මම ආසයි මගේ යුගයේ වෙනස්ම නළුවෙක් වෙන්න - සචින් ලියනගේ




කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ඉහළින්ම දිනා ගන්නට සමත් වූ චරිතයක් නිර්වාන් කියන්නේ. නිර්වාන් මේ දිනවල නම් හිටියට වඩා සෑහෙන්න වෙනස් වෙලා. ඒ නිසාම ප්‍රේක්ෂක ආදරය තව තවත් තිව්‍ර වෙලා. නිර්වාන් විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සචින් ලියනගේ. ඉතින් සචින් මේ දවස්වල මොනවද කරන්නේ කියලා දැන ගන්න බොහෝ ප්‍රේක්ෂකයන් කැමති නිසාම මේ කතා බහ ඔහු සමඟ...


කියා දෙන්න ආදරේ“ ටෙලි නාට්‍යය එක්කම ද කාලය ගත වෙන්නේ, ඒ හැර අනෙකුත් නිර්මාණ කටයුතු මොනවද?


මේ දවස්වල විදෙස්ගත වෙන්න හිටියේ සංදේශ් බණ්ඩාරගේ “පිනොකියෝ“ නාට්‍යය වෙනුවෙන්. නමුත් ඒක පොඩ්ඩක් පරක්කු වුණා. ඒ එක්කම මට අවස්ථාව ලැබුණා ජාතික රූපවාහිනියේ යන කොරියන් නාට්‍යයකට හඬ දායකත්වය ලබා දෙන්න. එය මගේ පළමු හඬකැවීම. ඒක මගේ හඬ පාලනයට පවා ලැබුණු හොඳ අත්දැකීමක්. ජාතික රූපවාහිනිය කියන්නේ මම ගොඩක් කැමති නාලිකාවක්. පොඩි කාලේ ඉඳන් ටයිටස් තොටවත්තයන් කරපු හඬකැවීම් නිර්මාණ මම ආසාවෙන් බලපු කෙනෙක්. ඒ නිසා ඔහු හඬ කැවීම් සිදු කළ ඒ මැදිරියේ ඉඳන් මට හඬකැවීම් සිදු කරන්න ලැබීම ම මම දකින්නේ භාග්‍යයක් විදියට. එය නොවැම්බර් මාසයේදී රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙයි. ඒ වගේම තවත් ආදර කතාවකට මම සම්බන්ධ වුණා. එය “ජානු“ කියලා. ඔය දේවල්වලට අමතරව සුපුරුදු ලෙස


“කියා දෙන්න ආදරේ“ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිදුවෙනවා.


දැන් නිර්වාන් නම් ඉස්සරට වඩා වෙනස් වෙලා,


ඔව්. නිර්වාන් දැන් වෙනස් වෙලා. එයා හිටියේ බංකුවට වෙලා කට්ටිය කියන දේ අහගෙන ගොඩක් අහිංසක චරිතයක් විදියට. නමුත් මනුස්සයෙක්ගේ ඉවසීමක් තියෙන්නේ ටික දවසයි. ඒ සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ. ඒ නිසා නිර්වාන් දැන් වෙනස් තැනක ඉන්නවා. ඔහුට වගකීම් වැඩියි. ආදර කතාවෙත් පැටලිලා නිසා මොකද කරන්නේ කියන තේරීමත් නැහැ. ඒ නිසා ඔහු බලන්නේ ඉක්මනින් ඒ ප්‍රශ්න විසඳගන්න. ඉතින් නිර්වාන් ඉක්මනින් ඒ ප්‍රශ්න විසඳන්න යාම නිසා අත්විඳින්න වෙන්නේ අමුතු ප්‍රතිඵල.


කොහොමද මේ වෙනසට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර


මුල් කාලයේ නිර්වාන්ට ආදරේ කරනවා වගේම ප්‍රේක්ෂකයෝ සචින් ලියනගේට ආදරේ කරන්න ගත්තා. ඒ ආදරේ අදටත් එහෙමම තියෙනවා. ඒ එක්කම දැනට මාසයකට දෙකකට කලින් එපිසෝඩ් ගත්තම නිර්වාන් කියන චරිතයට ප්‍රේක්ෂකයන් බැණ්නා. ඒ බැණුම්වලින් 10%ක් 15%ක් සචින් ලියනගේටත් ලැබුණා. මම හිතන්නේ ඒක තමයි නිර්වාන් කියන චරිතය මිනිසුන්ට කොයි තරම් දුරට දැනිලා ද කියන එකට හොඳ උදාහරණයක්. දැන් නිර්වාන්ට ආයෙම ගොඩක් හොඳ කියනවා. සචින් ලියනගේ කියන කලාකරුවා ගැන ප්‍රේක්ෂකයන් දැන ගන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ලැබෙන ආදරේ තව අවුරුදු ගාණක් යනකම්ම හිත් තුළ තියෙයි කියලා. ඒ වෙනුවෙන් මම වැඩ කරනවා.


තව කොච්චර කාලයක් නිර්වාන් විදියට ප්‍රේක්ෂකයන් අතරට එයිද?


එහෙම ඉඟියක් දෙන්න නම් අමාරුයි. මම දන්නේ නැහැ ඉස්සරහට මොනව වෙයි ද කියලා. සමහරවිට තව අවුරුද්දක් විතර වෙන්නත් පුළුවන්. 


රංගනයට අමතරව කොයි තරම් ක්‍රීඩාවට නැඹුරුයි ද?


මම දන්නේ නැහැ අනිත් අය ගැන. මම නම් රංගනයට වගේම ක්‍රීඩාවටත් ගොඩක් නැඹුරුයි. මේ ළඟදී තිබ්බ ඩිවිෂන් මැච් එකට මම සෙල්ලම් කළා. ඒකෙන් පස්සේ T 10 ටූනමන්ට් එකක් පටන් ගන්නවා මේ මාසේ 10 වෙනිදා. ඒකට නම් මම ප්ලේ කරන්නේ නැහැ. නමුත් පුළුවන් හැමවෙලේම ක්‍රිකට්, ෆුඩ් බෝල් රගර් වැනි ක්‍රීඩාවන් කරනවා. මගේ මනස රිලැක්ස් කරගන්නේ මගේ යාළුවො එක්ක ක්‍රීඩාවක් කරලා.


සිනමාවට මේ කාලේ ඇරයුම් ලැබුණද?


ටෙලි නාට්‍යය වගේම සිනමාවටත් මම ගොඩක් ආදරෙයි. මේ ළඟදී කළා උදාර අයියාගේ සිනමා නිර්මාණයක වැඩක්. එහි මම කළේ උප චරිතයක්. මම ඉන් ලැබුවේ සිනමාවේ අත්දැකීමක්. මට අත්දැකීම් ඕනේ ඉස්සරහට යන්න. මම නාට්‍යය වලට එන්නේ අහස් මාළිගා එකේ අවුරුද්දක් විතර උප චරිතයක් කරලා ඉන් ලැබූ අත්දැකීම් එක්ක. ඒ නිසා මම සිනමාව ගැන ඉගෙන ගන්න ඕනේ. උදාර අයියා වගේම තව කෙනෙක් මට කතා කළොත් මම යනවා. එහෙම නැතුව එක පාරට ප්‍රධාන චරිතයක් කරන්න ඕනේ කියන තැන මම කොහෙත්ම නැහැ. මට ලැබෙන චරිතය තුළ සාර්ථකව ජීවත් වෙන්න මම මාර කැමතියි. සිනමාව කියන්නේ වෙනම අත්දැකීමක්. මගේ සිහිනය තියෙන්නේ සිනමාව තුළ. ඒ නිසා ඇරයුමක් ලැබුණොත් මම සතුටින් භාරගන්නවා.


පුංචි තිරයේ නම් ඔබ අපූරු ප්‍රේමවන්තයෙක්, සැබෑ ජිවිතේ දී කොහොමද?


සැබෑ ජිවිතේ නම් ඇත්තටම ප්‍රේමවන්තියක් නැහැ. ගෙදරින් නම් පොඩ්ඩක් කරදර කරනවා. මම ගෙදරට පවා කියලා තියෙන්නේ තව කාලයක් දෙන්න කියලා. එකට හේතුව මට තවම විවාහ වෙන්න නම් හිතිලා නැහැ. ඒ වුණත් ප්‍රේමවන්තියක් නැති අඩුව තියෙනවා. අපි බලමු ඉස්සරහට.


සචින්ගේ ආදරේට බලපාන්නේ මොනවද?


සමහර අය කියනවනේ මගේ හිතේ රූපයක් තියෙනවා. මම ඒ රූපය ලැබෙනකම් ඉන්නවා කියලා. මට එහෙම රූපයක් නැහැ. වයසක් නැහැ. ආගමක් නැහැ. සමාජ පන්තියක් නැහැ. මට දැනෙන කෙනෙක් ලැබුණොත් ඒ කෙනා විදියට අනුගත වෙන්න පුළුවන්. ඒ දැනෙන කෙනා හමුවෙනකම් බලාගෙන ඉන්නවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ “අපි crew“ ප්‍රඩක්ෂන් එක තුළින් කලාවට යම් නිර්මාණාත්මක දෙයක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දැනටමත් පිටපත් රචනය කරනවා. රූපවාහිනි නාලිකාවකට මගේ නිර්මාණයක් කරන්න ආසයි. ඒ එක්කම මගේ අනාගත බලාපොරොත්තුව සිනමාව. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න කාලය යොදනවා. මම දැක්ක දෙයක් තමයි මේ ක්ෂේත්‍රයේ හැම යුගයකම බිහි වුණු නළුවන් නිළියන් ඉන්නවා. ඒක එහෙම වුණත් මම ආසයි මගේ යුගයේ වෙනස්ම නළුවෙක් වෙන්න.





Previous Post Next Post