වීරයන්ට වගේ ම දුෂ්ටයන්ටත්, ප්‍රේමවන්තයන්ට වගේ ම මැරවරයන්ටත් මේ මහ පොළවේ වෙන් වුණ ඉඩක් තියෙනවා. එය කලා නිර්මාණවලටත් එය පොදුයි. මේ දිනවල විකාශනය කෙරෙන සංගීතේ ටෙලි නාට්‍යයෙහි 'පොඩි අතුල' ලෙසින් රංගනයේ නියුතු රංගන ශිල්පී නිරෝෂ් අනුරාධ මේ විදියට එමි විස්තර පුවත්පතක් සමගින් පවසා තිබුනා.
'පොඩි අතුල' ට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
ඇත්තටම කිව්වොත් දැන් පාරට බහින්න බැරි තරම්.ඒ චරිතයට උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. පොඩි අතුලගෙ චරිතය රඟපාන්න ලැබීම මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය කියල කිව්වොත් නිවැරැදි යි. මට මේ චරිතය ලබා දුන් අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් සහ එවක සහය අධ්‍යක්ෂකවරයාව සිටි ලසන්ත මධුශාන් (ගුණ්ඩුවා)වත් ස්තූති පූර්වකව මතක් කරනවා.
කොහොමද කලා කටයුතු වලට මුල පිරුවේ?
2005 වර්ශයේ සිට 2012 දක්වා කොරියාවෙ රැකියාව කරන කාලෙ ඇන්ටන් මිහිඳුකුල කියන නාට්‍යකරුවා හඳුනා ගැනීමත් එක්ක මුලින් වීදි නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. පද්මසිරි කොඩිකාරගෙ 'කෝරළේ මහත්තයා' දෙවන කොටසේ 'බණ්ඩියා' චරිතය තමයි මගෙ මුල්ම ටෙලි නාට්‍ය රංගනය. ඉන් අනතුරුව නාලිකා කිහිපයක විකාශය වුණ නිර්මාණ කීපයකට සම්බන්ධ වෙන්න මට හැකියාව ලැබුණා. උදය ශාන්තගේ ඇරයුමෙන් රඟපෑ 'කෝටිපතියෝ' ඒ අතරින් සුවිශේෂීයි.එහි අනෙකුත් කොටස් වන 'ආගන්තුකයා' , 'අග්නි පියාපත්' ටෙලි නාට්‍යයත් 'ස්වර්ණපාලි' , 'අදිති' , 'හදවතේ කතාව' , 'හඳයා' , 'ක්වීන්' වැනි ටෙලි නිර්මාණ වලත් මම රඟපෑවා. මේ දිනවල විකාශය වන 'ගුග්ලි' නාට්‍යයේත් මම රංගනයේ යෙදෙනවා.
'මැර' චරිත ඔබේ අනන්‍යතාව වෙලා කිව්වොත්?
ඔව්. මම බොහොමයක් රඟපෑවෙ එවැනි චරිත. මගෙ ශරීරයේ පෙනුම , බැරෑරුම් කටහඬ වැනි දේවල් එවැනි චරිත ලැබෙන්න බලපාන්න ඇති. කොහොමත් මම ඒ කාලෙ ඉඳන් වඩාත් ප්‍රිය කළේ ටෙඩී විද්‍යාලංකාර, විල්සන් කරූ, ඩොමී ජයවර්ධන, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ලයනල් දැරණියගල , බන්ධු මුණසිංහ වැනි සටන් ජවනිකා නිරූපණය කළ රංගන ශිල්පීන්ට. ඇත්තටම මං ගොඩක් කැමැත්තෙන් එවැනි චරිත රඟාපාන්නෙ.
පවුලේ තොරතුරුත් දැනගන්න කැමතියි.
අම්ම , තාත්ත සහ මල්ලි තමයි මගෙ පවුලෙ ඉන්නේ.ගම මාතර.ඔල්කට් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. අපේ පවුලෙ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ.හැබැයි මගෙ දෙමව්පියන් කලාවට ගොඩක් ලැදියි.මාතලන් වගේ පැරණි චිත්‍රපට ගැන, විජිත මල්ලිකා, ක්ලැරිස් ද සිල්වා වැනි රංගන ශිල්පීන් ගැන පුංචි කාලෙ ගෙදර කතාබහ කළා.ඒ ලැදියාව මගෙ කලා ජීවිතයට විශාල පිටිවහලක් වුණා කිව්වොත් නිවැරැදියි.
අතුලට ගීත ගයන්නත් පුළුවන් නේද?
ඔව්.මම සංගීත සන්දර්ශන සහ විවාහ උත්සව සඳහා ගායනයෙන් සහභාගී වෙනවා. ඉදිරියේදීත් ගායන සහ රංගන කටයුතු සාර්ථකව කරන්න බලාපොරොත්තු වෙනවා. මම රඟපාපු මෙතෙක් විකාශය නොවූ ටෙලි නාට්‍යය එකොළහත් රසිකයන් ආදරයෙන් වැළදගනීවි යැයි අපේක්ෂා කරනවා.