දමිතා කියන හිරගෙදර ජරා ගෑනු කවුද ?



රංගන ශිල්පිනී දමිතා අබේරත්නට අන්තිමට සිද්ධ වුණේ එකක් කඩතොලු වසාගන්නට ගොස් දෙකක් කඩතොලු හදා ගත් ඉඳුරුවේ ආචාර්යාට වූ දෙයමය. ටෙලිනාට්‍යවලට වඩා ඇය ඉකුත් දිනවල දක්නට ලැබුණේ ගාලු මුවදොර අරගල පිටියේය. ඒ හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාරයට යවනු ලැබූ ඇයට ගිය සතියේ ඇප හිමිවිය. ඇප ලබා එළියට පැමිණි ඇගේ කටට බ්රේක් නැති විය.


‘‘මාව සත්තු ගෙනියනවා වගේ තමයි ගෙනියන්න හැදුවේ. එත් බන්ධනාගාර ජේලවරුන් මට ඉතාම හොඳින් සැලකුවා. මම බන්ධනාගාරයට ගිය පළමු දවසේ ඩොක්ටර් කෙනෙක් මාව පරික්ෂා කරලා බලලා ඉස්පිරිතාලෙට යන්න කියලා ටිකට් එකක් ලිව්වා. මොකද මට අධික ලෙස කොලෙස්ටරෝල් තිබුණු නිසා. ඒ ඩොක්ටර් දීපු ටිකට් එකයි මගේ බෑග් එකයි අරගෙන ගිය නියාමකවරයා ඇවිල්ලා කිවුවා හෙට උදේ ඩොක්ටර්ට පෙන්නලා යවන්නම් කියලා. ඊට පස්සේ ප්‍රධාන ජේලර්වරිය මට කිව්වා උඩින් නියෝගයක් ආවා. මාව ජාරා ගෑනුත් එක්ක දාන්න කියලා. ඒ විතරක් නෙවෙයි මට ගොඩක් කරදර කරන්නත් කියලා. හැබැයි මට ඒ කිසිම දෙයක් වුණේ නැහැ. ඒ වගේම මට කිසිදු වරප්‍රසාදයක් ලැබුණෙත් නැහැ.”‍


”‍මම ප්‍රධාන ‍ජේලර්තුමියට බොහොම ස්තුතියි කියනවා. එතුමිය මාව වඩාත්ම ආරක්‍ෂිත තැනක තිබ්බා. ඒ තමයි මරණීය දණ්ඩනය නියම වෙච්ච අයගේ ෂෙල් එක ඇතුළේ. එතන තමයි තිබුණු පිරිසිදුම තැන මට ඉන්න. අනිත් හැම තැනකම අපායක්. බන්ධනාගාරය ඇතුළේ ටොයිලට් වළවල් උතුරනවා. කෑම ලෑස්ති කරලා තිබුණෙත් එතන.. මේවා මම කියන්නේ මට මේ දේවල් කියන්න වෙන අවස්ථාවක් ලැබෙයි ද කියලා දන්නේ නැති නිසයි……”‍


වැලිකඩ හිරගෙදරදී ඇය මුහුණ දුන් බව කියන අත්දැකීම් ගැන කියන්නට ගොස් දමිතා අබේරත්න තවත් කඩතොලුවක් හදා ගත්තේ ‘ජරා ගෑනු’ යනුවෙන් කී කතාවටය.


ජරා ගෑනු යනුවෙන් දමිතා කියන්නට ඇත්තේ අපිරිසුදු කතුන් ගැන නොවේ. ජරා ගෑනු යනුවෙන් හංවඩු ගසන්නේ ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ටය. සමලිංගික සේවනයට හිරකාරියන් යටත් කරගෙන සිටින චණ්ඩි හිරකාරියන් නැතිවාම නොවේ. හිරගේ ඇතුළේ පමණක් නොව එළියේ ඕනෑම තැනක එවැනි දේ පොදු සාධකය. ස්ත්‍රි සොඩෙකු ලෙස චෝදනා ලද රුවන්වැල්ලේ සෝභිත නමින් හඳුන්වන චීවරධාරියෙක් ස්ත්‍රි දූෂණ චෝදනාවකට මීට පෙර හිරේ ගියේය. එම පුද්ගලයා දමිතා අබේරත්නට රුපියල් 25000ක් දුන් බවට පැවසෙන හඬ පටයක් ඉකුත් සමයේ ප්‍රචාරය විය. ඒ ගැන දමිතා කීවේ සංගීත ප්‍රසංගයකට එම මුදල් දුන් බවට පැවසෙන කතාවකි.


ඒ අතීත කතා කෙසේ වෙතත් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ගෝල්ෆේස් පිටියේ හඬ නගන්නට ආ බව කියූ දමිතා අබේරත්න හිරගෙදර සිටින කතුන් පිරිසකට ‘ජරා ගෑනු’ යනුවෙන් ඇමැතීම ගැන ඇයට දැඩි විරෝධයක් එල්ල විය. ඇත්තටම දමිතා කියන ආකාරයේ ජරා ගෑනු හිරගෙදර සිටිනවාදැයි අපි ඇසුවේ, වසර පහකට අධික කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුබ සාධන නිලධාරියකු ලෙස කටයුතු කළ නිමල් අමරතුංගගෙනි. වැලිකඩ, යාපනය සහ මහර බන්ධනාගාරවල කාන්තා සහ මරණ දණ්ඩනය නියමු සිරකරුවන්ගේ ඕනෑ එපාකම් සොයා බැලූ නිලධාරියාත් ඔහු.


”‍ජාරා ගෑනු.. එහෙම කට්ටියක් හිරගෙදර නැහැ. එකේ ඉන්නේ වරදකට දඬුවම් විඳින මිනිස්සු හෝ සැකකරුවෝයි. එහෙම ඇරෙන්න එකේ ජාරා ගැහැනු කියලා කට්ටියක් නැහැ. මගේ අද්දැකීම්වලට අනුව ඔය කියන හිර කුටියේම තමයි ලංකාවේ හිටපු අග්‍රාණ්ඩුකාරවරයකුගේ දුවෙකුත් දවස් දෙකක් හිටියේ. අනික හැත්තෑ එකේ කැරැල්ලට සම්බන්ධ වුණු ගොඩක් ගැහැනු ළමයිනුත් හිටියේ ඔය කියන වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරිවල තමයි. අනිත් එක තමයි 1960දී ගෝඨාභය කිරඹකන්ද නඩුවේ වැරදිකාරිය වුණු පෝලීන් රූත් ද කෲස් පවා හිටියේ ඔය සිරමැදිරිවල තමයි. අනික ඔය අලු‍ත් නමකින් කියනව ඇත්තේ මත්ද්‍රවයවලට හෝ ගණිකා මඩම් පවත්වාගෙන ගිය අයට හෝ ගණිකාවෝ කියන අයට වෙන්න පුළුවන්. එත් අපි මෙතනදී ඒ අයවත් පුනරුත්ථාපනය කරලා නැවත සමාජයට හොඳ පුරවැසියන් විදිහට තමයි මුදා හරින්න උත්සහ කරන්නේ. එහෙම අයට කොහොමද අර වගේ නමකින් අමතන්නේ… ඔහු දමිතාගේ කතාවට විරෝධය දැක්වූවේය.


නිමල් අමරතුංග කියන ‘පෝලීන් රූත් ද කෲස්‘ ලංකාවේ මරණ දණ්ඩනය නියමවූ පළමු වැනි කාන්තාවයි. ඇයව බන්ධනාගාර ගත කෙරුණේත් එදා දමිතා සිටි වාට්ටුවේමයි. එපමණක් නොව විමල් විරවංශගේ බිරිඳ වන ශෂී විරවංශත් ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍ර සැකසීම යන චෝදනා මත වැරදිකාරිය වී සිරගත වී සිටියේත් දමිතා සිටි සිරමැදිරියේමය.


‘ජාරා ගෑනු’ යනුවෙන් හංවඩු ගැසෙන කණ්ඩයක් බන්ධනාගාරය තුළ සිටිනවද කියා අපි බන්ධනාගාර කොමසාරිස් (පාලන/ පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගෙන් විමසුවේ අපේ ප්‍රශ්නයට නිල පිළිතුරක් දීමට සුදුස්සා ඔහු බැවිනි.


‘‘මුලින්ම මේ වගේ කතාවක් කියපු ප්‍රධාන ජේලර්වරිය ගැන අපි වෙනම පරීක්ෂණයක් බන්ධනාගාර කොමසාරිස්වරයා යටතේ ආරම්භ කරලයි තියෙන්නේ. දමිතා කියල කියන්නේ අපි ආරක්ෂා කළ යුතු චරිතයක්. එයා මේ රටේ කලාකාරිනියක්. අපිට ඕනේ වුණේ එයාව විශේෂයෙන්ම ආරක්ෂා කරන්න. අනික අපි දන්නේ නැහැ එයාට මොන වගේ බලපෑම් ප්‍රශ්න තියනවද කියලා. ඒ නිසයි අපි මේ විදිහේ ආරක්ෂාවක් යටතේ එයාව ඒ වගේ සිර මැදිරියකට දැම්මේ. අනික එහෙම ආරක්ෂාව දෙන පළමුවැනි කෙනාත් එයා නෙවෙයි…”‍ ඔහු කියන්නේය.


අනෙක් අතට දමිතාත් රන්ජනුත් යන දෙදෙනාම එකම චෝදනාවක් කළහ. ඒ සිපිරිගෙ බත ගෙදර ඉදෙන බත තරම් හොඳ නැතැයි කියාය. ඒත් බන්ධනාගාරයෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව දමිතාට නම් බත් ලැබී ඇත්තේ ගෙදරිනි. ඇයට අවශ්‍ය කෑම බීම ගෙනත් ඇත්තේ ඇයගේම ස්වාමියා විසිනි. දින පහකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඇයට එලෙස නිවසින් කෑම බිම සපයා ගන්නට පහසුකම් සපයා දුන්නෙත් බන්ධනාගාරයේ ඇති නීතිරීතිවලට අනුවමය.


එසේ ‘සිර බත්‘ නොකා ‘ගෙදර බත් කෑවත්‘ දමිතා කී කතාව ඇත්තක් ද යැයි කියා අපි ඇසුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගෙනි.


‘‘අපි කිසිම වේලාවක අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක ඉඳගෙන කෑම බෙදන්නේ නැහැ. ඒ මිනිසුන්ට කෑම ගෙනාපුවම ඒ අයගේ කෑම ඒ අය ඉන්න වාට්ටුවලට අරගෙන ගිහිල්ලා වාට්ටු ඇතුළේ තමයි කෑම බෙදා ගන්නේ. අනිත් දේ තමයි ලංකාවේ ඉන්න ස්වේච්ඡා සංවිධාන සහ වෙනත් බලයලත් සංවිධානවල කට්ටිය ඇවිල්ලා මේ සිරකරුවන්ගේ කෑම බිම ඉඳුම් හිටුම් ගැන වෙනම සොයා බලනවා. ඒ වගේම ලක්ෂයකට වැඩි පිරිසක් බන්ධනාගාර ගතවෙලා නිදහස් වූ පිරිසක් ඉන්නවා. අරගලවලට සම්බන්ධ වුණු අයත් ඉන්නවා. හැබැයි මේ වෙනකල් කිසිම කෙනෙක්ගෙන් අපිට කෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා නැහැ. අපිට පුළුවන් උපරිමයෙන්ම තමයි අපි මේ දෙන්නේ. රටේ මෙහෙම ආර්ථික තත්ත්වයක් තිබිලත් අපි ඒ අයගේ කෑම බිම කිසිම දෙයක් නැති කරලා. අඩු කරලා නැහැ.”‍ කියා ඔහු කියන්නේය.


බන්ධනාගාර නිලධාරින් කියන ආකාරයට හිරගෙදර ජරා ගෑනුන් නැත. ජරා කෑම දෙන්නෙත් නැත. එබැවින් අපි බන්ධනාගාරය කියන කතාව ගැන දමිතා අබේරත්නගෙන් කරුණු විමසුවෙමු. අපට උත්තර දෙන්නට බැරි තරම් ඇය කාර්ය බහුල වී තිබෙන බව ඇය අප කතා කළ විට කීවාය.


හර්ෂණී දිසානායක





Previous Post Next Post