපේක්ෂාවෙන් සිටින බලාපොරොත්තු ගැන සඳහන් කළොත්?
දිනූෂගේ ව්‍යාපාර කටයුතුවලටත් සහාය දෙන ගමන් මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි මට තියෙන එකම බලාපොරොත්තුව.
මුහුණුපොතේ හඳුනාගැනීම විවාහයක් දක්වා ගෙන ගිය ඔවුන් ජයග්‍රාහී ප්‍රේමවන්තයන් යුවළක්. දිනූෂ කියන්නෙත් රංගනය වගේම ගීත ගායනයටත් දස්කම් දක්වන කලා ශිල්පියෙක්. නඳුනිට නිරුතුරුවම රැකවරණය, ආරක්ෂාව දෙමින් ඇය පසුපසම ඉන්න ඇගේ ආදරණීය සැමියා දිනූෂවත් අප කතාබහට එක්කර ගත්තා.
දිනූෂ කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නෙත් රංගන ශිල්පියෙක් විදියට ද?
නැහැ. මං මුලින්ම සම්බන්ධ වෙන්නේ රියැලිටි වැඩසටහනකට. ඒ 2014 වසරේ. දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 එකේ අවසන් 10 දෙනා දක්වා ආවා. ඒ ඔස්සේ තමයි දෙරණ මාව හඳුනගන්නේ. ඊට අවුරුදු 4කට පස්සේ තමයි ලක්සිරි වික්‍රමගේ මහත්මයාගෙන් රංගනය සඳහා ආරාධනයක් ලැබුණේ. ඒ පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට. ඒක මට සුවිශේෂී අවස්ථාවක් වුණා. එකක් මට ලැබුණු මුල්ම නිර්මාණයම ප්‍රධාන චරිතයක් වීම. අනිත් එක තමයි මගේ බිරිය නඳුනිත් ඒකේ ප්‍රධාන චරිතයකට තෝරාගෙන තිබීම. අපි දෙන්නම හිටිය නිසා ලොකු සතුටක් වගේම ලොකු පහසුවක් වුණා ඒ අත්දැකීමට මුහුණ දෙන්න. ප්‍රේක්ෂකයන් අපිව හඳුනාගත්තේ ඒකෙන් කිව්වොත් නිවැරැදියි.
රංගනය නිසා සංගීතය ඔබෙන් ගිලිහුණා නේද?
බොහෝදුරට ඔව්. පාවෙලා වලාකුළෙන් පස්සේ එක දිගට නාට්‍ය කිහිපයක්ම ලැබුණා. ධරණී කියන්නේ සටන් කලාව මුසුවුණු ටෙලි නාට්‍යයක්. ගොඩක් පුහුණුවීම් කළත් ලොකු රිස්ක් එකක් අරගෙන තමයි මේ වගේ රටක ඒ වගේ ජවනිකා කරන්න සිද්ධ වෙන්නේ. වෙන රටවල වගේ පහසුකම් නැති නිසා අනතුරක් වෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩියි. ඒක ලොකු අභියෝගයක් වුණා. ඊට පස්සේ දියණී. රාජිණී කියන්නේ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයක්. ලොක්කී 2 ඉදිරියට විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක්. මෙතෙක් මට ලැබුණු හැම චරිතයක්ම වගේ ප්‍රධාන චරිත වීම මට ලොකු සතුටක්.
රංගන කටයුතු නිසා සංගීතය පැත්තට තාවකාලික විවේකයක් දෙන්න වුණා. ඒත් සම්පූර්ණයෙන්ම කියන්නත් බැහැ. මං දායක වුණු පාවෙලා වලාකුළේ, දියණි, රාජිණී වගේ නාට්‍යවල තේමා ගීතය සඳහා මං දායකත්වය ලබා දුන්නා. ඉදිරියේ දී සංගීතය පැත්තට වැඩි බරක් දෙන්න හිතාගෙන ඉන්නවා. පොඩි විවේකයක් අරන් නැවතත් සංගීතය පැත්තට යොමුවෙන්න තමයි අදහස් කරන් ඉන්නේ.
ඔබගේම කියලා නිර්මාණයක් තාම කරලා නැද්ද?
මගේම කියලා තනි නිර්මාණයක් නම් තාම කරලා නැහැ. අපි දෙන්න වෙඩින් එකට සින්දුවක් කළා. මගේම කියලා නිර්මාණ කිහිපයක් ඉක්මනින්ම එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. නඳුනිටත් හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි දෙන්නගේ සින්දුවකුත් කරන්නයි හිතාගෙන ඉන්නේ.
දිනූෂ ව්‍යාපාරිකයෙක් කියලත් ආරංචියි?
මට හොටෙල් එකක් තියෙනවා. මේ දවස්වල ඒ ගැන බලන්නවත් කාලයක් නැහැ. ඒ වැඩකටයුතු බලාගෙන රංගනයට මට අවශ්‍ය නිදහස ලබා දෙන්නේ මගේ අම්මයි තාත්තයි තමයි.
නඳුනි කියන්නේ ආකර්ෂණීය තරුණියක්. ක්ෂේත්රයෙන් හරි වෙනත් අයුරකින් හරි ඇයට යෝජනා බලපෑම් එහෙම ඇවිත් නැද්ද?
අපි දෙන්න අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නැතත් ඇය තමන්ගේ පාඩුවේ අදාළ වැඩේ විතරක් කරගෙන ඉන්න කෙනෙක්. ඇත්තම කියනව නම් අද වනතුරු මැසේජ් එකකින්වත් ඇයට කාගෙන්වත් එහෙම අයුතු බලපෑමක් වෙලා නැහැ. හැමෝගෙම සහයෝගය අපට ලැබෙනවා. ඒ ගැන නම් හරිම සතුටුයි.