ටාශි කාලිදාස කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉන්ටර්නැෂනල්, දාම්, චලෝ වැනි ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතර දැඩි ජනාදරයට පත් වූ ඇය ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනියමින් පාකිස්තානු රූපවාහිනී කතා මාලවකටද රංගනයෙන් දායකවුණා. ඇයගේ රංගන කුසලතා ඇගයීමට ලක් කරමින් පසුගියදා පාකිස්තාන රජය විසින් ඇයට ගෞරව සම්මානයක්ද ප්‍රදානය කරනු ලැබුවා. මේ පිළිබඳ වගේම ටාශිගේ නවතම තොරතුරු දැනගැනීමට ඇයත් සමග කතාකළා…
ටාශි පාකිස්තානයෙන් ඔබට ලැබුණ සම්මානය ගැන ටිකක් කියමුද?
පාකිස්තානයේ නිෂ්පාදනය කෙරුණ sinf e aahan කියන රූපවාහිනී කතා මාලාවෙ රංගනයෙන් දායකවෙන්න මට අවස්ථාව ලැබුණා. පාකිස්තාන රජය සහ යුද හමුදාව එක්ව ඒ වෙනුවෙන් මට ගෞරව සම්මානයක් ලබාදීමට කටයුතු කර තිබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ සම්මාන උත්සවයට මට පාකිස්තානයට යන්න බැරි වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවෙ පාකිස්තාන මහ කොමසාරිස්වරයා හරහා ඒ ගෞරව සම්මානය මට ලබාදීම පසුගියදා පාකිස්තාන රජය සිදුකළා.
sinf e aahan රූපවාහිනී කතා මාලාවෙ ඔබ රඟපෑ චරිතය මොකක්ද?
sinf e aahan කියන්නෙ පාකිස්තානයේ යුද හමුදාව මූලික කරගත් තේමාවකින් නිර්මාණය වුණ රූපවාහිනී කතා මාලවක්. මෙහි මගේ චරිතය වුණේ යුද පුහුණුව සඳහා ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ගිය කැඩෙට්වරියකගේ චරිතයක්.
කොහොමද විදෙස් රටක නිෂ්පාදන කණ්ඩායමක් සමග වැඩකරන්න ලැබුණ අත්දැකීම?
ඇත්තටම ගොඩක් හොඳ අත්දැකීමක්. විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිර්මාණයක් නිෂ්පාදනය කරන්නෙ කොහොමද, පිටපතේ කතාව සැකසෙන්නෙ කොහොමද, ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයට ගැළපෙන විදිහට අභිනයන් යොදාගෙන රංගනයක් කරන්නෙ කොහොමද යනාදී දේවල් මට මේ තුළින් ඉගෙනගන්න ලැබුණා.
ඔබව රංගන ක්ෂේත්‍රයට ගෙනඑන්නෙ දුලීකා මාරපන මහත්මිය නේද?
ඔව්. ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය නිෂ්පාදනය කළ ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍යයේ චරිතයකට මාව තෝරාගන්නවා. ඒ හරහා තමයි මම මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නෙ. ඉන්පසුව දනුෂ්ක රත්නායක මහතා නිර්මාණය කළ දාම් ටෙලි නාට්‍යයේත්, හසුන් සමීර නිර්මාණය කළ චලෝ ටෙලි නාට්‍යයේත් මම රංගනයෙන් දායක වුණා.
දැන් ටාශිට පාකිස්තානයෙත් රසික රසිකාවියො ඇති නේද?
ඔව්. මම හිතන්නෙ ලංකාවට වඩා පාකිස්තානයේ මට රසික රසිකාවියො ඉන්නවා. අන්තර්ජාලය හරහා පාකිස්තානයේ ගොඩක් දෙනා මට සුබ පැතුම් එක් කරනවා. ආපහු පාකිස්තානයේ නිර්මාණයකට මම සම්බන්ධ වෙනවානම් ඔවුන් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.
ඔබ රංගනයෙන් දායක වුණ happy birthday සිංහල චිත්‍රපටය පහුගිය දවස්වල තිරගත වුණා.
අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ happy birthday සිනමාපටයෙ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකවෙන්න මට අවස්ථාව ලැබුණා. සිනමාව තුළ මගේ පළමු අත්දැකීම තමයි එය. සිනමාශාලාවල චිත්‍රපටය තිරගත වන කාලය පුරාවටම මට ඒ සඳහා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව මම හිතනවා සිනමාව තුළ මම තියපු පළමු පියවර සාර්ථකයි කියලා.
ඉතාම ළාබාල වයසකදි ඔබ ටෙලි නාට්‍ය, සිනමාව සහ ජාත්‍යන්තරයේ කලා ක්ෂේත්‍රයේ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.?
මම තවමත් උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුවියක්. නමුත් මට හිතුණ දෙයක් තමයි රංගනය සම්බන්ධයෙන් මගේ හැකියාවක් තියනවා කියලා. මම එය උත්සාහ කරලා බැලුවා. එය මොන යම් හෝ දුරකට සාර්ථක වුණා කියලා මම හිතනවා. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.
අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය රංගන ශිල්පිනියක් වීමටද ඔබේ බලාපොරොත්තුව?
මම රංගනයෙ යෙදෙන්නෙ විනෝදාංශයක් විදිහට. වෘත්තීය රංගන ශිල්පිනියක් වීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ මම වෙනත් වෘත්තීයක කටයුතු කරන්න අදහස් කරගෙන ඉන්නවා. නමුත් රංගනය කියන දෙය මගේ ජීවිතයේ පැතිකඩක් විදිහට පවත්වගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.
ඉදිරියෙදි ප්‍රේක්ෂකයන්ට ඔබව දැකගත හැකි අලුත් නිර්මාණ මොනවද?
අලුත් නිර්මාණ කිහිපයකින්ම ආරාධනා ලැබුණා. නමුත් මම මේ වෙද්දි උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් ඉන්නෙ. ඒ නිසා ඒ නිර්මාණ කටයුතු ප්‍රතික්ෂේප කරන්න මට සිදුවුණා. අධ්‍යාපන කටයුතුවලින් පසුව ලබන වසරේදී අලුත් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් හමුවීමට ඒමට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ලක්ෂාන් ජයසූරිය