පවුලෙන් ලැබෙන ආදරය නිසා සමාජයේ දී මා සුරක්ෂිතයි - තිසුරි යුවනිකා



ඇය පුංචි තිරයේ අහිංසකාවයි. මවගේ ආභාසයෙන් රංගනයට පැමිණියත් අද වනවිට තම දක්ෂතාව මතින් ඇයටම ආවේණික රංගන කෞශල්‍යයක් ගොඩනගා ගෙන තිබේ. මේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනී තිසුරි යුවනිකායි. ඇය මේ දවස්වල රංගන කටයුතුවලින් මඳක් ඈත්වෙලා කියලා ආරංචියක් ලැබුණා. ඒ පිළිබඳ ඇය පුවත්පත් සමඟින් මෙසෙල විස්තර පවසා තිබුනා.


 ඉතිං තිසුරි කොහොමද ජීවිතේ?


ජීවිතය බොහොම සරලව හොඳින් ගෙවී ගෙන යනවා. අම්මාගේ අසනීප තත්ත්වය සුව අතට හැරීමත් එක්ක හිතට සැනසීමක් ලැබුණා.


කලා කටයුතුවලට විරාමයක් තැබුවේ විවාහය නිසාද?


 

විවාහය නිසාවෙන් කටයුතුවලින් ඈත් වුණේ නැහැ. ඔහුගෙන් තහංචි කිසිවක් නැහැ. මගේ අම්මාගේ අසනීපය හේතුවෙන් පවුලේ වගකීම දරන්නට වුණා. කොහොමත් මම එක දිගටම ටෙලිනාට්‍ය බාර අරන් හැම වෙලාවෙම ෂූටිං ඉන්න කාර්ය බහුල ජීවිතයකට කැමැති නැහැ. ITN නාලිකාවේ විකාශය වන " පිච්ච මල සුවඳයි" වෙතින් මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩ වදිනවා. ඒ වගේමයි CDB බැංකුවේ " රන් ණය" වෙළෙඳ දැන්වීම ඔස්සේත් ආදරණීය ප්‍රේක්ෂක ඔබට මාව දැකගත හැකියි.


 

ඔබේ මව ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි කලා නිර්මාණ ඔස්සේ නැවත දැකගත හැකි වේවිද?


 ඔව්. මගේ අම්මා නැවත හොඳ ගුණාත්මක නිර්මාණවලින් ඔබ අතරට එයි. අසනීප තත්ත්වය සුව අතට හැරීමත් සමඟ ආරාධනා ලැබුණත් කොවිඩ් නිසා අපි අම්මාව එළියට යැව්වේ නැහැ.


 

දැන් අම්මාට සුවයි නේද? ඒ තුළින් සමාජයට දෙන්න පණිවුඩයකුත් ඇති නේද?


 ඇත්තෙන්ම මගේ අම්මාගේ රෝගය දැනගත් විගසම අපි හැමෝම ගොඩක් බය වුණා. දුක් වුණා. ඒත් අපි කවුරුත් මානසිකව කඩා වැටුණේ නැහැ. විශේෂයෙන්ම අම්මා. ඇය ධෛර්යවන්තව යථාර්ථයට මුහුණ දුන්නා. අවශ්‍ය ප්‍රතිකාර හරියටම කළා. අම්මා, තාත්තා, මම සහ මගේ ආදරණීය සැමියා ඒ වගේම නෑදෑයන් කලා ක්ෂේත්‍රයේ බොහෝදෙනෙක් එකම පවුලක් විදියට කටයුතු කළා. අම්මාට ලොකු සුවයක් ලැබුණේ ඒ නිසයි. මේ වෙලාවෙ මම මගෙ ප්‍රේක්ෂකයන්ට පණිවුඩයක් දෙන්න කැමැතියි. කොයිතරම් භයානක ලෙඩක් හැදුණත් හිතට ශක්තිය අරන් අවශ්‍ය ප්‍රතිකාර කරමින් අධ්‍යාත්මික සුවය, මානසික සුවය ලැබුවොත් ලෙඩේට අභියෝග කරන්න පුළුවන්.


 ඔබේ ක්ෂේත්‍රයේ කටකතා පැතිරෙනවා වැඩියි. ඒත් ඔබත් අම්මාත් හොඳ නමක් තියාගෙන ඉන්නවා. ඇත්තෙන්ම නවක ශිල්පිනියන්ට එය හොඳ ආදර්ශයක්....


 ඔව්. මගේ අම්මා දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙසින් හොඳ නමක් තියාගෙන ඉන්නවා. රංගන ක්ෂේත්‍රයේ මගේ ගුරුවරිය ඇයයි. අම්මා නිසා ක්ෂේත්‍රයේ මට හොඳ ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. ඒ වගේම මගේ පවුල් පරිසරය තුළ අම්මා, තාත්තා එක්ක මම ලොකු බැඳීමක් ඇතිවයි හැදී වැඩුණේ. දැන් මගෙ සැමියාගේ ආදරයත් එක්ක මම හැමදාමත් හැමතැනක දී ම සුරක්ෂිතයි.





Previous Post Next Post