සංගීතය ඉගන ගත්තේ සීතලේ ගැහී ගැහී - චන්දන ලියනාරච්චි



හදවතක ලැගුම් ගැනීම නම් අපූර්වතම හැකියාවකි. සර්සවතියගේ වරමින් කලා ලොවට අවතීර්ණ වන බොහේ දෙනෙකුට එය සොඳුරු උරුමයකි. එහෙත් කාලයේ හීසරවලින් වරින්වර වැදෙන නා නා විධ පහරවලින් කෙනෙකුට මෙලෙස දිගුකාලීනව රැඳී සිටී නම් වරම අහිමිව යයි. තවත් විටෙක සැණින් මතුව එසැණින් සැඟව යන අවස්ථාද ඇත. ඒ අතර දිගු කාලයක් මුළුල්ලේ ජනතා හදවත්වල එකලෙසම රැඳී සිටින සොඳුරු ගායන ශිල්පියකු, සංගීතවේදියකු තමයි  විශාරද චන්දන ලියනාරච්චි. උසස් පෙළින් පසු ජාතික තරුණ සේවා සභාව සමඟ එක් වන චන්දන බෙල්වුඩ් නිකේතනය තුළ වසර තුනක ඩිප්ලෝමාව හැදෑරුවේ මහත් උනන්දුවෙනි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ඔහු සංගීතයට, ගායනයට උපන් හපන්කම් දැක්වූවෙකි. අන්තර් පාඨශාලා තරග, කලාප මට්ටමේ සිට සමස්ත ලංකා තරග දක්වාම ඔහුගේ සහජ කුසලතා තුළින් ඔහුව ජයග්‍රාහකයකු ලෙස කැඳවාගෙන ඒමට මේ දිගුගමනට සවිමත් අඩිතාලමක් විය. කුඩාම කාලයේ සිට පවුලේ අය මෙන්ම පාසලේද ඔහුගේ ගායන කුසලතා මැනවින් හඳුනාගෙන ඔහු දිරිමත් කළ වග චන්දන අදද සිහිපත් කරන්නේ ආදරයෙනි.


අපේ පවුලේ අට දෙනයි. අයියලා අක්කලාගේ බාලම මල්ලි තමයි මම. අම්මයි තාත්තයි පවුලේ හැමෝම මගේ ගායන දක්ෂතාව හඳුනාගෙන හිටියා. කතෝලික පසුබිමක් තිබූ නිසාත් සංගීතයට, ගායනයට වැඩි ඉඩක් තිබුණා. ඒත් ගායන ක්ෂේත්‍රයේ ඉදිරියක් ගැන විශාල බලාපොරොත්තුවක් එයාලගෙ තිබුණෙ නැහැ. නමුත් ටිකෙන් ටික මම ගායන ශිල්පියකු ලෙස විවිධ අවස්ථාවලට සහභාගි වෙනවිට එයාලත් ගොඩාක් ආදරෙන් මට උදව් කළා. චන්දන අතීතය සිහි කරන්නේ ආදරයෙනි. කොතරම් ජනප්‍රියත්වයට පත් ගායකයෙකු වුවත් ඔහු තාමත් ජීවත් වන්නේ ගමේය. තම දෙමව්පියන් හා ආදරණීය පවුලෙන් ඈත්ව විසීමට ඇති අකැමැත්ත ඊට හේතුව බව ඔහු පවසයි.


බෙල්වුඩ් නිකේතනය තුළින් තමයි මම ගායකයෙකු ලෙස ඔබ අතරට එන්නේ ඉතා සුන්දර වගේම දුෂ්කර කාලයකට පසුව. මහනුවර සිට තවත් කිලෝමීටර කීපයක් ඈතින් තමයි බෙල්වුඩ් නිකේතනය පිහිටලා තිබුණේ. උදෑසන ආරම්භ කරන පුහුණුවීම් රාත්‍රිය දක්වාම පැවැත්වුණා. ඉතාමත් ශීත දේශගුණ තත්ත්වයක් තමයි ඒ අවට පැවතුණේ. ඒත් ඉතා උදෑසන සිටම පුහුණුවීම් අරඹන්න ඕනෑ. සීතලේ ගැහෙමින් හරිම දුෂ්කරතා රුසක් එක්ක තමයි අපි ඒ වසර කිහිපය ගත කළේ. ඒ දරා ගැනීම්, කැපකිරීම් නිසා තමයි මෙලෙස මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න හැකියාව ලැබෙන්න ඇත්තේ. යොවුන් ගී කැසට් මාලාවේ 43 වැනි කැසට් පටයට ගීත දෙකක් ගායනා කිරීමේ අවස්ථාව මට ලැබුණා. පෙම් පණිවුඩයේ සහ සසල මා සිත නිසල වුණේ කියන ගීත දෙක තමයි මම ඒ විදියට ගායනා කළේ. මගේ ආදරණීය ගුරුතුමා වන විශාරද නිහාල් ගම්හේවා මහතා තමයි ඒ ගීත දෙක රචනා කළේ සහ සංගීතවත් කළේ. එතැනින් තමයි මම ගායකයෙකු බවට පත්වුණේ. ඉන්පසු කැසට් නිෂ්පාදන ආයතනයකින් ඇරියුම් ලැබුණා. සිහින කුමාරියේ නමින් එළිදැක්වූ ඒ කැසට් පටයේ ගීත දොළහක් ඇතුළත් වුණා. පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම් ගීතය ඇතුළත් වුණේ මේ කැසට් පටයට. ඒ 1994 වසරේදී. පියවරෙන් පියවර ආ ගමන ඔහු ආදරයෙන් සිහිපත් කරයි.


බෙල්වුඩ් එකේදී යොවුන් ගී කණ්ඩායම විධියට අපට රටපුරා යන්න සිදුවුණා. විශේෂයෙන් එවකට පැවැත්වුණු ගම්උදාව, යොවුන් පුරය වගේ වැඩසටහන්වලට සංදර්ශනවලට සම්බන්ධ වෙන්න වුණා. ගොඩක් වෙලාවට ඈත ගම්වල පාසල්වල තමයි අපිට නවාතැන් ගන්න වුණේ. ලොකු පහසුකම් තිබුණෙත් නැහැ. අනිත් එක ශබ්ද පරිපාලන උපාංග, සංගිත භාණ්ඩ ආදී සියල්ල බෙල්වුඩ් එකෙන් වාහනයකට පටවාගෙන සංදර්ශනය තියෙන තැනට අරගෙන යන්න ඕන. එතැන වැඩ ඉවරවුණාම ආපහු අරන් එන්න ඕන. අපි ගායනා කණ්ඩායමේ කියලා ඒවායෙන් ඈත්වෙලා ඉන්න බැහැ. සියලු වැඩ කටයුතු බෙදාහදාගෙන කරන්න ඕන. අලෝකකරණ ශිල්පීන්, ශබ්ද පරිපාලන ශිල්පීන් ආදී ලෙස සංදර්ශනයක් ආරම්භ කරන්නට පෙර තම රාජකාරි කටයුතු අරඹලා සංදර්ශනය නිමා වූ පසුව ඒ සියල්ල නිමා කළයුතු ඔවුන් ගැන වරෙක හිතේ තියෙන ආදරයත්, ගෞරවයක්. ඒකට හේතුව බෙල්වුඩ් එකේදී අප ඒ ලද පුහුණුව. ඒ අසීරු අභියෝග සහිත අතීතය වර්තමානයේ කාටත් ආදරය දක්වන කාගේත් ආදරය දිනාගත් නිර්මාණකරුවෙකු බිහි කරන්නට කොතරම් දායක වී ඇත්ද?



අනූව දශකය ඔහුගේ ජීවිතයට වාසනාව උදාකළ කාලයක් විය. ඔහුගේ පළමු කැසට් පටය වූ සිහින කුමාරියේ ගී ඇතුළත් වූ සිත පරව ගියා, පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම් ආදී ගීත ශ්‍රාවකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. ඔහුට රටපුරා ප්‍රසංග සංවිධායකයින්ගෙන් ආරාධනා ගලා එන්නට විය. කුලියාපිටියේ සිට කාලය කළමනාකරණය කරගනිමින් ඔහු ඒ සියල්ලට සහභාගි වූයේද ලබමින් තිබූ ශ්‍රාවක ආදරය නිසාමය. සමහර දිනෙක ප්‍රසංග කිහිපයකටම සහභාගී වන්නට සිදුවිය. මේ නිසාම අමතක නොවන අත්දැකීම් රුසකටද ඔහුට මුහුණ දෙන්නට සිදුවිය.


එක දවසක් මට ප්‍රසංග කිහිපයකටම යන්න තිබුණා. කුලියාපිටියෙ ඉඳන් ගොඩක් දුරබැහැර. කොහොම හරි එක ප්‍රසංගයකට ගීත ගයන්න මම යද්දී ප්‍රසංගය නිමාවට පත්වෙලා. එතැන විශාල කලබලයක්. සංවිධායක මණ්ඩලයට හොඳටම කේන්ති ගිහින්. මගේ වරද නිසාම මම සමාව ඉල්ලුවා. එහෙත් ඔවුන් ගොඩක් කේන්තියෙන් හිටියේ. මම කියන දේ අහන්න හෝ සමාව දෙන්න හෝ එකඟ වුණේ නැහැ. හිතා මතා නොකළ දෙයක්.එදා මට විශාල පසුතැවීමක් ඇතිවුණා. අදටත් මට ඒ සිද්ධිය මතක් වෙද්දී ලොකු වේදනාවක් දැනෙනවා. මොකද ඒ හැමෝම ගායකයකු ලෙස මට ගොඩක් ආදරය කරන අය. ඒ නිසාමනෙ එයාලා කේන්ති ගත්තේ. ඒ සිද්ධිය නම් මට කවදාකවත් අමතක වෙන්නෙ නැහැ. අතීතයේ තමා අතින් සිදුවූ වරදක් ගැන පවා ඔහු අද සිහි කරන්නේද සැබෑම පසුතැවීමකිනි.


වෙරළුගම, කුලියාපිටිය යනු එවක වැඩිම ලිපි ප්‍රමාණයක් ලැබුණු ලිපිනයකි. අදටත් ඒ කාලේ මතකයි. ඉස්සර පියුම් මහත්තයා ලොකු ලියුම් මිටියක් අරන් එනවා අපේ ගෙදරට. දවස් ගාණක් කියවලාවත් ඉවර කරගන්න බැරි තරම් ලිපි ප්‍රමාණයක්. මම හැකි විදියට පිළිතුරු යැව්වා. මගෙ අක්කලා පවා සමහරවිට ලිපිවලට පිළිතුරු ලියනවා. ඒ තරම් විශාල ආදරයක් මට ලැබුණා මගේ රසික රසිකාවියන්ගෙන් චන්දන ඒ මිහිරි මතකය අවදි කරයි.


චන්දන ලියනාරච්චි නම් මධුර හඬක් මෙන්ම කඩවසම් රුවක්ද හිමි තරුණ ගායන ශිල්පියාට කොතෙක් නම් ප්‍රේමාරාධනා ලැබෙන්නට ඇද්දැයි අද වුවද අපට නොසිතෙන්නේ නොවේ. ඔහුගේ මුවේ මඳ සිනවකි. ඇත්තටම ඒ කාලේ රසිකාවියන්ගෙ ආදරණීය ඇරයුම් ගොඩක් තිබුණා. ඒත් කාලයට ඉඩදීලා මම ඒවා කාගෙත් හිත නොරිදෙන විදියට ප්‍රතික්ෂේප කළා. 1999 වසරේ ලියතඹරා මල එළිදැක්වීමත් එක්ක මේ තත්ත්වය තවත් ඉහළ ගියා. එහෙත් ඒ සියල්ල සමව දරාගෙන මම මේ ගමන ආවා ඔහු කියයි.


නදීෂිකා ශ්‍රී දේවි යනු චන්දනගේ ආදරණීය බිරිඳයි. ඇය ඔහුගේ පෙම්වතියයි. ගුරුවරියක වූ ඇය විවාහයෙන් පසු රැකියාවෙන් ඉවත් වූවාය. මේ වනවිට ඔහුගේ කුඩා පුතෙකුගේ ආදරණීය දෙමව්පියන්ය. නව හැවිරිදි ඉයන් චන්දිව් පුතු සමඟ තවමත් තම ගම් ප්‍රදේශයේම ජීවත්වන චන්දන මේ දිනවලද නවතම ගීත සමඟ තම රසිකයින් හමුවෙයි. දශක දෙකහමාරකටත් වැඩි කාලයක් පුරා ගායන ශිලිපියෙකු ලෙස රසික හදවත්වල රැඳී සිටිනා චන්දන ලියනාරච්චි අදටත් හඬ පුහුණුවීම්වල අභ්‍යාසවල යෙදෙමින් එදා ලෙසම තම මධුර හඬින් සුවහසක් සිත් සුවපත් කරයි. ක්ෂේත්‍රයේ කා සමඟත් ඉතා සුහදව කටයුතු කරන ඔහු තුළ ජීවත්වන සැබෑ සොඳුරු නිර්මාණකරුවාට තව තවත් යහපත් නිර්මාණ ජනගත කරන්නට ඉඩ ලැබේවායි හදසර අපි සුබ පැතුම් එක් කරන්නෙමු.


 මොනිකා සේරසිංහ




Previous Post Next Post