කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
මම පසුගිය දවස්වල කාර්යබහුල වෙලා සිටියා. ඉන් පසුව මට මාස තුනක පමණ විවේකයක් ලැබුණා. ඒ වගේම මේ දිනවල රූපවාහිනි නාළිකාවලින් සංවිධානය කරන අවුරුදු වැඩසටහන් සඳහා සම්බන්ධ වෙමින් සිටිනවා.
තරින්දි මේ දවස්වල අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා කියලා ආරංචි වුණා?
ඔව්. මම අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ජූලි මැද භාගයේ පමණ එය එළිදක්වන්න නියමිතයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ අධ්‍යාපන කටයුතුවල මේ දිනවල නිරත වෙමින් සිටිනවා. ව්‍යාපාරය ගැන විස්තර පසුව කියන්නම්.
රයිගම් සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයකට ඔබ නිර්දේශ වී තිබුණා. ඒ ගැනත් කතා කරමු?
ඔව්. රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2020 වසරේ, සුළඟ මහමෙරක ටෙලි නාට්‍යයේ රංගනයට හොඳම නැගී එන නිළිය සඳහා නිර්දේශ වී තිබුණා. ඒ වගේම 2021 වසරේ මහ පොළොව ටෙලි නාට්‍යයේ රංගනය සඳහා හොඳම සහාය නිළිය ලෙසත් සම්මානයට නිර්දේශ වී තිබුණා. සම්මානය නොලැබුණත් මට ඉතාම සතුටුයි මොකද මාව ප්‍රථම වතාවට තමයි සමානයට නිර්දේශිත වුණේ. අනෙක් කාරණාව අවුරුදු දෙකේක්ම නිර්දේශිත නාම අතරට පැමිණෙන්න පුළුවන් වීම ගැනත් මට සතුටුයි.
ඉදිරියේදී තිරගත වීමට නියමිත ඔබ රඟපෑ ‘ද ගේම්' චිත්‍රපටය ගැනත් කතා කරමු?
සුරංග ද අල්විස් මහත්මයාගේ ද ගේම්’ චිත්‍රපටයේ රූගත කිරීම් අපි අවසන් කළේ මීට අවුරුද්දකට පමණ පෙර. මෙය මම චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමු අවස්ථාව. රන්ජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස් ආදී ප්‍රවීණ රංගන ශිල්පීන් මෙන්ම ජනිත් වික්‍රමගේ, චතූ රාජපක්ෂ, ගීතිකා රාජපක්ෂ ආදී තරුණ පරපුරේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ වැඩ කරන මට අවස්ථාව ලැබුණා. මෙය ලසන අත්දැකීම් සමඟ නිර්මාණය වූ චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය තිරගත වන්නේ කවදාද?
මම සිතන්නේ මැයි මාසයේ මැද භාගයේදී පමණ තිරගත වෙයි.
රන්ජන් රාමනායක සමග ප්‍රධාන චරිතය නිරූපණය කරන්න ලැබීම සහ ඒ ලැබුණු අත්දැකීම ගැන කතා කළොත්?
ඇත්තටම රජන් රාමනායක මහත්මයා ගැන ලංකාවේ ඇතැම් අය හොඳ වක්ම නරකත් කියනවා. නමුත් මම ඒ දේවල් ගැන දන්නේ නැහැ. ඔහු ඇත්ත වශයෙන්ම හිත හොඳ මනුෂ්‍යයෙක්. තාමත් ලංකාවේ සුපර් ස්ටාර් රන්ජන් රාමනායක කියලා මම සිතනවා. ඉතින් මට ඔහු සමඟ රඟපාන්න ලැබීම ලොකු ගෞරවයක්, ආඩම්බරයක් වගේම සතුටක්.
සිනමා නිළියක් වීමට ලැබීම ගැන මොකද සිතෙන්නේ?
මෙය මගේ පළමුවැනි චිත්‍රපටය නොවෙයි. මීට පෙර මම සිනමාවට සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන පළමු අවස්ථාව මෙය. පෞද්ගලිකව මම සිනමා ක්ෂේත්‍රයේ නිළියක් වීමට කැමැතියි. මගේ නර්තන හැකියාව ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නත් මෙහිදී මට හැකියාව ලැබුණා. ඒ වගේම සුරංග ද අල්විස් මහත්මයා මගේ රංගන කුසලතාවන් ඔප මට්ටම් කරලා ගත්තා. බොහෝ වේලාවට මෙය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂෂ්‍යය වෙයි.
මෙගා ස්ටාර් හරහාත් අපි ඔබගේ නර්තන කුසලතාවන් දුටුවා. ඔබ නර්තනය හදාරා තිබෙනවාද?
ඔව්. මම පාසල් යන කාලයේ නර්තනය හැදෑරුවා. කුඩා කාලයේ මගේ සිහිනය වුණේ නර්තන ගුරුවරියක් වෙන එක. සාමාන්‍ය පෙළ සඳහා වාණිජ විෂය තෝරා ගැනීමත් සමඟ මගේ අරමුණ වෙනස් වුණා. මම රැකියාවන් සඳහා කොළඹට පැමිණි පසු බටහිර සහ හින්දි නර්තන ශෛලීන් හැදෑරුවා. නර්තනය කියන්නේ මගේ විලාසිතාව. නර්තනය තුළින් මෙම විශාල ආස්වාදයක් ලබනවා.
වෘත්තීය රංගන ශිල්පිනියක් විධියට ක්ෂේත්‍රයේ රැඳී සිටින එක අපහසුයිද?
වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන්. නමුත් එහි ලොකු අවදානමක් තිබෙනවා. වෘත්තීය රංගන ශිල්පිනියක් වන විට අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ රංගනය. එවිට අපිට ගුණාත්මක නිර්මාණ සඳහා පමණක් සම්බන්ධ වෙලා ආදායම් මට්ටම රැක ගන්න අපහසුයි. අපි රඟපාන්න ආස චරිත පමණක් කරලා ජීවත් වෙන්න අපහසුයි කියන මතයේ තමයි මම සිටින්නේ. මම වෘත්තියක් විධියට රංගනය තෝරාගෙන නැහැ.
ඔබ ජනප්‍රියත්වයත් දක්ෂතාවත් එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පිනියක්. මේ සඳහා ඉවහල් වූ කාරණා මොනවාද?
මම මුල් කාලීනව මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ වැඩමුළු සඳහා සම්බන්ධ වුණා. ඔහුගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. නමුත් පසු කාලීනව වැඩත් සමග එය මඟහැරුණා. මට මුණ ගැසෙන විවිධ අධ්‍යක්ෂවරු, ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් තුළින් වගේම විවිධ තිරපිටපත් සමඟ මුසු වී රංගනය කිරීම මඟින් මම ඉගෙන ගනිමින් සිටිනවා. මගේ කුමක් හෝ වාසනාවකට ජනප්‍රියත්වය වත්ම දක්ෂතාවන් පෙන්නුම් කරන්නට හැකි නිර්මාණ මට ලැබුණා. මම මෙතෙක් දායක වූ චරිත එකිනෙකට වෙනස් වූ ඒවා. මම කරන චරිත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගැනීම තුළින් ජනප්‍රියත්වය වගේම එම චරිත හරහා මගේ රංගන කුසලතාවන් පෙන්වීමටත් හැකියාව ලැබී තිබෙනවා.
තරින්දි දැන්ම විවාහ වෙන්න සූදානමක් නැද්ද?
විවාහ වීමට තවම අදහසක් නැහැ. මම විවාහ වන තුරු ආදරය ගැනවත් විවාහය ගැනවත් කතා කරන්න කැමති නැහැ.
ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
ශිවගුරුනාදන් මහත්මයාගේ අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණා. එය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඊට අමතරව අප්‍රේල් මාසයේ අග භාගයේදී තවත් නිර්මාණ කිහිපයක් සඳහා සම්බන්ධ වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතුවලට මුල් තැනක් දීමට බලාපොරොත්තු වෙනවා.