පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් මේ දිනවල දැක ගන්න ලැබෙන චතූ රාජපක්ෂ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක් බවට පත් වෙලා. ඇය රංගනයෙන් දායකවන ද ගේම් සිනමාපටය මේ දිනවල තිරගත වනවා. ඒ නිසා ඒ ගැන වගේම පුද්ගලික ජිවිතේ ගැන කතා කරන්න රසඳුනත් එක්ක චතූව සම්බන්ධ කර ගත්තා.
චතූ මේ දවස්වල නිදහසේ කාලය ගත කරනවද..?
මම නම් මේ දවස්වල හරිම කාර්යබහුල කෙනෙක් බවට පත් වෙලා නිර්මාණ කිහිපයක් නිසා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ගගන පියවර නාට්‍ය විකාශය වෙනවා. තවම මගේ කොටස් විකාශය වුණේ නැහැ . එහි රූගත කිරිම් කරනවා. ඊට අමතරව සුසුම් රස්තියාදුව කියන නිර්මාණයෙත් වැඩ කටයුතු කරගෙන යනවා.
කොහොමද බන්ධනා නාට්‍යට ලැබෙන් ප්‍රතිචාර ..?
බන්ධනා වෙනස්ම නිර්මාණයක්. මම ඒ නිර්මාණයේ චරිත දෙකක් කරනවා. ප්‍රතිචාර හොඳයි. බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරනවා. මමත් ආසාවෙන් සම්බන්ධ වුණු නිර්මාණයක්. මේ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ බුද්ධිනි ජයවර්ධන.
ඔබ විවාහ වෙලා එතරම් කාලයක් නැහැ, බන්ධනා නාට්‍යයේ රොමෑන්ටික් දර්ශන දකිද්දි සැමියාගෙන් නීතී රීතී වැටිලා නැද්ද..?
නිතී රීති දාලා කොටු කරලා මාව තියන්න ඔහු උත්සහා කරන්නේ නැහැ. විවාහ වුණාට පස්සේ තමයි මම ගොඩක් චරිත නිදහසේ කරන්නේ කිව්වොත් හරි. බන්ධනා නාට්‍යයේ ලක්ෂ්මී ගේ චරිතය ටිකක් ආදරණීයයි. විශ්ව කොඩිකාර එක්ක කරන්න තියෙන සීන් ටික. සිප වැලඳ ගන්න පවා තියෙනවා. ආදරේ කරද්දී ළං වෙලා හිතට දැනෙන්න රඟපාන්න ඕන. මගේ හස්බන්ඩ් එහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කිව්වොත් මට ඒ චරිතයට සාධාරණයක් කරන්නත් බැහැ. පවුල ගැන හිතන්නත් වෙනවා. නමුත් එයා මාව කොටු කරන්නේ නැති නිසා මගේ චරිත මම නිදහසේ කරගන්නවා.
ඒ වගේම ඇතැම් අය මට ඒ දර්ශන දැකලා ප්‍රතිචාර දක්වලා තිබ්බා ඒවා බලාගෙන විශ්වගේ බිරිඳ වගේම මගේ සැමියා කොහොම ඉන්නවද දන්නේ නැහැ කියලා. විශ්වගේ බිරිඳ වගේම මගේ සැමියා දන්නවා ඒක කැමරාව ඉදිරියේ කරන රඟපෑමක් විතරයි කියලා. ඒ නිසා මට කිසිම පීඩනයක් නැහැ.
රංජන් රාමනායක කියන ප්‍රවීණ රංගන ශිල්පියා මේ වෙද්දී බන්ධනාගාරගත වෙලා ඉන්නේ. නමුත් සාර්ථක ලෙස ද ගේම් තිරගත වෙනවා, කැමරාව ඉදිරියේදි ඔහුගෙන් ලැබූණු සහය කොහොමද?
2019 අවුරුද්දේ තමයි මේ චිත්‍රපටය රූගත කළේ. ඉතා සාර්ථක විදිහට සමාජ ගත වෙලා චිත්‍රපටය. රංජන් කියන්නේ පුදුමාකාර මනුස්සකමක් තියෙන රංගන සහෝදරයෙක්. ඔහුත් එක්ක රගපෑවේ හරිම සතුටින්. බොහෝම ලෙසියි රඟපාන්න . ඒ වගේම කාලය ගත වුණා නම් තේරුණේම නැහැ. මහන්සියක් දැනුණේ නැහැ. කැමරාව ඉස්සරහට යද්දි දැනෙන පීඩනය ඔහු නිසා දැනුණේ නැහැ. හරි සතුටින් හිටියා.
චතූ අනුන්ගේ වහල උඩට නැඟලා අඹ, පේර එහෙම හොරෙන් කඩනවා කියලා ආරංචියි..?
අපි ඉන්න ගෙදර එහා පැත්තේ තියෙන්නේ රෙස්ටුරන්ට් එකක්. ඒ වහලේ අපේ ගෙදර වහලෙත් එක්ක තියෙන්නේ. රෙස්ටුරන්ට් එකේ අයිති කට්ටිය හරි හොඳයි. දවසක් මම අපේ වහලේ දිගේ එයාලගේ වහලෙට නැඟලා එයාලගේ පේර ගහේ පේරයි, අඹයි කැඩුවා. මුල් දවසේ කළේ හොරෙන්, පස්සෙ ඉතිං කවුරු බැලුවත් කමක් නැහැ කියලා කඩලා කනවා. අන්තිමේදී එයාලා කැඩුවොත් මටත් දෙන මට්ටමට ආවා.
කොහොමද චතූ පුද්ගලික ජිවීතේ..?
වරදක් නැහැ. නිර්මාණ කටයුතු හැරුණාම සැමියා එක්ක සතුටින් පවුල් ජිවිතේට මුල් තැන දීලා ජිවත් වෙනවා.
රංගන ශිල්පිනියන්, හෝ ජනප්‍රිය චරිත නඩත්තු කරන්න ඕන නිසා විවාහ කරගන්නේ මුල්‍යමය අතින් ශක්තිමත් අයව කියනවා, විශේෂයෙන්ම ව්‍යාපාරකයින් වගේ අයත් එක්ක. ඔබේ සැමියාත් ව්‍යාපාරිකයෙක්, ඔබත් එහෙම හිතලද ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වුණේ?
මම බදින්න කලින් එයා එයාගේ තාත්තාගේ ව්‍යාපාර එක්ක වැඩ කළේ. මම විවාහ වුණාට පස්සේ තමයි එයාට කිව්වේ අපි වෙනම ව්‍යාපාරයක් කරමු කියලා. මගේ සැමියා ලොකු ව්‍යාපාරිකයෙක් නෙමෙයි. අපි තවම ගොඩනැඟෙනවා. ඒ නිසා මම යම් ස්ථාවරයකට එන්න ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වුණේ නැහැ .
ජනප්‍රියත්වයට හානියක් වෙයි කියලා විවාහය හංගනවද..?
කොහෙත්ම නැහැ. මොන වැඩසටහනට ගියත්, මම මගේ සැමියා ගැන විවාහ ජිවිතේ ගැන නිතරම කතා කරනවා. මට කවුරු හරි ආදරේ කරනවා නම් ඒ ආදරේ කරන්නේ නිර්මාණ බලලා විතරයි. පුද්ගලික ජිවිතේ දිහා බලලා නෙමෙයි. ඒ වගේම විවාහ ජිවිතේ හැංගුවා කියලා ජනප්‍රිය වෙන්නෙත් නැහැ . මගේ රංගන ජිවිතේ සාර්ථක වුණේ විවාහයත් එක්ක කිව්වොත් මම හරි.
හර්ෂණී වීරරත්න