මං වැඩිපුරම ආස වුණේ ඉස්සෙල්ලම අපේ පවුලට දුවෙක් ලැබෙනවට - සාරංග දිසාසේකර



සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දිනවල කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍යවලත් ගොඩක් ජනප්‍රිය යුවලක්. සාරංග දිනක්ෂි පවුලට එක් වුණ අලුත්ම සාමාජිකාව සාරන්‍යා දියණියත් දැන් සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයට පත්වෙලා. ඇගේ පළමු උපන්දිනය පසුගියදාක සැමරුවා. විටින් විට පැහැදිලිව නොපෙනෙන ඇගේ පින්තූර මාධ්‍යයන්ට එක්කළත් පළමු උපන්දිනයත් සමඟින් පළවූ ඇගේ සේයා රූ නිසා ඇයත් බොහෝ ජනප්‍රියත්වයට පත්වුණා. සාරංග දිනක්ෂි යුවල අපේ කතාබහට එක්කර ගත්තේ ඒ ගැන කතාකරන්න හිතාගෙන. පුංචි දෝණි වැඩිපුරම ආදරේ තාත්තට කියලයි ආරංචිය. කොහොම වුණත් මේ පුංචි පවුල ගැන අපි මුලින්ම කතා කලේ සාරංගත් එක්ක.


සාරංග දැන් වගකීම් ගොඩක් තියෙන තාත්ත කෙනෙක් වෙලා නේද? කොහොමද ඒ අත්දැකීම? 


“ඒක නම් වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. මටත් දැන් දුවෙකුගේ වගකීමක් තියෙනව නේද කියලා හිතෙනවා. කොහොමත් මං වැඩිපුරම ආස වුණේ පළමුවෙන්ම අපේ පවුලට දුවෙක් ලැබෙනවට. ඉතින් ඒ ආසාවත් ඉෂ්ට වුණා. චූටි දෝණි හරිම හුරතල්. ඒ වගේම එයා මට ගොඩක් ආදරෙයි. එයාගෙ හුරතලෙත් එක්ක කාලය ගත වෙද්දි හරිම සතුටුයි. ශේෂාද්‍රි නංගිගෙ බබයි අපේ දෝණියි තමයි මේ දවස්වල පවුලේ අවධානය දිනා ගෙන තියෙන්නේ. දැන් බබාට අවුරුද්දයි. හැමෝම මෙයා එක්ක කතා කරන නිසා එයත් දැන් වචනෙ දෙක කතා කරන්න පටන් අරගෙන. මේ කාලය හරිම සතුටින් ගෙවෙන්නේ.


චූටි දෝණිගෙ ඇස් දෙක සාරංගගෙ වගේ කියලා කවුරුත් කියලා තියෙනවද?


සමහරු එහෙම කියනවා. ඒත් වෙලාවකට මට හිතෙනවා දිනක්ෂිගෙ තාත්ත වගේත් කියලා. ඩිම්පල්ස් දෙක නම් සීයගෙ. ඇස් දෙක දිනක්ෂිගෙ වගේ කියලත් හිතෙනවා. එයා කාගෙත් සංකලනයක් කියලයි මට හිතෙන්නේ.


පසුගිය දිනවල දූගේ උපන්දිනේ ජයටම සමරපු මතක සටහන් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. ඒ ගැන සඳහන් කළොත්?


දෝණිගෙ උපන්දිනේ දවසෙ ගැහැනු දරුවන් ඉන්න ළමා නිවාසෙක තමයි අපි දවසම ගත කළේ. තැන් කිහිපයක්ම බැලුවත් එදා දවසෙ අපට ලැබුණෙ ගැහැනු දරුවන් විතරක් ඉන්න ළමා නිවාසයක්. අපටත් ඉන්නෙ ගැහැනු දරුවෙක් නිසා ඒකත් හොඳයි කියලා හිතුණා. ඊට දවස් දෙකකට පස්සේ හිතමිතුරන්ට සාදයක් තිබුණා. වැඩිපුරම සහභාගී වුණේ ක්ෂේත්‍රයේ අපේ පරම්පරාවේ අය. ගොඩක්ම කුඩා දරුවන් ඉන්න අය. ඒ හැමෝම දෝණිට සුබ පැතුවෙ හරිම ආදරෙන්.


ගායකයෙක්, රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් ලෙස දස්කම් දක්වන ඔබ කලාවට සම්බන්ධ වූ අයුරු මතක් කළොත්?


මම කුඩා කාලෙම තමයි අම්මගේ අතේ එල්ලිලා ගුවන්විදුලියටයි, රූපවාහිනියටයි එන්නේ. ළමා ශිල්පීන්ගේ පරීක්ෂණවලින් සමත් වෙලා ළමාපිටිය වගේම ගුවන්විදුලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. රූපවාහිනියේ අතුල රන්සිරිලාල් මහත්මයා යටතේ හඬකැවීම් පුහුණු වුණා. එතැන තමයි අඩිතාලම. ඒ ලැබුණු පන්නරය පසුකාලීනව රංගන දිවියට අත්වැලක් වුණා කියලයි මට හිතෙන්නේ.


සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ ‘ස්මරණ සමාප්ති‘ටෙලි චිත්‍රපටය තමයි මගේ පළමු කලා නිර්මාණය. ඊට පස්සේ අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර කාලය යොදවන්න වුණා. පරිගණක ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුව නිසා පිටරට යන්න අවස්ථාව ලැබුණා. ඊට කලින් මං ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා තිබුණත් ඒක විකාශය වෙද්දි මං මෙහේ හිටියෙ නෑ. ඒක දැකපු කිහිප දෙනෙක්ම මං ගැන හොයලා තිබුණා. ලංකාවට ආවට පස්සේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ තිර පිටපතකට ප්‍රේමකුමාර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘පිපි පියුම්’ ටෙලි නාට්‍යයේ සරෝජ්ගේ චරිතයට මාව තෝරගත්තා. ඉන්පස්සේ දිගටම නිර්මාණවලට දායක වුණා. ‘බොඳ මීදුම්’ ගොඩක් ජනප්‍රිය වුණා.


මෙහිදී ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා මතක් නොකරම බෑ. බොළඳ ප්‍රේමවන්තයාගෙන් මිදිලා කළු, අළු චරිත සඳහා මාව පොලඹවලා චරිතාංග නළුවෙක් වෙන්න අවශ්‍ය චරිත ලබාදුන්නේ ඔහුයි. ඒක අවදානමක් වුණත් ජනප්‍රියත්වය ගැන නොසිතා ඒ අවදානම ගත්ත නිසා තමයි මං වෙනස් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිහින් සාර්ථක වුණේ. ‘මුතු පලසෙ’ සාගර ඉද්දමල්ගොඩ කියන ටෙලි අධ්‍යක්ෂකගෙ චරිතය, ‘හාරකෝටියේ’ සාරා, ‘හංස පිහාටුවේ’ මෝරැල්ලේ කිත්තා, ‘වස්සානයේ ප්‍රේමය’හි ආධිත්‍ය වගේම හොඳම නළුවාට නිර්දේශ වුණ රුක්මාල් නිරෝෂ්ගේ ‘සුළඟ මත මොහොතක්’හි අසංක ගොඩක් සාර්ථක වුණා වගේම ජනප්‍රියත් වුණා.


ඒ අතර වේදිකා නාට්‍ය සඳහාත් දායක වුණා. මේ වෙද්දි වේදිකා නාට්‍ය 10ක් විතර කරලා තියෙනවා. ‘මාර හොරු’ නාට්‍ය හොඳම නළුවාට නිර්දේශ වීමත් සතුටක්. සිනමාවටත් සම්බන්ධ වුණා.


සාරංග දිසාසේකර කියද්දි අනිවාර්යයෙන්ම මතකයට එන්නේ ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකර. රංගනයටයි, නිවේදනයටයි මැදි වෙද්දි තාත්තගෙන් ලැබුණු දායාදය ඔබෙන් ගිලිහී ගියාවත්ද?


හිරු ස්ටාර් වැඩසටහනත් එක්ක ගොඩක් කාර්යබහුල වුණා. ඉදිරි කාලය ගායනය පැත්තට යොමු කරන්න තමයි බලාපොරොත්තුව. කලින් කරපු නිර්මාණ කිහිපයකුත් තියෙනවා. පසුගිය සුමති සම්මාන උලෙළේ දී මගේම නිෂ්පාදනයක් වුණු ‘ලන්සු පතිනියෝ’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය හොඳම ගායකයාට නිර්දේශ වුණා. මෑතකදී කළ ගීතයක් ඉක්මනින්ම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම අධ්‍යක්ෂණය පැත්තටත් අතගහල තියෙනවා.


දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙත් කලා පවුලක පුරුකක්. මේ දවස්වල සමාජ මාධ්‍යවල ඇය අතිශයින් ජනප්‍රියයි. ඒ ඇයගේ විවිධාකාරයේ විලාසිතා නිසා. සාරංග දිනක්ෂි කැදැල්ලේ පොඩිත්ති සාරන‍යා නිසා බොහෝ දෙනාගේ අවධානය තවත් ඔවුන් දෙසට යොමු වුණා.


දිනක්ෂි බලාපොරොත්තුවෙන් හිටියේ දුවෙක්ම ද?


“මං ඉතින් එහෙම විශේෂත්වයක් හිතුවෙ නෑ. එහෙම හිතුවනම් ඒ දේ ඉෂ්ට නොවුණම දුක හිතෙනවනේ. ඒ නිසා මං දෙන්නගෙන් ඕනම කෙනෙක් බාර ගන්න සූදානමින් හිටියේ. සාරංග නම් දුවෙකුට තමයි ආසාවෙන් හිටියේ. දුවෙක් කියන්නෙත් ගෙදරක මිණි පහණනේ. දැන් ඉතින් ඉස්සර වගේ නිදහස නැහැ. වගකීම් වැඩියි. ඒත් හරිම සුන්දර කාලයක්.‍


ක්ෂේත්‍රයේ අය අතර වගේම අන්තර්ජාලයෙත් දැන් දුවට ආදරය කරන අය බොහෝ ඉන්නවා නේද?


ඔව්. හැමෝම වගේ චූටි දුවට ආදරෙයි. අපි හිතුවා දෝණිගෙ පළවෙනි උපන්දිනය පුංචි ළමයි එක්ක සැමරුවොත් හොඳයි කියලා. පුංචි දරුවන්ට තෑගි බෝග දීලා ඒ මූණුවල හිනාව දැක්කම අපිටත් ගොඩක් සතුටුයි. ඊට දවස් දෙකකට පස්සෙ තමයි ක්ෂේත්‍රයේ අපේ හිතවතුන්ට පුංචි සාදයක් සූදානම් කළේ.


සාරන්‍යා දුව ලැබීමත් එක්කම දිනක්ෂි කලාවෙන් ටිකක් ඈත්වෙලා හිටියා නේද?


ඔව්. ඒ කාලය මං බබා වෙනුවෙන් කැප කළා. දැන් එයාට අවුරුද්දයි. එයාගෙ දඟ වැඩ දැන් ටික ටික කරන්න පටන් අරන්. චුට්ට චුට්ට කතා කරන්න, ඇවිදින්න එයා උත්සාහ කරනවා. එයත් එක්ක ගෙවෙන කාලෙ හරිම සුන්දරයි. එයා තාත්තිට තමා ගොඩක්ම ආදරේ. ටීවී එකේ සාරංග ඉන්නව දැක්කොත් අඬනව වඩා ගන්න කියලා. දුවට දැන් අවුරුද්දක් නිසා මං නැවතත් කලා කටයුතුවලට සම්බන්ධ වුණා.


මේ දවස්වල අයි. ටී. එන් නාලිකාවේ විකාශය වන ‘ලෝකා’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඊට අමතරව අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න සාකච්ඡා කරමින් ඉන්නවා.


දිනක්ෂි කලාවට සම්බන්ධ වෙන්නේ තාත්තා නිසා ද?


පුංචි කාලේ තාත්තගේ ෆිල්ම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. දෙරණ නාලිකාවේ විකාශය වුණු ජානක සිරිවර්ධනගේ ‘වස්සාන සිහිනය’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ඔස්සේ තමයි මං පුංචි තිරයට පිවිසියේ. ඒ 2009 වර්ෂයේ. ඊට කලින් මං මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා. ඉන් පස්සේ ‘පියවි’, ‘හිතට වහල්වීමි’, ‘සඳගිරි පව්ව’, ‘හුස්ම වැටෙන මල්’, ‘ලන්සුපතිනියෝ’, ‘රෑන’ වගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.


මං ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වුණු චන්ද්‍රන් රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයක් වූ ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය සඳහා සම්මාන 5ක් හිමිවුණා. ජනාධිපති සම්මාන ජූරියේ විශේෂ ඇගයීම, සරසවි සම්මාන ජූරියේ විශේෂ ඇගයීම, හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන මතු බලාපොරොත්තු තබා ගත හැකි නිළිය, දෙරණ සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය වගේම සිග්නීස් ජූරියේ විශේෂ සම්මානය ලෙස ඇගයීමට ලක්වුණා.


කලාව කියන්නේ මට මවුපිය දායාදයක්. අපේ පවුලටම එය පිහිටලා තියෙනවා.


නංගිලා දෙන්නත් කලාවටම සම්බන්ධ වෙලා ඉන්න නිසා දවසක ඔබේ දියණියත් කලාවට දායාද වුණොත්?


දුවත් කලාවට සම්බන්ධ වෙනවා නම් මං හරිම කැමතියි. ඒත් එහෙම බලකිරීමක් නැහැ. එයා කලාවට කැමති නැත්නම් එයාට කැමති පාරක යන්න ඉඩ දෙනවා.





Previous Post Next Post