දිවිතුරා”හි ටීනා… එසේත් නැත්තම් සංජනා ගමාරච්චි. මේ දිනවල “හවුස්ෆුල්” හි නිවේදන කටයුතු එහෙමත් කරන ඇය, සමාජ මාධ්‍ය තුළත් කතා මවන චරිතයක්. ඒ වගේම ඇගේ විවාහ ගිවිස ගැනීමත් පසුගිය දවසක සිදුවුණා ඔබට මතක ඇති. සංජානා ඇගේ ජීවිතේ අමතක නොවන මතකයක් ගැන යූටියුබ් නාලිකාවකට මේ විදිහට කියා තිබුණා. මේ ඒ ගැනයි…
ජීවිතේ ලස්සනම දවසේ අම්මා ළඟ හිටියා නම් කියලා හිතිලා නැද්ද ? (මැරි කරන දවසේ..) ඒක නම් හිතුණා. ළඟදි දන්න ගායකයෙක්ගේ වෙඩින් එකක් තිබ්බා. ඒකේදි අර පෝරුවේ නැඟලා අම්මට ගිෆ්ට් එකක් දෙනවනේ. අෂ්ඨක කියන කෙනා අම්මාගේ ගුණ කියනකොට මට ඉන්න ම බෑ. මම දෙවනි මනමාලිට හිටියේ. මම වෙව්ලනවා. මට මතක් වෙනවා, ලබන අවුරුද්දෙ මම කසාද බඳිනකොට මම කාටද මේක දෙන්නෙ? කොහෙම ද මං මේක කරන්නෙ.
සමහරවිට පෝරුවේදී මම අඬලා බිම වැටෙයි. ඒ තරම් බැඳීමක් අම්මගෙයි මගෙයි තිබුණේ. තාත්තා ගොඩක් ළඟ නංගිට. හැබැයි මම අම්මට. හොඳ වෙලාවට මම රඟපාන්න ආවේ. මම ගෙදර හිටියනම් අම්මා නැතිවෙලා එක්කෝ මම පිස්සියක් වෙලා පිස්සන් කොටුවක, නැත්තම් මගේ ජීවිතේ වුණත් නැති වෙන්න තිබ්බා. අම්මා ෆන්ෂන් ගියත් කේක් කෑල්ලක් මං වෙනුවෙන් අරන් එනවා. අම්මා නැතිවුණේ පිළිකාවකින්. අම්මාගේ රෝගය හැදුණට පස්සෙ මහරගම රෝහලට යන්න වුණා. යද්දි දැක්කා මිනිස්සු දුක් විඳපු හැටි..
ඒ වෙලාවේ මට හිතුණා මේ ජීවිතේ මොකද්ද කියලා.. අපි අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කළා. මම කියනවනේ මම මැරි කරන්නෙ සල්ලි තියෙන කෙනෙක් කියලා. ඒකට හේතුවක් තියෙනවා. අම්මට මාසෙකට සැරයක් ඉන්ජක්ෂන් එකක් ගහනවා. ඒක ගැහුවම ඒක කන්න බෑ, අමාරුයි. ඒ ඉන්ජක්ෂන් එක හරි ගණන්… සල්ලි තියෙන මිනිස්සු එළියෙන් ගෙනල්ලා ගහනවා. ඒක ගහන්න බැරි වෙච්ච මිනිස්සු හිටියා. ඊළඟ දවසේ අල්ලපු ඇඳේ හිටපු කෙනා නෑ. නැතිවෙලා… දවසක මම හරි හස්බන් හරි අසනීප වුණොත් මට ඉන්ජක්ෂන් ගහන්න ඔය පෝස්ට් හදන අය එනවද නෑනේ…