විවාහය ගැන නම් මගේ තියෙන්නෙ සෘණාත්මක හැඟීමක් -හිරුණි රණසිංහ

 


ඇය ටෙලිනාට්‍ය පනහකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත. ඉන් වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූයේ නෑනලා, අහස් මාලිගා, සඳ හැංගිලා යන ටෙලි නාට්‍ය ය . වේදිකාවත් ටෙලි නාට්‍යත්, සිනමාවෙත් හිදින ඇය හිරුණි රණසිංහයි. මේ දිනවල ටී. වී දෙරණ නාළිකාවෙන් විකාශය වන ‘හදිසි‘ ටෙලි නාට්‍යයෙන් ඇය ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙයි. ඇගේ නවතම සිනමාපටය lockdown ය.


 

ඔබ රංගනයෙන් දායක වූ නාට්‍ය අතරින් වඩාත්ම ජනප්‍රියත්වයෙන් කතා කරන්නට වුණේ “නෑනලා“ ගැන නේද?


මම ‘නෑනලා‘ නාට්‍යයේ හොඳ චරිතයක් කරනවා. ඒක මගේ සම නිෂ්පාදනයක් හැටියටත් එළිදක්වපු හින්දා වෙන්න ඇති කවුරුත් ඒ නාට්‍යය ගැන කතා කරන්නට පටන් ගත්තා. මම එහි සම නිෂ්පාදිකාව වුණාට මගේ රංගනය මෙහෙය වූ අධ්‍යක්ෂකවරයා නාලන් මෙන්ඩිස්. ඔහුට තමයි පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෑ.


ඔබ වඩාත් කැමති ටෙලි නාට්‍යය කලාවට ද වේදිකා නාට්‍යටද?


මම වේදිකා නාට්‍යයට හරි කැමතියි. වේදිකාව කියන්නේ සජීවීකරණයක්. අපේ ජීවිතයට වේදිකාවෙන් ලැබෙන පන්නරය තරම් වෙන දෙයක් නෑ කියලයි මම හිතන්නේ. පසුගිය කාලයේ තිබ්බ ප්‍රශ්නත් එක්ක වේදිකාව නැවතිලා තිබේ. නමුත් ඉදිරියේදී වේදිකාවේ නාට්‍ය වේදිකාගත වීමට නියමිතයි. මම රංගනයෙන් දායක වෙන වෙල්ලස්සේ වෙඩි හඬ ඉදිරි දින කිහිපය ඇතුළත වේදිකාගත කිරිමට මේ දිනවල සුදානම් වෙනවා. මම එහි ඇහැළේපොල කුමාරි හාමිගේ චරිතය කරන්නේ. වේදිකාවේ සුවඳ විඳලා නැත්නම් නළුවෙක් හෝ නිළියක් වෙයි කියලා මට නම් හිතන්න අමාරුයි. මම මේ වන විට වේදිකා නාට්‍ය 20ක පමණ රඟපා තියෙනවා. ඒ වගේම මම ටෙලි නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවක රඟපා තිබෙනවා. මගේ ජීවිතේට මේ අත්දැකීම් හරිම වටිනවා.


අදිසි ටෙලි නාට්‍යයේ මුදලාලි හාමිනේ මොන වගේද?


නූගත් ශක්තිමත් ගැහැනියකගේ චරිතයක් වන සිරිමති මුදලාලි හාමිනේ ගැමි පරිසරය තුළ විදහා පාන්නට මට හැකියාව ලැබී තිබෙනවා. මේ චරිතය මම මෙතෙක් කරපු ටෙලි නාට්‍ය අතරින් ඉතාම වෙනස් චරිතයක්.


පසුගිය දවස්වල කුරුණෑගල ප්‍රදේශයේදී සිදු වුණු අකරතැබ්බය මොකක්ද?


මම පසුගිය දවස්වල කුරුණෑගල ප්‍රදේශයේ ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට ගියා. ඒ ටෙලි නාට්‍යයේ දී මගේ චරිතයට අදාළ ආභරණ සඳහා මට දාලා තිබ්බේ රත්තරන් මාලයක් කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඒ වෙනකම් මම ඒ බවක් දැනගෙන හිටියෙ නෑ. මගේ චරිතයේදී ආභරණය දිගටම අවශ්‍ය වුණා. ඉන්පස්සේ මගේ චරිතය යන හැම මොහොතකම ඒ මාලය පලඳගන්නට මට සිදු වෙනවා.‍ දවසක් ෂූටිං ඉවර වෙලා එන ගමන් ඒ බඩු සියල්ලම මගේ වාහනයට දාගෙන ගෙදර ගෙනාවා. ගෙදර ආපු දවසක මගේ යාළුවො කට්ටියක් ගෙදරට එනවා. ගෙදර ඇවිත් දවසක් දෙකක් විතර ඉඳලා ඒ කට්ටිය යන්නට යනවා. නැවත මම රූගත කිරීම්වලට යන්න බඩු කාමරයේ හොයන විට ඒ මාලේ නෑ. මට කර කියාගන්න දෙයක් නෑ. පසුව මට සිදුවෙනවා ආපහු මාලේ නැතුව දර්ශන තලයට යන්න. ඒ ගිය අවස්ථාවේ මම කලා අංශයට සිද්ධිය කියනවා. පසුව අයිති එක්කෙනාට මම රුපියල් අසූ දාහක අත්තිවාරමක් හැටියට මුදලක් දෙනවා මාලයක් හදලා දෙන්නම් කියලා. මම ඉන්පස්සෙ ලක්ෂ තුනහමාරක් දීලා චේන් එකක් හදලා දෙනවා ඒ විදිහටම. ඒ දුන්න මාලෙට වටිනාකම දැන් ඊටත් වැඩියි කියලා තවත් ලක්ෂ එකහමාරක් මගෙන් ඉල්ලනවා. නිවැරදිව ඒ දේ කළා. මං කියන්නේ මේ වගේ වටිනා දේවල් කලා අධ්‍යක්ෂණයට යොදා ගන්න එපා කියලා. නැවත ඒ දේවල් වෙන කෙනකුට සිදු වෙන්න දෙන්නත් එපා කියලයි. මගේ යුතුකම ඉෂ්ට කරලත් මිනිස්සු මේ තරම් පහත් තැනකට වැටෙනවාද කියලා හිතා ගන්නත් අමාරුයි.


ඔබ රංගනයෙන් දායක වුණු සිනමා පට ගැන කතා කළෝත්?


මම මේ වනවිට සිනමාපට කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. පළමු සිනමාපටය තිරගතවීමට නියමිතයි. සුනිල් ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ සුනිල් ටී නිෂ්පාදනය කළ lockdown. ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ “මේක පුදුම ලෝකයක්“, එරංග සේනාරත්නගේ “පිරිමි ආදරයක්“ මේ සිනමාපට තමයි ඉදිරියේදී තිරගතවීමට නියමිත.


මුහුණු පොතේ කතා කරන චරිත අතර ඔබත් එක්ක චරිතයක් කියලා බොහෝ දෙනා කියනවා නේද?


ඒ ගැන නම් මට හරියට කියන්න බෑ. නමුත් මම මුහුණු පොතේ පින්තූර නම් දානවා. මගේ ඇඳුම් විලාසිතා දානවා. ඒවා බලන එක එක්කෙනා එක එක දේවල් කියන්න ඇති. ඒකට ඉතින් මට කරන්න කියන්න දෙයක් නැහැ .මගේ විනෝදකාමී ජීවිතයට මම ඇත්තටම මුහුණු පොත භාවිත කරනවා. මට ගොඩක් අය ලයික් කරනවා. මම ජීවිතය ගෙවා දමන්නේ ඒ සමඟයි.


විවාහය ගැන හිතන්න අදහසක් නැද්ද?


විවාහය ගැන නම් මගේ තියෙන්නෙ සෘණාත්මක හැඟීමක්. සමාජයේ පවතින මතිමතාන්තරවලට එකඟව මගේ කටයුතු නම් මම සිදු කරන්නේ නැහැ. විදේශීය රටවල ඉන්න අය තමයි ගොඩක්ම විවාහ යෝජනා ‍ෙග්න්නේ. ඒ එකකටවත් මම නම් කැමති නැහැ. හරිම වැදගත් විදිහටයි ඒ යෝජනා සියලු දෙනාම මට කරන්නේ.


තරුණ නිළියන්ට ගොසිප් වැඩියි නේද?


හැම දෙනාටම ගොසිප් ගහන්නේ නෑ. ඒකට අදාළ කට්ටියකට පමණයි ගොසිප් ගහන්නෙ. මම නම් ඒ ගණයට තාම වැටිල නැහැ. හරි දේ කරගෙන හරියට පාත් එකේ ගමන යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ගොසිප් නිළියක් වෙන්න මට නම් කිසිම අවස්ථාවක අවශ්‍ය නෑ. අනිත් ක්ෂේත්‍රවලට වැඩිය මේ කලා ලෝකයට ගොසිප් ගහන එක වැඩියි.






Previous Post Next Post