හිතට එකඟව කිරුළු පලඳින්න පුළුවන් නම් කිරුළක බර ඔළුවට බරක් නෙමෙයි - කැරොලයින් ජූරී



කැරොලයින් ජූරී, මේ නම සමාජය වගේම නිරූපණය ක්ෂේත්‍රයට අලුත් නමක්. නම සමාජගත වෙන්නේ පෙරළියක් කරමින්. ඈ තමයි මෙරටට ලෝක විවාහක රූ රැජන කිරුළ දෙවැන්නට ශ්‍රී ලංකාව ට රැගෙන එන්නේ, ඒ රෝසී සේනානායකගෙන් පසුව. එහෙත් ඇය කැමැත්තෙන් හිස දැරූ ඒ බර ඔටුන්න බිමින් තැබුවා. ඒ සිදුවීමත් ලෝකයම කැලඹුවා. කෙසේ නමුත් මේ වෙද්දී ඈ සමාජ සේවිකාවක්. ඒ නිසා ලෝකයක් දිනූ ඈ ගැණත් ඇගේ ආදරණීය සැමියා ගැනත් කතා කරන්න අපි හිතුවා. මේ ඔවුන් වෙනුවෙන් වෙන් කළ කතාබහයි.



කැරොලයින් ලෝක විවාහක රූ රැජන වුණාට පස්සේ බොහෝ සෙයින් කාර්යබහුල වුණා. ඒ කාර්යබහුලකම තවමත් එහෙමමද..?


ඔව්. එහෙම කිරුළක් ජයග්‍රහණය කළාම ගොඩක් කාර්යබහුල වෙනවා. කිරුළ අත ඇරියට පස්සෙ ඊටත් වඩා කාර්යබහුල වුණා කිව්වොත් හරි. ඒ වගේම මේ දවස්වල නම් මගේ empowerment projects ඉදිරියට ගෙනියන්න කටයුතු කරමින් ඉන්නවා. ඒත් එක්කම මගේ අලුත් ව්‍යාපාර කටයුතු නිසාත් තවත් ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා.


 

ඔබ සමාජ සේවිකාවක් බවට පත් වෙලා, මොන අරමුණකින්ද කැරොලයින් ඒ දේ කරන්නේ..?


මගේ projects සමාජ දිරිගැන්වීමක් වෙනවා. මම කරන සමාජ සේවය ගොඩක් පෞද්ගලිකයි. ඒවා මාධ්‍යවල, පින්තුරවල දකින්න ලැබෙන්නේ නැහැ. මම සමාජ දිරිගැන්වීම් (empowerment) projects කරන්නෙ ඒ හරහා මිනිස්සුන්ව දිරිගන්වන්න. අපි මේ සමාජය තුළින් ඉදිරියට ආවහම අපි සමාජය වෙනුවෙන් ආපහු දෙයක් දෙන්න ඕන කියන අදහස මම විශ්වාස කරනවා. ඒ අරමුණ වෙනුවෙන් මම කැප වෙනවා. ඒ නිසා තමයි මම ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. එහෙම නැතුව යටි අරමුණු ඇතිව නෙමෙයි


 

ඔබ විවාහක රූ රැජන නොවුණා නම් සමහර විට ඔය වගේ දේවල් සදහා යොමු නොවෙන්න ඉඩ තිබුණා..?


රූ රැජනක් වුණ හින්දා සමාජ සේවයේ යෙදෙනවා නම් ඒවාවල පින්තූර අරගෙන දාලා, ඒවා ගැන පත්තර වලට ලියලා ප්‍රසිද්ධ කරනවා. සමාජ සේවා කටයුතු කරන්නෙ මගේ ජීවිතේ වෙච්ච අත්දැකීම් හරහා වෙන කාට හරි ඒ අත්දැකීම්වලින් ඉදිරියට යන්න අත්වැලක් වෙන්න පුලුවන් හින්දා. මගේ EMPOWERMENT PROJECTS නම් කරන්න අවස්ථාව හම්බුණේ රූ රැජනක් වුණ හින්දා. නමුත් ඒවත් මම පටන් ගත්තෙ කිරුළ අත ඇරියට පස්සෙ. තමන්ට හම්බුවෙන ප්‍රසිද්ධිය අනුන් වෙනුවෙනුත් කැප කරන්න බැරි නම් රටේ නමින් කිරුළක් දිනන එකෙන් තමන්ට හැර වෙන කාටවත් ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ.


 

ලෝකයක් දිනපු ඔබට, මුළු ලංකාවම ආදරේ කරපු ඔබට පසුගියදා සිදු වූ මිසිස් ශ්‍රී ලංකා අමිහිරි සිදුවීමට මැදිහත් නොවී ඉන්න තිබුණා කියලා දැන් හිතෙන්නේ නැද්ද ..?


අදටත් හරි දේ වෙනුවෙන් හිටගන්න සැම කෙනෙක්ම මාත් එක්ක ඉන්නවා. කිරුළක් දින්නහම ඒ කිරුළට අර්ථයක් තියෙන්න ඕන. ලංකාවට තව ලෝක කිරුළු ගෙන්න පුළුවන්. හැබැයි අපි හරි දේට හරි තැන නොදී අහක බලාගෙන හිටියොත් කවදාවත් අපේ කාන්තාවන්ට ලෝක කිරුළු දිනන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එදා ගන්න ඕන හොදම තීරණය මම ගත්තා, පසු තැවෙන්නේ නැහැ අද මම. හෙටත් එහෙමයි


 

ජාත්‍යන්තර ප්‍රවෘත්ති පවා ඒ සිදුවීම් විකාශය කළා.?


ගොඩක් ජ්‍යාත්‍යන්තර මාධ්‍යවල ඒ ගැන කතා කරා. ගොඩක් වෙලාවට මාධ්‍ය ප්‍රසිද්ධ දේ ගැන කතා කරන්න ආසයි. හරි කතාව මොකක්ද කියලා හොයලා බලනවා අඩුයි. ලෝක ප්‍රසිද්ධ TIME සඟරාවේත් 2021 අවුරුද්දේ අප්‍රේල් 26 හා මැයි 03 පළ වූ ලිපිවල කිරුළක තියෙන්න ඕන වටිනාකම සහ ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕන ඇයි කියලා මම කරපු ප්‍රකාශයක් ගියා.


 


ඔබ ආදරණීය මවක්, නිරූපණ ශිල්පිනියක් හැටියට ඔබට විලාසිතා කරන්න සිදු වෙනවා, ඔබ ඕනෑම විලාසිතාවක් කරන්න දෙපාරක් හිතන්නේ නැද්ද ..?


දෙපාරක් හිතන්න ඕන තැන්වලදි දෙපාරක් හිතනවා. මවක්ද, බිරිඳක්ද කියන පැත්තෙන් නෙමෙයි මම විලාසිතා ගැන දෙපාරක් හිතන්නෙ. මට හිතෙන්නෙ අපි ගොඩක් වෙලාවට අපිට දායාද වෙච්ච බ්‍රිතාන්‍ය සංස්කෘතියෙන් අපේ සමාජෙට ආපු වික්ටෝරියානු ආකල්ප මත තමයි අපි තාම හිතන්නෙ. ඒක අපි ලාංකීය සංස්කෘතිය කියලා ප්‍රසිද්ධියේ සලකනවා. අපි අනුන්ගෙන් ගත්තු සම්ප්‍රදායන් හරහා මිනුම් දණ්ඩක් හදාගෙන අපේ කාන්තාවන් මනින්න පුරුදු වෙලා තියෙන්නෙ.


 

රූ රැජනක් වෙන්න කලින් ඔබ ගෘහණියක් , දැන් කුස්සිය පැත්ත ට ගිහින් රසට කෑමක් බීමක් එහෙම හදන්නේ නැද්ද ..?


රූ රැජණක් වුණා කියලා මම බිරිඳක් සහ මවක් කියන එක අමතක කරන්න ඕන නැහැ. අදටත් උදේ දවල් රෑ මම නිතරම ගැවසෙන තැනක්. අදටත් මම තමයි උයන්නෙ. කිරුළක් හින්දා ඒ දේවල් වෙනස් වෙලා නැහැ. මට හොඳට උයන්න පිහන්න පුළුවන්


 

ලෝකයට නිරාවරණය වුණාට වඩා නිශ්ශබ්දව නිවසේ කටයුතු කරගෙන හිටියා නම් කියලා කැරොලයින්ට කොයි මොහොතක හරි හිතිලා තියෙනවා ද..?


නැහැ. මට එහෙම හිතෙන්නෙ නැහැ. මම විශ්වාස කරන්නෙ ඕනම කාන්තාවක් තමන්ගෙ සිහින කරා යන්න ඕන කියලා. ගෘහයට වෙලා එහෙම ජිවිතේ ගත කරන්න කැමති නම් ඒකෙ වරදක් මම දකින්නෙ නැහැ. ඒ තමන්ගෙ කැමැත්ත. මගේ කැමැත්ත මගේ සිහින කරා යන එක. හැබැයි මගේ ගෙදර වැඩ කොටස මම අදත් එදා වගේම කරනවා. ඒක කොහෙත්ම මඟහරින්නේ නැහැ


 

කටු ඔටුනු හිසට බරයි කියලා කතාවක් තියෙනවනේ, ඒ නිසා ජීවිතේ මේන්ටේන් කරන්න සිදු වෙලා ඇති..ඒක දකින්නේ කොහොමද ..?


මම දැනගෙන හිටියා කිරුළ අත ඇරපු ගමන් මගේ වෙළඳ සන්නාම සමඟ තිබුණු ගිවිසුම් සියල්ල අහෝසි වෙලා මට එන්න තියෙන ආදායම් සියල්ල එක රැයෙන් නැති වෙනවා කියලා. කිරුළුවල කටු නැහැ, තමන්ට ඒ කිරුලු හරි දේ වෙනුවෙන් ඕනෑම වෙලාවක ගලවලා බිම තියන්න පුළුවන් කියලා හිතට එකඟව ඒ කිරුළු පලඳින්න පුළුවන්නම් කිරුළක බර ඔළුවට බරක් නෙමෙයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ


 

කැරොලයින් මුලින්ම දකිද්දී මොන වගේ හැගීමක්ද ඇති වුණේ කියලම ඔබේ කතාබහ ආරම්භ කරමු..?


මුලින්ම කෑරොලයින්ව මම දැක්කෙ ඩුබායිවලදී. අපි දෙන්නම වැඩ කරේ එකම mall එකේ. මම මුලින් හිතුවෙ එයා අරාබි කෙල්ලෙක් කියලා.


 

මෙච්චර ලස්සන යුවතියකට ආදරේ ප්‍රකාශ කරද්දී ඇය එය ප්‍රතික්ෂේප කරොත් කියන බය හිතට දැනුනේ නැද්ද ..?


අපි ඉස්සෙල්ලාම යාළුවො හැටියට තමයි ආශ්‍රය කරේ. එයා හිතුවෙ මම ඉන්දියානු කියලා. අපි නිතරම lunch break එකේදි දකිනවා. දවසක් මට කෝල් එකක් ඇවිල්ලා සිංහලෙන් කතා කරද්දී එයාට ඇහුණා. එතකොට එයා මට සිංහලෙන් කතා කරලා ඇහුවා මම ලංකාවෙද කියලා. එහෙම තමයි අපේ යාළුකම පටන් ගත්තෙ. ඉතින් මම එයාගෙන් එහෙම අහන තත්ත්වෙට එනකොට අපි හොඳ යාළුවො. බැහැ කිව්වොත් යාළුකමත් නැති වෙයිද කියන බය නම් ඇති වුණා.


 

ලෝක රූ රැජන වුණාට පස්සේ ඔබේ බිරිඳගේ ආකල්පමය වෙනසක් වෙලා තියෙනවද..?


ලෝක විවාහක රූ රැජණ වුණාට එයා තාම එදා ගෙදර හිටපු කැරොලයින්ම තමයි. සමහර වෙලාවට මම තමයි එයාට කෑගහලා කියන්නෙ ගෙදර වැඩ නවත්තලා එයාගෙ යන්න තියෙන වැඩවලට යන්න ලෑස්ති වෙන්න කියලා. කිසිම විදිහකින් එයා වෙනස් වෙලා නැහැ.


 


බිරිඳ ජනප්‍රිය වුණාට පස්සේ පවුලත් කඩාගෙන ඇය ගොඩනඟාගත් ජීවීතේට මුල් තැන දෙයි කියලා බයක් හිතෙන්න නැද්ද?


අපි යාළුවො හැටියට ආශ්‍රය කරද්දීත් එයාගෙ සිහින තිබ්බා. හැබැයි කොච්චර උත්සාහ කරත් එයාට දොරවල් ඇරුණේ නැහැ. ඉතින් එයා නිතරම කිව්ව දේ තමයි මොන බාධක ආවත් සිහින වලට යන ගමන අත අරින්න බැහැ කියලා. අපි මොන අමාරුකම් මැද හරි ඒවාට යනවා කියලා, එකට ඒ වෙනුවෙන් වැඩ කරපු හින්දා එහෙම බයක් ආවේ නැහැ. අපි දෙන්නා අතරෙ තාමත් තියෙන්නෙ මුල් දවස්වල යාළුවො හැටියට තිබුණු බැඳීමම තමයි.


 

ඇගේ විලාසිතා ඔබට ප්‍රශ්නයක් නැද්ද ..?


ප්‍රශ්නයක් කරගන්න තරම් ප්‍රශ්නයක් එයාගෙ විලාසිතාවල මම දකින්නෙ නැහැ.


 


කිසිම පළපුරුද්දක් නැතිව ඈ ලෝකයක් දින්නා, නමුත් ඈට ඒ ඔටුන්න බිමින් තියන්න වුණා ස්ව කැමැත්තෙන්, එදා ඔබ ඇයට දොස් කිව්වේ නැද්ද ..?


ඇයට ඔටුන්න බිම තියන්න වුණේ නැහැ. ඇය ඔටුන්න බිම තිබ්බෙ ලෝක විවාහක රූ රැජින ආයතනය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ කියන ස්ථිර තීරණයේ ඇය හිටපු හින්දා. අදටත් ඔවුන් ඇයව 2020 ලෝක රූ රැජණ හැටියට පිළිගන්නවා, හැබැයි ඇය තමන් ‘හිටපු 2020 ලෝක විවාහක රූ රැජන‘ කියලා තමයි කියන්නෙ. මම කිසිම දොසක් කිව්වෙ නැහැ. Las Vegas වගේ ඔපයෙන් පිරිණු නගරෙකට taxi එකෙන් හෝටලේට යන්නත් හෝටලෙන් ගුවන්තොටුපොළට එන්න විතරක් සල්ලි අතේ තියාගෙන ගොඩ බැහැලා අපි ගියේ, හැම දෙයකටම අනුග්‍රහය ලැබුණු අනිත් සෑම තරගකාරියක්ම අබිබවමින් කිරුළ දිනපු ඇයට කිරුළ අත ඇරියත් එයා අලුත් අරමුණක් කරා හිත යොමු කරලා ඒවා ජය ගන්නවා කියලා මම ඇයව විශ්වාස කළා.


 


කොහොමද පවුල් ජීවිතේ, ඇගේ කාර්යබහුල ජීවිතේ එක්ක දරුවගේ වැඩ කටයුතු , ඔබට ඇයව මිස් වෙනවා කියලා හිතනවත් ඇති ..?


පවුල් ජිවිතේ හොඳයි. එයාට කොච්චර වැඩ කටයුතු තිබ්බත් පවුලට මුල් තැන දෙනවා. එයාගෙ ගොඩක් වැඩ කටයුතුවලට මමත් උදවු කරනවා. ඉතින් අපි දෙන්නා වැඩ කටයුතු බෙදාගෙන කරන නිසා අපිට අපිව මිස් වෙලා නැහැ


 


ඇත්තටම ඇය යුතුකම් ඉටු කරන හොද බිරිඳක් ද..?


යුතුකම් කියලා මම දකින දේවල් ඇයගේ අතින් අඩුවක් නැතුව ඉටුවෙනවා.


 


ඔබේ පවුලම විදෙස්ගත වෙලා හිටියේ, දැන් රටේ තියෙන තත්ත්වය එක්ක නැවත විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවෙන් ද ඉන්නේ..?


අපි විදෙස් ගතවෙලා හිටියෙ ඒ දවස්වල ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් හැටියට, පදිංචි වෙන්න නෙමෙයි. අපි දෙන්නම එහෙමයි. පහුගිය අවුරුද්දෙ අපිට ඒ වගේ ආරාධනා ආවා පදිංචියටම එන්න. ඒත් අපි ගියේ නැහැ. කැරොලයින් කිරුළ අත ඇරියට පස්සෙත් අපිට රටවල් කිහිපයකින් ආරාධනා කරා ඇවිත් එහෙ beauty pageants වල තනතුරු දීලා එහෙ එන්න කියලා. හැබැයි අපි ගියේ නැහැ. මේ අපේ රට. කැරොලයින් ආපහු දෙයක් සමාජෙට දෙන්න අපි මෙහෙ ඉන්න ඕන.


 


කතාබහ අවසන් කරන්න කලින් කියමු කැරොලයින් විවාහක රූ රැජන නොවුණා නම් කියලා ඔබට සැමියා විදිහට හිතිලා නැද්ද කියලා ..?


කොච්චර එහෙම හිතිලා තියෙනවද. ලෝක විවාහක රූ රැජන තරගෙට ඇමෙරිකාවට යන්න විසා තුන් පාරක් reject වුණහමයි මගෙයි බබාගෙයි වීසා reject වෙලා එයාට තනියම යන්න වුණ හින්දයි, එහෙ තරගේදි makeup වලටයි අතේ වියදමටයි සල්ලි ණයට හොයාගන්න අපි වටේ දුවපු තරමයි, එයා පාවිච්චි කර කර හිටපු සපත්තු කුට්ටම් හතරකුයි ඇඳුම් ටිකකුයි එක්ක ගිහින් ඔය කිරුළ දිනාගෙන ආවා කියලා හිතෙනකොට මට ඇත්තටම ඔය කිරුළ ඇය කොහොම දින්නද කියලා හිතෙන අවස්ථා තාමත් තියෙනවා.






Previous Post Next Post