මම බෑ කියද්දී මාව ඇදලා ගත්තා - නාමල් ප්‍රවීන්




නාමල් ප්‍රවීන් කියන කෙනා ''වස්තු'' වුණේ කොහොමද?


නාමල් ''වස්තු'' වුණේ මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනා කරනා ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන ''කියාදෙන්න ආදරේ තරම්'' කියන ටෙලිනාට්‍යය හරහායි. ඒ වෙද්දී මම නුවරඑළියෙ පොඩි හෝටලයක් කරමින් හිටියේ. කාලයක් ඉඳන්ම යෂ් අයියා (යෂ් වීරසිංහ) මගේ හොඳ යාළුවෙක්. ඒ වගේම මිලින්ද සඳරුවන් ද මගේ යාළුවෙක්. දවසක් යෂ් අයියා ධනුෂ්ක අයියත් එක්ක මගේ හෝටලයට ආවා. මාව දැකපු පළමු දවසේදීම ධනුෂ්ක අයියා ''මල්ලි මොනව හරි කරලා තියෙනවාද?'' කියලා ඇහුවා. එදා රැ කතකරමින් ඉඳිද්දී ධනුෂ්ක අයියා ''රඟපාමුද'' කියලා මගෙන් ඇහුවා.


ඒ වෙද්දීත් නාමල්ගේ පෙනුම අද වගේම පෙනුමක්ද?


මම අවුරුදු හතරක් රැවුලයි කොණ්ඩයයි වැව්වා. හැබැයි ධනුෂ්ක අයියාව දකිද්දී මම කොණ්ඩයයි, රැවුලයි කපලයි හිටියේ. අද වස්තුගේ තියෙන පෙනුම ඒ වෙද්දී මගේ තිබුණේ නැහැ. හැබැයි ඒ වෙනකොටත් ධනුෂ්ක මාව වස්තුගේ චරිතයට තෝරාගෙනයි හිටියෙ. මට ඒක කිව්වේ නැහැ.



ඔබ රඟපාන්න ආසාවෙන්ද හිටියේ?


මම නුවර කෙනෙක්. කාලයක් තිස්සේ මම රඟපාන්න හරිම ආසාවෙන් හිටියේ. ඒ සම්බන්ධව ඉගෙනත් ගත්තා. රඟපාන්න ආසාවෙන් හිටපු මම ඒක කරගන්න බැරි නිසා එසේ අතහැරලා දාලයි හිටියේ. ඒ නිසාම නුවරඑළියේ ව්‍යාපාරයක් පටන් අරගෙන මම නුවරඑළියට ගියා. ඒ නිසාම රංගනය පිළිබඳව මගේ හිතේ තිබුණ අදහස අතහැරලා තිබුණේ. ඒ නිසාම ධනුෂ්ක අයියා ''මල්ලි රඟපාමුද?'' කියලා කියද්දී මම මුලින්ම ''බැහැ'' කියලා කිව්වා. දෙවැනි දවසෙත් මගෙන් අහද්දීත් මගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. දෙවැනි වතාවට ධනුෂ්ක අයියලා නුවරඑළියෙ ලොකේෂන් බලන්න ආපු වෙලාවෙත් මට කතා කළා රඟාපන්න. කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු මට ඒ දවස්වල තිබුණ තත්ත්වයත් එක්ක හුදෙකලා වෙන්නයි ඕන වුණේ. හැබැයි ධනුෂ්ක අයියා ඒ සිතුවිල්ල වෙනස් කරලා මාව ''වස්තු'' කළා.


පුංචි කාලේ හීනය වුණේ කවුරු වෙන්නද?


ඇත්තම කිව්වොත් පුංචි කාලේ ඉඳන් මගේ හීනය වුණේ නළුවෙක් වෙන්නයි. මම රූපවාහිනියට හරි ආසා කළා. රූප පෙට්ටියේ මාව දකින්න ආසා කළා. පහ වසරේ ඉඳිද්දීත් ''ලොකු වුණාම මම නළුවෙක් වෙනවා'' කියලයි කියලා තිබුණේ. මම නුගවෙල මධ්‍ය මහ විදුහලේ ඉගෙන ගත්තා. පාසැලේදී මම කැපී පෙනුණ චරිතයක්. හය වසරේ හත වසරේදීත් ශිෂ්‍ය නායකයෙක්. එතැන් සිට මම කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක තනතුරු දැරුවා. වස්තු වගේ දඟ, දඩබ්බර චරිතයක් නෙමෙයි. මම බොහොම නිහඬව මගේ පාඩුවේ හිටපු චරියක්. මම ගැන දන්න අය අද ''වස්තුගේ'' චරිතය දකිද්දී පුදුමත් හිතෙනවා. මගේ සැබෑ චරිතයත්, වස්තුගේ චරිතයත් හාත්පසින්ම වෙනස් චරිත දෙකක්.




ඔබගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?


මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි. මම වැඩිමලා. මල්ලී බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. නංගී නීතිවේදී උපාධිය හදාරමින් ඉන්නවා. මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී මම නැවතත් කරමින් හිටපු හෝටලය අයිතිකරුට බාර දුන්නා.


වස්තු කියන්නේ මැරයෙක්. චණ්ඩියෙක්. ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


වස්තු කොච්චර දුෂ්ඨ, මැරයෙක් වුණත් වස්තුට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ගොඩක් අය ඒ චරිතයට ආදරෙයි. දුෂ්ඨයාට ආසා කරන පිරිසක් ඉන්නවා. ඒකට වයස සීමාවක් නෑ. ඇත්තම කිව්වොත් මමත් වස්තුගේ රසිකයෙක්. ඒ චරියට මාත් ආදරේ කරනවා. මට තාම මතකයි මම රඟපාන්න බැහැ කියද්දී ''මල්ලි ඇයි රඟපාන්න බෑ කියන්නේ. මේක උඹේ ජීවිතේ හැරවුම කියලා හිතාගනිං'' කියලයි කිව්වේ. ඒ වෙද්දී මම ඒ කතාව බලලා තිබුණෙත් නැහැ. හැබැයි මම මගේ හොඳම යාළුවට කිව්වහම එයා කිව්වේ ''මචං ඒක මරු කතාව. අතහරින්න එපා'' කියලයි.


මේ වෙද්දී නාමල් රංගනය පිළිබඳව වැඩිදුර හදාරනව කියලයි ආරංචි?


ඔව්.... මුල් කාලේදී මම ටික කාලයක් මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ වැඩමුළුවකට සහභාගි වුණා. පසුව වසන්ත ගීතාආරච්චි මහතාගේ වැඩමුළුවලටත් සහභාගි වුණා. මේ වෙද්දී විනාවි ඇකඩමියෙන් රංගනය පිළිබඳව වැඩිදුර හදාරනවා. ඒ හරහා බොහෝ දේවල් ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා.




නාමල් ඡායාරූප ශිල්පියෙක්?


ඔව්... මම වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. මහෙන්ද්‍ර පෙරේරා මහතාගේ වැඩමුළුවලට යන අතරේදී තමයි මට ඡායාරෑප ශිලිපිය පිළිබඳව කැමැත්තක් ඇතිවුණේ. මේ වෙද්දී “NP Photography'' ලේබලය හරහා මම වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා.


නාමල්ගේ සැබෑ ජීවිතයේදී ආදරය නතරවුණ විශේෂ කෙනෙක් ඉන්නවාද?


මම සැබෑ ජීවිතයේදී ආදරේ කළා. ආදරේ හොඳට විඳලා තියෙනවා. හැබැයි දැන් එහෙම විශේෂ කෙනෙක් නැහැ.


ඊළඟ බලාපොරොත්තු මොනවාද?


2022, 2023 අවුරුදු දෙක වැඩිදුරට මගේ රංගනය පිළිබඳ ඉගෙනීමේ කටයුතුවලට යොදවලා තියෙනවා. ඒ අතරේ ඡායාරූප ක්ෂේත්‍රයෙන් මම මගේ ගමන යනවා. මම මියුසික් වීඩියෝ කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා.


 දිශානි ජයමාලි





Previous Post Next Post