මම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිමින් ඉන්නවා - අභිෂේකා විමලවීර




තමන්ටම ආවේණික ශෛලියකින් ස්වර තාල ගයන්නට දක්ෂිකාවක් ඇය අද දවසේ ජනප්‍රිය ගායන ශිල්පීනීයකි. මේ දිනවල පුංචි තිරයේ රියැලිටි වඩසටහනකින් ද අපට ඇය දැක ගත හැක. ඇය නම් අභිෂේකා විමලවීරය.


 මේ දවස්වල මොකද කරන්නේ?


මේ දවස්වල ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිමින් ඉන්නවා.


 ඔබ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරනවා. සැබැවින්ම ඔබේ වෘත්තිය කුමක්ද?


මම ව්‍යාපාරිකාවක්. ඒ අතර චර්ම රෝග පිළිබඳ පාරම්පරික විශේෂඥ වෛද්‍යවරියක් ලෙස වැඩ කරනවා. ඒ වගේම මම ගායිකාවක්. ඊළඟට මම රූපලාවණ්‍යය ශිල්පීනියක්. මේ සියල්ලටම වඩා මම මවක් බිරිඳක්.


 

ඔබ මෑතකදි ගැයූ ගීය මතක ලන්තෑරුම. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම හිතන්නෙ මගේ නිස්සාර කළේ මීට අවුරුදු හතරකට කලින්. ඊට පස්සෙ ගිය අවුරුද්දෙ තමයි මතක ලන්තෑරුම් ගීතය කළේ. මන් හිතන්නෙ නිස්සාරට වඩා වැඩි ප්‍රතිචාර ලැබුණ ගීතය මතක ලන්තෑරුම.


 මතක ලන්තෑරුම නිර්මාණය වෙන්නෙ කොහොමද?


මතක ලන්තෑරුම කියන්නෙ මගේ මෑතකදි කරපු සිංදුව. ඒ ගීතය මම ගයන්නේ කරුණාරත්න දිවුල්ගනයන් සමඟ. මම ලියන්නෙ නැතුව වෙන වෙන අය ලියපු සිංදු ගණනාවක් යවනවා. එතකොට ඒ හැම සිංදුවක්ම ප්‍රතික්ෂේප වෙනවා. එතුමා ගොඩක් වචන ගැන හිතන කෙනෙක්. මේ අතර මට හමුවෙනවා මගේ පොතක් ඇතුළේ තිබිලා මම ලියපූ ගීතයක්. මම එය යවනවා ඔහුට. ඒ ගීතය දැකලා ඔහු මගෙන් අහනවා මෙච්චරකල් කොහෙද ඒ පද ටික සඟවන් හිටියේ කියලා. ඉන් පස්සේ තමයි ඒ පද පෙළ අපූරු ගීතයක් වෙන්නේ. ඒ ගීතයට බොහෝ දෙනෙක් ආදරය කරනවා.


 වසර නවයක ආදර කතාවේ හිමිකරුවා කොහොමද ඔබට මුණ ගැසුණේ


එය යෝජිත විවාහයක්. මම කැම්පස් එකේ ඉන්නකොට මට මගේ හොඳම යාළුවෙක් කතා කරලා කියනවා, එක්තරා පුද්ගලයෙක් ඉන්නවා එයා ඔයා ගැන කැමැත්තකින් ඉන්නවා කියලා. ඒ දවස්වල ගෙදරින් මට බඳින්න කෙනෙක් සොයමින් සිටියෙ. මම කිව්වා ඇවිල්ලා ගෙදරින් අහන්න කියලා. අම්මලගෙන් ඇවිල්ලා අහලා මාස තුනක් වගේ ඇතුළත අපි විවාහ වුණා.


 දියණිය හා සැමියා එක්ක ගෙවන ජීවිතය ගැන කිව්වොත්


මේක මට හිතෙන්නෙ ECG Report එකක් වගේ කියලා. ඒ කියන්නෙ ECG එකක් සරල රේඛාවක් වගේ ගමන් කරන්නෙ නැහැනේ. උඩට යනවා. පල්ලෙහාට යනවා. ආයෙ උඩට යනවා. ECG Report එකක් වගේ. මට දැනෙන්නේ අපේ ජීවිතත් ඒ වගෙයි කියලා.


 Voice teen අත්දැකීම ඔබට දැනෙන්නේ මොන වගේද


Voice teen මාව අායෙ ජීවත් කළා. මම මගෙ දුව හම්බුණාට පස්සෙ වැඩියෙන්ම සතුටු වුණේ Voice teen final එක දවසෙ. මට හිතෙන්නේ එහෙමයි.


 ප්‍රනීශාගේ ජයග්‍රහණය පිටුපස ඔබත් ඉන්නවා. ඒක එහෙම නේද?


ප්‍රනීශා කියන්නෙ මගේ ජීවිතයේ මට හම්බුණ දක්ෂම දරුවා. එයාට ගුරුහරුකම් දෙන්න ලැබුණ එක ගැන මට ආඩම්බරයි.


 මේ දවස්වල ඔබ ගැන හරි හරියට සමාජ මාධ්‍ය වල කතා කෙරෙනවා .. මොකක්ද ඒකට හේතුව?


මිනිස්සුන්ට ආදරය කරන එක. මිනිස්සුන්ට ආදරය කළාම මිනිස්සුත් අපිට ආදරය කරනවා. මා තුළ Negative


comments නැති වෙන්න පළවෙනි හේතුව ඒකයි.


 පුංචි කාලෙ ඉඳලා කලාවත් එක්ක ආ ගමන ගැන ඔබ තෘප්තිමත් ද?


සීයට සීයක්, සීයට දාහක්, එහෙමත් නැත්නම් සීයට ලක්ෂයක් මම ඒ ගැන තෘප්තිමත්.


 

ඔබේ ඉදිරි වැඩ ගැන කිව්වොත්?


මම කැමති මගේ ඉදිරි වැඩ ගැන රහසක් විදියට තියා ගන්න. හේතුව මම විශ්වාස කරනවා ඒවා කිව්වොත් ඒක හරියන්නෑ කියලා. ඒක රහසක් විදියට තියෙයි.

 




Previous Post Next Post