මගෙ ජීවිතේ හැඬවෙන්නේ සෙනල්යා නිසයි - හිමාලි සයුරංගි




හිමාලි සයුරංගි කියන්නේ වසර ගණනාවක් තිස්සේ තම ජනප්‍රියත්වය රැකගෙන රසික ආදරේ දිනාගත් නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක්. ඒ වගේම හිමාලි නර්තනයටත් ගායනයටත් දක්ෂයි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා ටෙලි නාට්‍යයේ සමාධි කියන චරිතයට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. මේ නාට්‍ය රූගත කරන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. එනිසා දර්ශන තලයේ සිටම ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා ගන්නට හැකිවුණු නිර්මාණයක්.


 ඒ වගේම මම සමීර හසුන්ගේ ආලත්තිඅම්මා කියන නිර්මාණයට රංගනයෙන් දායක වුණා. පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ගේ ඇඳුම් නිර්මාණ කරන අය ගැන කියැවෙන නාට්‍යයක් එය. එහි මගේ චරිතය කුසුමාවතී. කුසුමාවතී කියන්නේ අන්ධ ළමයකුගේ මවක්. “ආලත්ති අම්මා“කොටස් 60ක් විකාශය කැරෙනවා.“


හිමාලි කියන්නේ නිළියක් වගේම නිවේදිකාවක්.


මම රඟපෑමට යොමුවුණාට නිවේදන කටයුතු වලින් සම්පුර්ණයෙන්ම බැහැර වෙලා නැහැ. අවුරුදු වැඩසටහන්, සම්මාන උළෙලවල් සහ විවිධ අවස්ථාවන්වල නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. ඒ එක්කම වෙ‍ෙළඳ දැන්වීම් වලට හඬ කැවීම් කටයුතු සහ හඬ නිළියක් විදියටත් කටයුතු කරගෙන යනවා.


නමුත් ගොඩක් වෙලාවට මම වැඩිපුරම දායකත්වය ලබා දීලා තියෙන්නේ වෙ‍ෙළඳ දැන්වීම් හඬ ශිල්පිනියක් විදියට. පුංචි කාලේ ඉඳන්ම මගේ හඬ ගුවන් විදුලියේ ළමා ශිල්පිනියක්. අවුරුදු 10දී තමයි මම ගුවන් විදුලියට යන්නේ. එදා ඉඳන් මම ගුවන් විදුලි සංස්ථාවේ ආභාසයෙන් හැඳුනු කෙනෙක්. ළමා නිවේදිකාවක් විදියට, ළමා පිටිය, ළමා රංග පිඨය වගේ වැඩසටහන් ගොඩක් තිබ්බා. ඒ නිසා මගේ කටහඬ ඕනේ විදියකට හැඩගස්වා ගන්න පුළුවන්. ඒ පුහුණුව මම ලැබුවේ ගුවන් විදුලියේ ළමා ශිල්පිනියක් විදියටයි. කෙටි කතාවල ට සම්බන්ධ වුණා. වෙ‍ෙළඳ දැන්වීම් කියන්නේ වෙනම කලාවක්. ඒ නිසා වෙ‍ෙළඳ දැන්විමකදී හඬ පාලනය, ඒ ලබාදියයුතු වර්ණය ලබා දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා බොහොමයක් වෙ‍ෙළඳ දැන්වීම් වලට මාව තෝරා ගන්නවා.“


හඬ කැවීම් ශිල්පිනියක, නිවේදිකාවක ලෙසින් ඉදිරියට පැමිණී ඇය වඩාත් ජනප්‍රිය වන්නේ සිනමාවට අවතීර්ණය වීමත් සමඟයි.


“සිකුරු හතේ නිර්මාණයත් ඇතුළු සිනමා නිර්මාණ දෙක තුනක පමණයි මම රඟපා තියෙන්නේ. ඒ අතරින් ගොවි තාත්තා සිනමා නිර්මාණය වෙනුවෙන් හොඳම නිළිය ලෙසින් ස්වීඩනයේ බෝඩ්න් අන්තර්ජාතික සිනමා උලෙළේ දී සම්මාන ලැබුවා. ඒ වගේම සුනාමි චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙසින් Ceylon International Film Festivalහි සම්මානයට පාත්‍ර වුණා. සිනමාව වෙනුවෙන් පොඩි දායකත්වයක් ලබා දුන්නත් මෙවැනි ජාත්‍යන්තර ඇඟයීම් සම්මාන ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා. අපේ රට තුළ සිනමාව කියන්නේ ඉතා කුඩා කර්මාන්තයක් වුණත්. අපේ කලාකරුවන් දක්ෂතා අතින් ඉදිරියේ ඉන්නවා කියන එක තමයි මේ සම්මාන ඇගයීම් වලින් මට දැනුණේ. තවම ගොවි තාත්තා චිත්‍රපටය මෙරට තිරගත වෙලා නැහැ. ඒ වගේම සුනාමි චිත්‍රපටය පවා කොවිඩ් වසංගතය පැතිර යාමත් එක්ක ප්‍රදර්ශනය අතරමඟ නතර වුණා.“


නිළියක් ලෙස කටයුතු කළ ද ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන්වී ඇත්තේ ඇගේ දියණියටයි.


මගේ ජිවිතේ මගේ දුව සෙනල්යා. දැන් දුවට අවුරුදු අටයි. මගේ දුවත් කලාවට ගොඩක් දක්ෂතා පෙන්නුම් කරන කෙනෙක්. මමත් ඒ වයසේදී ඉගෙනීමට වඩා කලාව පැත්තට ගියේ. නමුත් තවත් ඉගෙන ගන්න තිබුණානේ කියලා මට හිතෙනවා. මම මම ගැන හිතලම දුවට කලාව පැත්තටම යොමු නොකර අධ්‍යාපනය පැත්තට නැඹුරු කරලා තියෙනවා. දුව නටන්න සින්දු කියන්න, රඟපාන්න හඬ කැවීම් ආදි සියල්ලටම එයත් දක්ෂයි. මම වගේම තමයි මගේම දුවත්. මම ආසයි මගෙ දූ හොඳින් ඉගෙනීම් කටයුතු අවසන් කරලා මේ කලාවට යොමුවෙනවට. මම කලාවේ කිසි වැරද්දක් මම දකින්නේ නැහැ. ගොඩක් හොඳ දෙයක් කලාවට ළමයෙක් යොමු වෙනවා කියන එක. කලාවට යොමු වුණු ළමයින්ගේ හිත් හරි ලස්සනයි, සුන්දරයි. මට අධ්‍යාපනය එක්ක මට කලාව සමබරව කර ගන්න බැරි වුණා. නමුත් දුව අධ්‍යාපනය එක්ක සමබරව කලාව කරගෙන යනවා නම් කිසිම අකමැත්තක් නැහැ.


මගේ ජිවිතේ හැමදෙයක්ම පොඩි කාලේ ඉඳන් එක පාරටම ලැබුණෙත් නැහැ. ටිකෙන් ටික කාලයත් එක්ක කටු කාලා හැලහැප්පීම් එක්ක ආපු ගමනක් මට තියෙන්නේ. අපේ පවුල් පසුබිමේවත් කලාවට සම්බන්ධ අය හෝ උදව් කරන්න අය හිටියේ නැහැ. හැකියාව සහ උත්සහාය නිසාම ආපු ගමනක් මට තියෙන්නේ. කොයි මොහොතකවත් මම පසුබට වුණේ නැහැ. තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන හැකියාවෙන්ම තමයි මේ ගමන යන්න ඕනේ කියන එක තමයි මට තිබුණේ. එහෙම නැතුව දැනහැඳුනුම්කම් මත හෝ වියදම් කරලා මේ ගමන එන්න පුළුවන්කම තිබ්බේ නැහැ. අපි සාමාන්‍යය පවුලක්. මට තිබ්බ එකම ආයුධය දක්ෂතාව. ඒ දක්ෂතාව තුළින්ම තමයි අද මේ ගමන ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මම සතුටු වෙනවා නිවේදිකාවක් විදියට, හඬ කැවීම් ශිල්පිනියක් විදියට, ගායිකාවක් විදියට සහ නර්තනය පැත්තෙන් පවා මගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඒ නිසා මොකක්දෝ වාසනාවකට කලාවේ හැම පැත්තකින්ම මට හැකියාවන් තිබ්බ නිසා ඒ සියලු අංශ වලින් ඉස්සරහට යන්න ප්‍රයෝජනවත් වුණා. මම මගේ හැකියාවන් හඳුනාගෙන ඒ දේවල් මුවහත් කරගෙන ආව ගමනක් තියෙන්නේ.






Previous Post Next Post