එයා දැක්ක ගමන් පොඩි ක්‍රෂ් එකක් ඇතිවුණා -සචිනි නිපුන්සලා



දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්’ කියන්නේ ලංකාවේ වැඩසටහන් අතර වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන වැඩසටහනක්. එතරම්ම එය ප්‍රේක්ෂක ආකර්ෂණයට නතු වෙලා. එයට විශේෂම හේතුව සචිනි, පේෂල, මාධව යන තුන් කට්ටුවේ හැසිරීම කීවොත් නිවැරැදියි. වැඩසටහනට ආරාධනා ලබන කවුරු වුණත්, ඔවුන් එන්නේ අද නම් මොනවා අහයිද? මාව බයිට් වෙයිද යන ප්‍රශ්නාර්ථයෙන්. පේෂලගේ බයිට් එකට ලක්වන්නන්ගේ ගැලවුම්කාරිය ඇයයි. දවසේ කාර්යබහුලත්වය හමුවේ වෙහෙසට, පීඩාවට පත්ව සිටින ප්‍රේක්ෂක මනසට සිහිල් පවනැල්ලක් වන්නට ඔවුන් දරන වෙහෙසයි මේ. බලා සිටින්නන්ට එය විනෝදයක්. පීඩිත මනසට සැහැල්ලුවක් ලබා දීමත් සමාජ මෙහෙවරක්. නිවේදනයේ දී ඇය හරිම සැහැල්ලුයි. සරල බස හැසිරවීම ඇයටම ආවේණිකයි. ඕනෑම වයසකට ළෙන්ගතුව ආමන්ත්‍රණය කිරීමටත් ඇයට ඇත්තේ අපූරු හැකියාවක්. දෙරණ ලිට්ල් ස්ටාර් හරහාත් ‍ඔබේ ආලින්දයට එන ඇය සචිනි නිපුන්සලායි.


 “ඉස්කෝලේ 5 වසරෙ වගේ ඉඳලම මං එක එක චැනල්වල ළමා වැඩසටහන් මෙහෙයවමින් නිවේදන කටයුතු කළා. අවුරුදු 14දි වගේ තමයි දෙරණට සම්බන්ධ වුණේ. මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. උසස් පෙළ කරන්න කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. වාණිජ විෂය ධාරාව හදාරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. ඉගෙන ගන්න කාලෙදිමයි මං දෙරණට සම්බන්ධ වුණේ.


දසත විහිදී සිටින ළමා පරපුර සතු සැඟවුණු කුසලතාවන් එළියට ගෙන, ඔපමට්ටම් කර, දක්ෂතාවලින් පිරිපුන් අනාගතයත් සැකසීමයි දෙරණ ලිට්ල් ස්ටාර්හි අරමුණ. ඒ හරහා බිහිවුණු ගායනයේ, නර්තනයේ දක්ෂයින් මේ වන විට ලංකාව පුරාම ඉන්නවා. දෙවැනි අදියරේදි තමයි මම සම්බන්ධ වුණේ. දැනට අදියර 10 කට මං සම්බන්ධ වෙලා තියෙනවා. අපි පොඩි කාලෙ හිතාගන්නවත් බැරි දේවල් අද මේ පොඩි ළමයි කරනවා. පුදුම හැකියාවක් තියෙනවා අද පරපුරට.


‘දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්’ වැඩසටහන හරහා තමයි බොහෝ දෙනා මාව අඳුනගත්තේ. එහිදී මට වෙනමම ප්‍රේක්ෂක කොටසක් නිර්මාණය වුණා. ඒක ඕනම කෙනෙකුට බලන්න පුළුවන් වැඩසටහනක්. කාර්යබහුලත්වයෙන් පීඩිත වෙලා ඉන්න මිනිස්සුන්ට මඳකට හෝ මානසික සහනයක් ලබා ගන්න මෙය උදව්වක් වුණා කියලා විශ්වාසයක් තියෙනවා. මොකද බොහෝ අය ඒ ගැන කතා කරනවා. ඒක හරිම විනෝදාත්මක වැඩසටහනක්. පේෂල කරන විහිළුවලට මුලදි නම් තරහ ගියා. පස්සෙ පස්සෙ ඒක ගාණක් නැති වුණා. මාත් මට පුළුවන් විදියට ඒවාට ෆේස් කළා.


දැන් ඒක ගාණක් නෑ. දැන් නම් මාත් ඒකට පදම් වෙලා.”


සචිනි කියන්නේ තම විවාහය හරිම සරල විදියට ප්ලෑන් කළ කෙනෙක්. එය බොහෝ දෙනාගේ කතා බහටත් ලක් වුණා. සුපිරි හෝටලයක් වෙනුවට ඇය තෝරාගත්තේ පන්සලක්. එය සීමිත පිරිසක් ඇරයුම් ලැබූ චාම් අයුරින් සිදුකළ විවාහ උත්සවයක්. එහි නිමාව වුණේ වැඩිහිටි නිවාසයකට‍ දානයක් පිරිනැමීමෙන්. යුවතියක තුළ ඇතිවන වෙනස්ම සිතුවිල්ලක්.


“ඒක ඉසුරුගෙයි මගෙයි දෙන්නගෙම අදහසක්. අනික ඉසුරුයි, මමයි තමයි සම්පූර්ණ වියදම දැරුවේ. අපි අම්මලට කරදර කළේ නැහැ. අපට ඕන වුණේ බොහෝම සරල දෙයක් කරන්න. බොරුවට සල්ලි ගොඩක් වියදම් කරන්න නෙවෙයි අපට ඕන වුණේ හොඳ දෙයක් කරන්න. ඉතින් වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න අදහස් කළේ ඒකයි.”


සචිනිට මේ විදියට ලස්සනට හැමදේම කරන්න පුළුවන් වුණේ එයාටම ගැළපෙන පෙම්වතෙක් හමු වුණ නිසා. සචිනිගෙයි, ඉසුරුගෙයි එක්වීම දැඩි මිත්‍රත්වයේ ප්‍රතිඵලයක්.


“එයාව දැක්ක ගමන් පොඩි ක්‍රෂ් එකක් ඇති වුණා. මුලින්ම අපි හොඳ යාළුවො. අවුරුදු 7ක් 8ක් විතර අපි හොඳ යාළුවො වගේ හිටියා. ඒ කාලෙදි අපි හොඳින් අඳුනගත්තා. මට තේරුණා ඉසුරු මට ගැළපෙනවා කියලා. ඊට පස්සෙ කතාබහ කරලා අපි පෙම්වතුන් වුණා. 2020 දි තමයි අපි විවාහ වුණේ. අවුරුදු 2ක් තරම් කෙටි කාලයකදී විවාහ වෙන්න පුළුවන් වුණේ ඒ තේරුම් ගැනීම නිසා. දැන් ඉතින් අපි සතුටින් ජීවිතේ ගෙවනවා. හෙමින් හෙමින් අපේ ඉලක්ක කරා යනවා. දැනට මූලිකව මං කරන්නෙ නිවේදන කටයුතු. ඊට අමතරව නැටුම් පන්ති කරනවා. මගේ නැටුම් විඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. අනාගතේ වෙනමම දෙයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.”





Previous Post Next Post