චරිතය කළුද සුදුද කියලා මට අදාළ නැහැ -මනීෂා නාමල්ගම




මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ”ඇස්”‍ ටෙලි නාට්‍යයේ ඇය විදුහල්පතිනියයි. ඕ ටෙලිනාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට විවිධ චරිත නිරූපණය කර ඇත. කලා ක්ෂේත‍්‍රයට පිවිස කෙටි කාලයක් තුළ සිනමාව, ටෙලිනාට්‍ය හා වේදිකාවේ තමාගේ ස්ථාවරත්වය තබා ගත් ඇය මනීෂා නාමල්ගමයි. 

 

  අලූ‍ත් ජීවිතේ කොහොමද ?

 

 සුපුරුදු පරිදි වැඩ කොටස කරගෙන ජීවත් වෙනවා. අලූ‍ත් ජීවිතයක් කියලා තාම නෑ. සැබෑ ජීවිතේම තමයි, ගත කරන්නේ. මේ හැමදේම වෙනස් කරන්⁣නේ කාලය තමයි.

 

 ”‍ඇස්”‍ විදුහල්පතිනිය ගැන කියන්න කැමැතිද ?

 

 මේ දවස්වල විකාශය වන අලූ‍ත්ම ටෙලි නාට්‍යය ”‍ඇස්”‍ හි විදුහල්පතිනිය ගැන මට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. කාන්තා විදුහලක මුල් පුටුවේ සිට්න ඇය හරිම නිහතමානීි කෙනෙක්. ළමයි වෙනුවෙන් සොයා බලා, කැප වෙන ආදර්ශවත් චරිතයක් ලෙස මේ චරිතය දිගහැරෙනවා. සමීර හසුන් අධ්‍යක්ෂණය කළ තාරුණ්‍යය වෙනුවෙන් දිගහැරෙන අලූ‍ත්ම කතාවක් තමයි මේ. මගේ චරිතය ගැන මම කියනවට වැඩිය එය බලලා රස විඳලා චරිතයට මම සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතෙයි කියලා මම හිතනවා.

 

 නිර්මාණවලට දායකත්වය දෙන්නෙ තෝරා බේරා ගෙනද?

 

 ඔබ කියූ කතාවට මම එකඟ වෙනවා. මම වසරකට ගොඩක් නිර්මාණවලට දායකත්වය ලබා දෙන්නේ නැහැ. ඊට හේතුව තමයි, මට ගැළපෙන චරිත පමණයි මම තෝරා බේරාගෙන චරිත නිරූපණය කරන්නේ. ක්ෂේත‍්‍රය තුළ පවතින යටිතල පහසුකම් අනුවත් මගේ අනිකුත් වැඩ කටයුතුත් සම`ග ලැබෙන සියලූ‍ම නිර්මාණ භාර ගන්නත් බැරිවෙනවා.

 

 එක දිගට නිර්මාණවලට දායකත්වය ලබාදුන්නම සමහරවිට ඒවා විකාශය වෙන්න ගොඩක් පරක්කු වෙලයි. සමහර වෙලාවට නිර්මාණ එක පෙළට දිග හැරෙනවා. මේ හේතූන් නිසා ගොඩක් අය හිතනවා දැන් මනීෂා නාමල්ගම ටෙලිනාට්‍යවලත්, චිත‍්‍රපටවලත්, වේදිකාවෙත් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නෙවෙයි, මෙතැන තියෙන්නේ. මේ ටෙලිනාට්‍ය නිර්මාණවලට, චිත‍්‍රපට නිර්මාණවලට වගේ පෝලිමේ ඉන්න වෙලා.

 

 නිර්මාණ පෝලිමේ තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ?

 

 දැනට විකාශය වන ටෙලි නාට්‍යවල කොටස් තුන්සියක්, හාරසියක් විතර විවිධ නාළිකාවල විකාශය වෙනවා. ඉතින් ඒ නිර්මාණ ඉවර වුණාට පස්සෙ තමයි, ඊළඟ නිර්මාණය නාලිකාව භාරගන්නෙ. එහෙම වුණාම තමයි පෝලිමේ ඉන්නවා කියලා මම අදහස් කළේ. කොහොමත් කොටස් පනහක්, හැටක් වාගෙ නිර්මාණයක් කළොත් තමයි, සාර්ථක කියලා මම නම් දකින්නේ. එතකොට ක්ෂේත‍්‍රයේ සියලූ‍ම දෙනාට අවස්ථාවක් ලැබෙනවා. එහෙම ක‍්‍රමවේදයක් නැති හින්ද තමයි, මේ විදිහට අද ක්ෂේත‍්‍රය වැටිල තියෙන්නෙ කියලයි මට හිතෙන්නේ.

 

 දැනට නිර්මාණ කීයකට විතර රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවාද ?

 

 මම දැනට ටෙලිනාට්‍ය 150කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම වේදිකා නාට්‍යය 12කට පමණක් සිනමා චිත‍්‍රපට 13කට පමණ රංගනයෙන් දායක වුණා. මේ සියලූ‍ම නිර්මාණවලදී මට වැඩිකල් ගත කරන්න වුණේ ටෙලි නාට්‍ය කලාව තුළයි.

 

 ඔබ වඩාත් ප‍්‍රියතාවයක් දක්වන්නෙ මොනවගේ රංගනයන්ටද?

 

 දුවක්, බිරිඳක්, මවක් යනුවෙන් කාන්තාවන් තුළ ජීවත් වන ඕනෑම කාන්තා චරිතයකට මම කැමතියි. වෙනත් චරිතවලටත් මම කිසිම අකැමැත්තක් නෑ. ලැබෙන ඕනෑම චරිතයක් රංගනයේ යෙදෙනවා. ඒ චරිතය කළු ද සුදු ද කියලා අදාළ නෑ. මේ පවතින අර්බුද එක්ක අපි කලාවේ කොපමණ කාලයක් රදා පවතී ද කියන්න අමාරුයි. සමාජයට පණිවිඩයක් දී සමාජගත කරන්න පුළුවන් චරිත පමණක් තෝරා ගැනීම මම කරනවා.

 

 වේදිකා නාට්‍ය කලාව ගැන කියන්න තියෙන්නෙ මොනවාද?

 

 අපි සියලූ‍ දෙනාගේ ම ආරම්භය සිදු වෙන්නේ වේදිකාවෙයි. සමහර විට එය පාසල් වේදිකාව වෙන්න පුළුවන්. නැත්තම් ඉන් ඔබ්බට ගිහිල්ලා වෘත්තිමය රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක ලෙස ඇවිත් එය වේදිකාවම කරගත්ත නළු නිළියන් පිරිසක් ඉන්නවා. ඊට අමතරව මේ ක්ෂේත‍්‍රයේ වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාව යන ත‍්‍රිත්වයම රංග පරාසයන්වල ශිල්පීන් ඉන්නවා. එයින් ලබන පන්නරය නිසා හඬ පාලනය, සජීවී රංගනය, සජීවී පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර, සාමූහිකව එකතු වී කටයුතු කිරීම හා මේ සියලූ‍ම දේවලින් තමයි අද දක්ෂ ශිල්පින් හා ශිල්පිනියන් බිහිවෙන්නේ. වේදිකාවේ රංගනයේ යෙදෙන සියලූ‍ම දෙනාට අතිශයින් වැදගත් වන්නේ ඒ නිසයි.

 

 කලා ක්ෂේත‍්‍රයේ සිදු කෙරෙන නිර්මාණ ගැන ඔබට සෑහීමකට පත්විය හැකිද ?

 

 අද පවතින තත්ත්වයත් එක්ක නිෂ්පාදකවරු තමන්ගේ නිෂ්පාදනවලට දායකත්වය දෙන ප‍්‍රමාණය අඩු වෙලා. ඒ කරන ඕනැම නිර්මාණයක් අඩු වියදමින් කරන්න තමයි නිෂ්පාදකවරයා බලාපොරොත්තු වෙන්නෙ. මේ පවතින සැබෑ ආර්ථික තත්ත්වය ඊට හේතුවයි. හැබැයි, එහෙම නිර්මාණ කරලා සාර්ථක නිර්මාණයක් දකින්න බැහැ. අලූ‍තෙන් එන ශිල්පීන්ගෙ රඳා පැවැත්ම අඩුයි. ප‍්‍රවීණයන් ඔවුන්ගේ කාර්යභාරය එයාකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා. මේ හේතුන් නිසා තමයි නව නිර්මාණ බිහි වෙන ප‍්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. අලූ‍තෙන් ක්ෂේත‍්‍රයට එන නිෂ්පාදකවරුත් අඩුයි. පිටපත් රචකයන්, අධ්‍යක්ෂකවරුන් හා අනෙකුත් ශිල්පීන් හිටියට වැඩක් නෑ නිෂ්පාදකවරයෙක් නැති වු⁣ණොත්. රාජ්‍ය අනුග‍්‍රහය ලැබීම අඩුයි.

 

 ඔබ සිනමාවට දක්වා තිබෙන දායකත්වය අඩුයි නේද ?

 

 මම ක්ෂේත‍්‍රයට ආපු කාලසීමාවත් එක්ක සමහරවිට මට සිනමා නිර්මාණ ගොඩක් අඩුවෙන් ලැබුණේ. සමහර නිර්මාණවලට කතා කළාට ඒ නිර්මාණවල චරිත මට ගැළපෙන්නේ නැති චරිත තියෙනවා. එහෙම වුණාම රංගනයෙන් දායක වෙන්න බැහැ. ඒත්, මගේ වැඩි දායකත්වය දෙන්න මම කැමැති සිනමාවටයි. දැනට නිර්මාණ කිහිපයකට කතා කරලා තියෙනවා. මේ පවතින අර්බුදයත් එක්ක අපිට කලා ක්ෂේත‍්‍රයට ගොඩක් ප‍්‍රශ්න මතුවෙලා තියෙන කාලසීමාවක්. සියලූ‍ දේවල් සමතයකට පත් වුණාම මේ නිර්මාණ කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

 

 ඔබ සිනමාවේ වාණිජ හා කලාත්මක සිනමාපටවලින් වඩාත් ප‍්‍රියතාවයක් දක්වන්නේ කුමකට ද?

 

 මට දායකත්වය දෙන්න පුළුවන් ඕනෑම සිනමාපටයකට මම දායකත්වය දෙනවා. පේ‍්‍රක්ෂකයන්ට වගේම මටත් දැනෙන සිනමාපටයක් තමයි මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. එහෙම නම්, මට ලැබෙන මූල්‍යමය පැත්ත ගැන නොසිතාම භාරගන්නවා. නමට රඟපාලා චරිත කරලා වැඩක් නෑ. චරිතාංග ශිල්පිනියක් වුණාම මේ සෑම චිත‍්‍රපටයකම අපි රංගනයේ යෙදිය යුතුයි. අපිට ඒ හැකියාව තිබිය යුතුය. අධ්‍යක්ෂකවරු එය හඳුනා ගත යුතුයි. සමහර වෙලාවට මගේ රංගනයන් දැකලා නැති වෙන්නත් පුළුවන්. මම දන් නැති වෙන්නත් පුළුවන්ය. අධ්‍යක්ෂකවරු සමහරවිට මාව තෝරා ගන්නේ නැතුව ඇත්තේ ඉහත මම සඳහන් කළ දේ වෙන්න පුළුවනි. ඒකට මම දෝෂාරෝපණය කරන්නෙත් නැහැ. ගොඩක් අය දැන් නළු නිළියන් නොහඳුනන ප‍්‍රශ්නයක් තියෙනවා. සිනමාවටත් අඳුරු කාලයක් උදා වෙලා තියෙනවා. ගොඩක් සිනමාහල් දැන් වැසී ගොස් තිබෙන්නේ, පේ‍්‍රක්ෂකයා සිනමාහල් කරා ඇදී නොයෑම නිසයි. හොඳ නිර්මාණ බිහිවීමත් අඩුවෙන් සිදු වෙන්නේ. මේවාට විසඳුම් කොතැනක තියෙනවද කියලා හොයන්න හරි අමාරුයි. ඒ නිසා වර්ගීකරණය කුමන යටතට වැටුණත් පේ‍්‍රක්ෂකයා සිනමා ශාලාව වෙත ඇදී එන ක‍්‍රමයක් සෙවිය යුතුයි.

 

 ක්ෂේත‍්‍රය තුළ ඉන්න අය හඳුනන්නේ නෑ කියන එකට හේතුව කුමක්ද?

 

 අපේ සාමූහිකත්වය ගොඩක් බිඳ වැටිලා තියෙනවා. ක්ෂේත‍්‍රය තුළ ජීවත්වන අය එකට හමුවීම ගොඩක් අඩුයි. විවිධ සන්ධාන බිහි වුණත් කලාකරුවන්ට වුණ යහපතක් මම නම් දැකලා නැහැ. සියලූ‍ දෙනාම මේ තුළ කටයුතු කරන්නේ තමන්ගේ අභිප‍්‍රාය වෙනුවෙන්. අලූ‍තෙන් එන සියලූ‍ දෙනාම අධ්‍යයනයකින් තොරවයි ඉන්නේ. අලූ‍තෙන් එන සියලූ‍ දෙනාටම අපි එකතුවෙලා ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයක් හා දැනුමක් දුන්නොත් මේ ප‍්‍රශ්නෙට විසඳුමක් තියෙයි කියලා මම හිතනවා.

 

 අද කලා ක්ෂේත‍්‍රය තුළ පවතින තත්ත්වය ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවාද ?

 

 ප‍්‍රවීණන්ගෙන් ගුරුහරුකම් ගත්ත නව පරපුරේ අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකවරු දැන් බිහිවෙමින් පවතිනවා. නළු නිළියන් ඇතුළු සියලූ‍ම දෙනා ඒ අතර වෙනව. ඒක හොඳ සාධනීය ලක්ෂණයක් කියලා මම හිතන්නේ. පරම්පරාවක් යන විට තවත් පරම්පරාවක් එන්න ඕනෑ. එහෙම නැති වුණොත් මේ ක්ෂේත‍්‍රයේ බිඳ වැටීමකට ලක් වෙනවා.

 

 නිෂ්පාදකවරියක් වීමට ඔබට අදහසක් තිබේද?

 

 හැමෝටම සිහින තියෙනවා. ඒ සිහිනයේ කොටසක් තමයි මම කියන්න හදන්නේ. නිෂ්පාදන සිහිනයේ තිර පිටපත මගේම තමයි. තව අවුරුද්දකින් එකහමාරකින් විතර එය එළිදක්වන්නයි මගේ අදහස. මේ කරන නිර්මාණය මගේ පළමු නිර්මාණයත් අවසන් නිර්මාණයක් වෙන්න පුළුවන්. හොඳ දක්ෂ අධ්‍යක්ෂවරයකු යටතේ ප‍්‍රවීණයන් සහ නව පරපුරේ රංගන ශිල්පින්ගෙ රංගන දායකත්වය ලබාගන්න මම බලාපොරොත්තු වෙනවා.

 

 නැවත විවාහ ජීවිතයක් ආරම්භ කරන්න අදහසක් නැද්ද ?

 

 නාමල් නැතිවෙලා දැන් වසර තුනක් විතර වෙනවා. මම දැන් ජීවත් වෙන්න අම්මත් එක්කයි. දැනට යෝජනා පහළොවක් විස්සක් විතර ඇවිත් තියෙනවා. හරි තෝරා ගැනීමක් බැරුවයි මම ඉන්නේ. මේ දේවල් ඕනවට එපාවට කරගෙන අමාරුවෙ වැටෙන්න බැරි නිසා එක පාරට සිය දහස් වාරයක් හිතන්න වෙලා තියෙනවා. කාගෙවත් හස්බන්ඞ් කෙනෙක්වත්, බෝයිෆ්‍රෙන්ඞ්ස්ලා එහෙමත් නැත්තම් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්, විවාහයෙන් වෙන් වෙච්ච පිරිමින් මගේ කර ගන්න මං කැමැති නැහැ. මාව තේරුම් අරගෙන මට ආදරේ කරන්න ජීවත් වන කෙටි කාලය තුළ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හමුවුණොත් අලූ‍ත් ජීවිතයක් ගැන හිතනවා. එහෙම නැති වුණොත් පිනක් දහමක් කරගෙන මේ කෙටි කාලේ ජීවත් වෙනවා. එක තමයි හොඳම මඟ කියල මම හිතනවා. 


නිශ්ශංක විජේරත්න






Previous Post Next Post