මේ දිනවල කවුරුත් කතා කරන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැනය. එය ආරම්භයේ සිටම කාගේත් අවධානය යොමුවූ ක්‍රීඩකයෙකු විය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක ‘49’ ගැසූ ජර්සිය ඇඳි කඩවසම් ක්‍රීඩකයාය. ඒ වෙන කවුරුත් නොව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි. පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වෙන්නට ගිය බොහෝ තරග කණපිට හැරුණේ ඔහුගේ කඩුලු දඩයම නිසාය.ඒ නිසාම දැන් ඔහු ගැන කාට කාටත් ඇත්තේ එසේ මෙසේ විශ්වාසයක් නම් නොවේ. ඉතින් ආසියානු කුසලාන තරගාවලිය අතරවාරයේ වනිඳුගේ නිවසට ගොඩවැදුණේ වනිඳුගේ ආදරණීය අම්මා සමඟ වනිඳු ගැන සොඳුරු කතාබහක් වෙනුවෙනි. ඇය කන්දේගමගේ සමන්තිය.
වනිඳු හසරංගගේ අම්මා විදිහට පුතා ගැන දැන් මොකද හිතෙන්නේ?
මට මගේ පුතා ගැන ආඩම්බරයි. කොච්චර දක්ෂයෙක් වුණත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එකොළොස්දෙනා අතරට එන්න කීයටවත් ලේසි නෑ. ඒත් එයා අද වෙනකොට ජාතික කණ්ඩායමේ තමන්ගේ තැන හදාගෙන තියෙනවා. ඉතින් පුතා ගැන මට ආඩම්බරයි.
පාසල් කාලේ සෑහෙන්න දඟ වැඩ කළා කියලා ආරංචියි.?
ඔව්, ඇත්ත. වනිඳු පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට. එයාගේ යාළුවෙක් තමයි චරිත් අසලංක. මේ දෙන්නා පාසල් වෙලාව ඇතුළේ පන්තියේ ඉන්නේ නැතුව දවසක් ක්‍රිකට් ගහන්න පිට්ටනියට ගිහිල්ලා. ලොකු සර් මෙයාලා හොයන්න යද්දි ඔක්කෝම ළමයි කැලෑ පැනලා. අනිත් අය අහුවෙලා. ඒත් මේ දෙන්නා ගලක් අස්සේ හැංගිලා ඉඳලා බේරිලා. ඉතින් ඔන්න ඔය දේ නිසා මට දවසක් ඉස්කෝලෙටත් යන්න වුණා.
අම්මලා සාමාන්‍යයෙන් පුංචි කාලේ දරුවන්ගේ හඳහන එහෙම බලනවනේ. වනිඳුගෙත් බැලුවද?
අපි ඒ දේවල් ලොකුවට විශ්වාස කරන්නේ නම් නෑ. ඒත් හඳහන නම් දෙතුන් සැරයක් බලලා තියෙනවා. කියන්න තරම් වරදක් තිබුණේ නෑ. හොඳ විදිහට තිබුණා. හැබැයි මේ තරම් ප්‍රසිද්ධ වෙයි වගේ කතා නම් කියලා තිබුණේ නෑ.
වනිඳු ක්‍රිකට්වලට යොමුවුණේ කොහොමද?
පොඩි කාලේ ඉඳන්ම වනිඳුට හොඳටම ඉගෙන ගන්න පුළුවන්. ඒ කාලේ මෙයාගේ අයියා ක්‍රිකට් ගැහුවනේ. ඒ හින්දා මෙයත් කියන්න ගත්තා “අම්මේ මටත් අයියා වගේ ක්‍රිකට් ගහන්න ඕනේ” කියලා. අපි නම් කැමති වුණේ නෑ. ඒත් මෙයා බලෙන්ම වගේ ක්‍රිකට් ගහන්න ගත්තා.
බලෙන්ම වගේ ක්‍රිකට් ගහන්න ගිය වනිඳු ජාතික කණ්ඩායමට තේරෙයි කියලා අම්මා නිකමට හරි හිතුවද?
හීනෙකින්වත් හිතුවේ නෑ. ඒත් මෙයාට ඒ අවස්ථාව ලැබුණා. වෙලාව තමයි ඉතින්. කොහොම හරි වනිඳු හරි ඉක්මනට ලොකු ගමනක් ආවා.
වනිඳු අද ඉන්න තැනට එන්න කොයි තරම් දුෂ්කරතා වින්ද ද?
ඇත්තටම වනිඳු ගොඩාක් දුක් විඳලා තියෙනවා. පුහුණුවීම් නිසා වෙලාවට නොකාපු දවස් හරියට නිදාගත්තේ නැති දවස් ඕන තරම් තිබුණා. අනික දවසම ඉන්නේ අව්වේ. මට මතකයි බස් එකේ නින්ද ගිහින් මෙයා කීප සැරයක්ම බහින තැන් පහුකරලා ගිහින් තිබුණා. ඔය වගේ ගොඩාක් දුක් විඳලා අසීමිත කැපවීමත් එක්ක තමයි එයා මේ ගමන ආවේ.
ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු මුල්ම තරගය අම්මට මතකද?
අනේ ඔව්. වනිඳු එයාගේ මුල්ම තරගයේදි කඩුලු ත්‍රිත්වයක් ගත්තා. මට පුදුම සතුටක් ආවේ. අපි හැමෝම එදා ඒ මැච් එක බලන්න ගිහින් හිටියේ. ඒක තමයි ලොකුම සතුට වුණේ.
අද වනිඳු ජාතික කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්. මොකද ඒ ගැන හිතෙන්නේ?
අම්මෙක් විදිහට ආඩම්බරයි. එයා දැන් මැච් දිනවන කෙනෙක් කියලයි හැමෝම කියන්නේ. ප්‍රේක්ෂකයෝ වුණත් මැච් එකක් වෙලාවට වනිඳු තමයි මුලින්ම ඉන්නවද බලන්නේ. ඇත්තටම කණ්ඩායමට විතරක් නෙවෙයි එයා දැන් ප්‍රේක්ෂකයන්ටත් නැතුවම බෑ.
අම්මා දකින විදිහට වනිඳු ක්‍රීඩාපිටියේදී කරන ලොකුම වැරැද්ද මොකක්ද?
මෙයා බැට් කරද්දි පුදුම කලබලයක් තියෙන්නේ. ඒ නිසා නිකරුණේ විකට් එක දෙනවා. දැන් නම් මමයි තාත්තයි කියලා කියලම පොඩ්ඩක් හැදිලා ඉන්නේ. තාත්තා නම් වෙලාවකට හරියට ගහන්නේ නෑ කියලා හොඳටම බණිනවා.
එතකොට වනිඳු ගෙදරදි එහෙම මොන වගේ කෙනෙක්ද?
අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ඒ හැමදේම වනිඳු ළඟ තියෙනවා. මට වගේම තාත්තටත් හරි ආදරෙයි. අයියට, නංගිටත් පණ ඇරලා.
පුතා ටැටූ ගහනවට කොණ්ඩේ පාට කරනවට අම්මා අකමැතියි කියන්නේ?
ඒක නම් ඇත්ත. මමයි තාත්තයි චුට්ටක්වත් ආස නෑ වනිඳු ටැටූ ගහනවට වගේම කොණ්ඩේ පාට කරනවට. එහෙම කලාම කවුරු වුණත් හරි මදාවි පාටයිනේ. ඔය දේවල්වලට මමයි තාත්තයි එකතුවෙලා වනිඳුට සෑහෙන්න බැණලා ඇති.
වනිඳුට මේ වෙනකොට පෙම්වතියක් එහෙමත් ඇති නේද?
ඉන්නවා. එයත් හරි හොඳ ගෑනු ළමයෙක්. ගෙදරට එහෙමත් යනවා එනවා. එයත් දැන් අපේම දරුවෙක් වගේ තමයි. අපිත් එයාට ගොඩාක් කැමතියි.
වනිඳුගේ අම්මා හැටියට පුතාගෙන් දකින්න කැමතිම හීනයක් තියෙනවද?
තවත් මාස කීපයකින් විස්සයි විස්ස ලෝක කුසලානය තියෙනවා. මං ආසයි වනිඳුත් එක්ක අපේ කණ්ඩායම ඒ ලෝක කුසලානය ජයග්‍රහණය කරනවා දකින්න. මට විශ්වාසයි අපේ කණ්ඩායමට ඒක කරන්න පුළුවන් වෙයි කියලා.
රුවන් එස්.සෙනෙවිරත්න