ජාති භේද නැතුව මගේ හැකියාව අගය කළා - The voice teens දිනූ ප‍්‍රණිර්ෂා ත්‍යාගරාජා



රියැලිටි වැඩසටහන්කරණය ලංකාවට හඳුන්වා දුන් සිරස නලිකාව පසුගියදා එහි තවත් එක් පරිච්ෙඡ්දයක නිමාව සනිටුහන් කළා. ඒ ද වොයිස් ටීන්ස් සීසන් ටූ නිමා කරමින්. එහි කිරුළ හිමි කරගන්නට සමත් වුණේ බණ්ඩාරවෙලින් ආ තවමත් වයස අවුරුදු දහතුනක් වෙන පුංචි ප‍්‍රණිර්ෂා. තරඟයක් නම් අනිවාර්යයෙන් ම ජයග‍්‍රහකයෙක් ඉන්නවානේ. මේ කතා බහා විශේෂවන්නේ ජයග‍්‍රහණය නිසා පමණක්ම නොවේ. ඇය ශ‍්‍රී ලාංකික දෙමළ දියණියක්. මේ ඇය පත්තරයට කතා කරන මුල්ම අවස්ථාව. එය සරසවිය වීමත් විශේෂයි. ජාති ආගම් භේද පසෙකලා ශ‍්‍රී ලාංකේය පේ‍්‍රක්ෂකයාගේ ආදරය දිනාගත් ප‍්‍රණිර්ෂා ත්‍යාගරාජා දිනුම ගැන වගේම ඇගේ පෞද්ගලික තොරතුරුත් ඉතාම නිහතමානීව අප සමඟ බෙදාගත්තේ මේ විදිහට.


ප‍්‍රණිර්ෂා ඔක්කෝටම කලින් මම ඔයාගේ ජයග‍්‍රහණයට සුබ පතනවා


 බොහොම ස්තූතියි


 ඉතින් කියන්නකෝ කොහොමද ඔයා වොයිස් ටීන්ස් ගමන පටන් ගත්තේ කියලා?


 මම වොයිස් ටීන්ස් සීසන් වන් බැලූ‍වා. සීසන් ටූ එකේ ඔඩිෂන්වලට යන අතරෙදි මගේ ගම බණ්ඩාරවෙලටත් ආවා. මමත් ගියා. මගේ ඉස්කෝලේ ගොඩක් යාළුවොත් ආවා. සති දෙකකට පස්සේ මට කෝල් එකක් ආවා මම සිලෙක්ට් වෙලා කියලා බ්ලයින්ඞ් ඔඩිෂන්වලට එන්න කියලා.


බ්ලයින්ඞ් ඔඩිෂන් එකේදී කෝචස්ලා හතර දෙනාම අනිත් පැත්ත හැරිලා. ලොකු ස්ටේජ් එකක පළවෙනි පාරට ගායනා කරන්නේ. මොකද හිතුණේ ඒ වෙලාවේ?


 බ්ලයින්ඞ් එකේ නම් මම ගොඩාක් බයවෙලා හිටියේ. ඒක වෙනස් ස්ටේජ් එකක්. වෙනස් කෝචස්ලා. මේක ඉන්ටර්නැෂනල් ප්‍රෝග‍්‍රෑම් එකක්. ඒකේ සිස්ටම් හරිම අමුතුයි. ගොඩක් බය වුණා මම. ඒ බයත් එක්ක තමයි මම සින්දුව කිව්වේ. කොහොමහරි කෝචර්ස්ලා හතර දෙනාම හැරුණා. මුලින්ම හැරුණේ කෝච් අභිෂේකා නිසා මම ඇයව තෝරාගත්තා.


 මුල් කාලෙදි ප‍්‍රණිර්ෂට සිංහල කතා කරන්න අමාරුයිනේ. ඒ වුණාට මේ තරඟයට සහභාගී වූ වැඩිහරියක් තරඟකරුවන් කතා කරන්නේ සිංහල. කොහොමද ඒක දැනුණේ?


 මුලින් මම සිංහල වචන විතරයි දන්නේ කතා කරන්න බෑ. ඒ නිසා චුට්ටක් අමාරුවෙන් හිටියේ කතා කරන්න. ටීම් එකේ අපේ කට්ටිය මට වචන කියලා දුන්නා. එයාලා එක්ක කතා කරන්න කොමියුනිකේට් කරන්න මට සිංහල කියලා දුන්නා.


 මේ තරඟය මාස ගණනක් තිබුණානේ. හොඳම යාළුවා වුණේ කවුද?


 එහෙම විශේෂ කවුරුත් නැහැ අක්කේ. අපි ඔක්කොම එකට තමයි හිටියේ.


 ඔයාට ආදරේ කරන අය කැමැති වෙයි පවුලේ විස්තරත් දැනගන්න?


 මට අක්කි කෙනෙක් ඉන්නවා. මගේ අම්මා ටීචර් කෙනෙක්. තාත්තා ව්‍යාපාරයක් කරනවා. මම ඉගෙන ගන්නේ බණ්ඩාරවෙල ටැමිල් සෙන්ට‍්‍රල් කොලේජ් එකේ නවය වසරේ.


 ඉදිරියේදී ලොකු ඉස්කෝලෙකට ආරාධනාවක් ආවොත් ප‍්‍රණිර්ෂා යනවද?


 නැහැ අක්කේ. මම මගේ ඉස්කෝලෙට හරිම ආදරෙයි. මෙහෙ තමයි මම ඉන්නේ.


මාස ගණනක් ඔයා පිටිපස්සෙන් ඉදලා පුරුදු පුහුණු කරවපු කෝච් අභිෂේකා ගැන මොනවද කියන්න තියෙන්නේ?


 මගේ කෝච් අම්මා වගේ. වෙලාව බලන්නේ නෑ අපි වෙනුවෙන් කාලය කැප කළා. මම හොස්පිටල් එකේ ඉද්දි මට වොයිස් මැසේජ් එවලා මාව දිරිමත් කළා. අපිට දිනන්න පුළුවන් අපි මේක කරමු කියලා හැමවෙලේම පොසිටිව් දේවල්මයි කියන්නේ. ඒ පොසිටිව් වයිබ්ස් ඇවිත් තමයි මට දිනන්න පුළුවන් වුණේ. මම මගේ කෝච් ට ගොඩක් ආදරෙයි.


 මේ කිරුළ ජයග‍්‍රහණය කළේ ලොකු බාධාවක් එක්කයි?


 ඔව් අක්කේ. මට ඩෙංගු හැඳුණා. මට ගොඩාක් කට්ටිය විෂ් කරලා තිබුණා. මම ඒවා ඔක්කොම බැලූ‍වා. හොස්පිටල් එකටත් මාව බලන්න ගොඩක් කට්ටිය ආවා. එද්දි මට ගිෆ්ට් අරගෙනත් ආවා. ඒ අය ඔක්කෝටම තෑන්ක් යූ කියන්න ඕන. ලංකාවේ විතරක් නෙවෙයි රට ඉන්න අයත් මට ගොඩක් ප්‍රෙයස් කරා. මට ඉක්මනට හොඳ වෙන්න හොඳට තරගෙට මුහුණ දෙන්න ඒක ලොකු බ්ලෙස් එකක් වුණා.


 ප‍්‍රණිර්ෂට දෙමළ සින්දුවක් කියන්න කිව්වොත් ඒක කොහොමත් දැනෙන්න කියන්න පුළුවන් ඒ ඔයාගේ මව්බස නිසා. ඒත් කොහොමද මේ තරම් හරබර වචන තියෙන සිංහල සින්දු ඔයතරම් රසට දැනෙන්න ගායනා කළේ? විශේෂයෙන්ම ඒ ගීතවල අර්ථයට ගැළපෙන ඉරියව් එක්ක?


 මට එච්චර තේරෙන්නේ නෑ මොකද්ද තේරුම කියලා. මම මුලින්ම හොඳට සින්දුව අහනවා. පස්සේ මට මගේ කෝච් ඔක්කෝම කියලා දෙනවා. ඒ තත්ත්වය. ඒ හැගීම එක. මේ හැමදේම මට කියලා දෙනවා. ඒකත් එක්ක මගේ ඔළුවේ එකක් හදාගෙන ඒක තමයි මම ගීතයත් එක්ක කරන්නේ.


 අපේ රටේ ගොඩක් ඉන්නේ සිංහල අය. ඔයා එක්ක අවසාන තරඟයට තරඟ කළ අනිත් තුන් දෙනත් සිංහල. ඉතිහාසයේ පළවෙනි වතාවටයි රියැලිටි තරඟයක මේ ආකාරයේ ජයග‍්‍රහණයක් සිදු වෙන්නේ. ඒ ඔක්කොම අතරේ ප‍්‍රණිර්ෂට මේ කිරුළ දිනාගන්න ලැබුණ එක ගැන දැන් මොකද හිතන්නේ?


 ගොඩාක් සතුටුයි. ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඬේ කරලා තියෙන්නේ. කවුරුත් මම ටැමිල් කියලා බලලා නෑ. එහෙම බැලූ‍වනම් මම දිනන්නේ නෑ. මේ තරම් දුර එන්නෙත් නෑ. ඔක්කොම එකතු වෙලා මාව විනර් කරලා තියෙනවා. ඒකට ගොඩක් ගොඩක් තෑන්ක්ස්. ගොඩක් සතුටුයි.


 ද වොයිස් ටීන්ස් ජයග‍්‍රහයිකාව ප‍්‍රණිර්ෂා කියලා කියනකොට කෝච් අභිෂේකා ළඟට පැන්නා නේද? 


(සිනාසෙමින්) ඔව්. ඇත්තටම මට ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා. මම හිතුවේ නෑ මගේ නම කියයි කියලා. මං පුදුම වුණා එකපාරටම මොකද්ද මේ වුණේ කියලා. මං දුවලා ගිහිල්ලා කෝච්ව බදාගත්තා සතුට වැඩි කමට.


 පවුලෙන් ලැබුණ සහාය ගැන නම් කතා නොකරම බෑ නේද?


මාව එක්කන් එන්න එක්කන් යන්න මගේ පේරන්ට්ස්ලා මගේ පස්සෙන්ම හිටියා. මගේ අම්මා ඉස්කෝලේ නිවාඩු දාගෙන මං එක්ක එන්නේ. ඇඳුම් පැලදුමේ ඉඳලා මේ තරඟයට කරන්න ඕන හැමදේම මං වෙනුවෙන් ඒ අය කළා.


අනිත් කෝචර්ස්ලා තුන් දෙනා ඔයාට දෙන ඒ ලස්සන කමෙන්ට් ඔයාට තේරෙනවද ප‍්‍රණිර්ෂා? ස්ටේජ් එක උඩ ඉද්දි මොන දේ කිව්වත් ස්තූතියි කියන්න විතරනේ වෙන්නේ. ඔන්න දැන් අවස්ථාව තියෙනවා ඒ තුන් දෙනාට කැමැති දෙයක් කියන්න?


 ඔව් . කෝච් සංඛ හැමවෙලේම කියන්නේ මං හැමදාම වෙනස් වෙනස් දේවල් කරනවා කියලා. එහෙම කියද්දි මට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. කෝච් සංඛට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්. කෝච් රයිනි හැමවෙලේම කියන්නේ මං ලස්සනයි කියලා. මං දන්නේ නෑ ඒක ඇත්තද කියලා (සිනාසෙමින්). එයාටත් ගොඩක් ස්තූතියි. කෝච් ළහිරු කියනවා මං හරිම අවංකයි කියලා. ඒක ඇත්ත තමයි. ඉතින් හැමෝටම ගොඩක් ස්තූතියි. කෝචර්ස්ලා හැමෝම මාව අගය කරනවා. ගොඩක් සතුටුයි.


 ‘මගේ රටට දළඳා හිමි සරණයි‘ ගීතය මේ තරඟයේ ප‍්‍රණිර්ෂගේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ. අපි හැමෝගෙම හදවත්වලට කතා කළ ඒ සින්දුවේ මගේ ඇස ගැටුණ විශේෂ තැනක් තියෙනවා. ‘සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි...‘ කියද්දි අර අත මිට මොළොවලා උඩට ඉස්සුවේ ඒක නම් කෝච් කිව්ව එකක් වෙන්න බෑ?


 ඔව් . මං මේ තරඟයට ආවට පස්සෙනේ සිංහල සිංදු කියන්න පටන් ගත්තේ. මුලින්ම කිව්ව සිංහල සින්දුවත් ඒක. මේ සින්දුවේදී කෝච් මට කියලා දුන්නා මේක අපි ඔක්කොම එකතුයි කියන එකක්. අපි හැමෝම එකයි කියන එකක් කියලා. ඒක ඔයා අපි ඔක්කෝම කිසිම භේදයක් නැතුව එකතුවෙලා ඉන්නවා කියලා හිතාගෙන කියන්න කියලා. එතකොටයි අර ෆීල් එක එන්නේ කියලා. ඉතින් මට ඒක ඒ වෙලාවේ කරන්න හිතුණා. මට ගොඩක් සපෝට් කරනවානේ ඕල් ශ‍්‍රී ලංකන්ස්. ඒ නිසා මට කරන්න හිතුණා එහෙම.


ප‍්‍රණිර්ෂා ඔයා දැන් නිකම්ම ප‍්‍රණිර්ෂා නෙවෙයිනේ. ද වොයිස් ටීන්ස් නම් අන්තර්ජාතික තරඟයේ ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහයිකාව. මේ ජයග‍්‍රහණයත් එක්ක ලොකු වගකීමකුත් පැවරෙනවා රටට දෙයක් කරන්න?


 ඔව්. මේ තරඟයෙන් මට ගොඩක් දේවල් ලැබුණා. සිංහල හදාගන්න පුළුවන් වුණා. ලොකු අන්තර්ජාතික වේදිකාවක සින්දු කියන්න ලැබුණා. ගොඩක් අත්දැකීම් ලැබුණා. ගොඩක් යාළුවෝ හම්බුණා. මගේ කෝච් එක්ක වැඩ කරන්න ලබුණා. ඇය එක්ක මට ඇයගේම ගීතයක් කියන්න ලැබුණා. මගේ ලොකුම ආසාව ඉස්සරහට සංගීත ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලාංකික ගීත ගොඩක් කරන්න. දෙමළ සහ සිංහල මිශ‍්‍ර කරගෙන කරන්නයි ඕන. හොඳ මියුසික් කරන ගමන් ඩොක්ටර් කෙනෙක් වෙන්නත් ආසවෙන් ඉන්නවා.


 කොණ්ඬේ ගොතලා කොණ්ඩෙට මල් දාලා ඉන්න මේ ප‍්‍රණිර්ෂව අපිට හැමදාම මෙහෙම දකින්න ලැබෙයි නේද?


 ඔව් අනිවාර්යයෙන් ම . ඒක මම දිගටම මේ විදිහට ඉන්නවා. කොණ්ඬේ ගොතලා මාව හැමදාම බලන්න පුළුවන් (සිනාසෙමින්).


 අවසානෙට මොනවද කියන්න තියෙන්නේ?


 මට ඕන ඔක්කෝටම ස්තූතියි කියන්න. සිරස නැන්දලා මාමලට. මේ රටේ අය ඔක්කෝම එකතුවෙලා මාව දිනෙව්වට මට දක්වන ආදරයට. මගේ එක්ක අවසාන තරෙඟ් හිටපු අයියලාට සුබ පතනවා. එයාලා මට ගොඩක් උදව් කළා. කෝචර්ස්ලාට, මං අසනීප වෙලාවෙදි මට සහාය දීපූ අය හැමෝටම ශ‍්‍රී ලංකන් කෙනෙක් විදිහට ගොඩක් ගොඩක් ස්තූතියි කියන්න ඕන. හැමෝටම ආදරෙයි.


තිළිණි රාජපතිරණ





Previous Post Next Post