සංගීත් බිරිඳට දෙන වැලන්ටයින් සිහිවටනය



පෙබරවාරි කියන්නේ ලොව පුරා වෙසෙන පෙම්වතුන් ආදරෙන් ආදරය සමරන මාසයනේ. 2021 වසරේ ආදරණීයම යුවළක් ලෙසින් කා අතරත් ජනප්‍රිය වුණු සංගීත්-අමන්දා යුවළගෙන් මෙවර පෙම්වතුන්ගේ දිනය දා ආදරණීයයන්ට ආදර ගීතයක් ලැබෙන බව දැනගන්නට ලැබුණා. ඒ ගැන  සංගීත් ඉද්දමල්ගොඩට මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


සංගීත් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


මේ දවස්වල වෙනදා වගේම මගේ සංගීත කටයුතු එක්ක සහ මගේ ඇඩ්වර්ටයිසින් ආයතනයේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ එක්කම අලුත් සින්දු දෙකක් කළා. එකක් පෙවතුන්ගේ දිනය දා එළිදක්වනවා.


අපි ඒ අලුත් ගීතය ගැන කතා කරොත්?


ඒ සින්දුව මම අමන්දා වෙනුවෙන් ලියපු පළමු සින්දුව. ඒ වගේම තනුව සහ සංගීතවත් කරන්නෙත් මම. අපේ ආදරේ පටන් ගන්නකොට අමන්දා හිටියේ එංගලන්තයේ. ඉතින් එයා වෙනුවෙන් සහ එයාගේ ආදරය මට දැනෙන විදිය තමා මම මේ ආදර සින්දුවට ලිව්වේ. ඒක තමා අපි දෙන්නගේ වෙඩින් එකේ තේමා ගීතය විදියට පවා යොදා ගත්තේ. මේ වෙද්දී එයට රූප රචනාවක් කරලා ඉවරයි. ගීතයේ රූප රචනාවේ කැමරා අධ්‍යක්ෂණය ඉරුෂ බෝගොඩ. වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ දිනුක තැන්නෙගෙදර.


ගිය වසරේ අන්තිමට පැවති වෙඩින් එක ඔබේ, මේ වෙනකම් ඒ විවාහ දවසේ ගැයුණු ගීතයක් සමාජ මාධ්‍යයේ තවමත් පෙරළි කරනවා..


ඔව් ඇත්තටම. අපි දෙන්නම ඉතාම කාර්යබහුල දෙන්නෙක්. අපේ වෙඩින් එකට දවස් කිහිපයකට කලින් තමා අමන්දා ලංකාවට ආවෙත්. මට ඕනේ වුණා අමන්දාව සර්ප‍්‍රයිස් කරන්න. ඒ නිසා තමයි අමන්දා කැමතිම සින්දුවක් වන ටී.එම්. ජයරත්න මහතාගේ… ‘සොඳුරු අතීතයේ නිමල පැතුම වී’ අපි දෙන්නගේ පළමු ඩාන්ස් එකට යොදා ගත්තේ. අපි දෙන්නා වැඩියෙන්ම ආදරය කරන අපේ සහෝදරයෙක් තමයි සංඛ දිනෙත් කියන්නේ. මම සංඛ එක්ක කතා කරලා මේ සොඳුරු අතීතයේ ගීතය පොඩ්ඩක් වෙනස් විදියට, හැමෝම තවත් ආස කරන විදියට අපේ පළමු ඩාන්ස් එකට ගමු කියලා. ඒ වගේම මේ වෙලාවේ Ants සංගීත කණ්ඩායමේ ප්‍රියාල්ව මතක් කරන්න ඕනේ. සංඛ සහ ප්‍රියාල් එකතුවෙලා මුල් ගීතයට හානියක් නොවන විදියට අලුත් හැඩයක් එකතු කළා.


වයිරල් වෙයි කියලා හිතුවද?


එහෙම වයිරල් වෙන්න හිතන් කළේ නැහැ. ඒත් වයිරල් වුණා. මොකද වෙඩින් එකෙන් පස්සේ අපි දෙන්නා හිතුවා මේ ගීතය ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමට සහ fb එකට දාන්න ඕනේ කියලා. ලංකාවේ සෝෂල් මිඩියාවල පීක් ටයිම් කියලා තියෙනවනේ හවස 6-7. ඒත් අපි මේක අප්ලෝඩ් කරේ රෑ 12ට විතර. නමුත් පහුවදා උදේ වෙද්දී හිතාගන්න බැරි තරම් ශෙයාර් වෙලා තිබ්බා. මේ වෙද්දී ඉන්ස්ටර්ග‍්‍රෑම් එකේ 50,000ක් විතර සහ යූටියුබ් එකේ තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්න ගාණක් බලලා තියෙනවා. fb ලයික් ප්‍රමාණය සහ ශෙයාර් ප්‍රමාණය හිතාගන්න බැරි තරම්. ඒ වගේම හිතුවේවත් නැති තරම් පේජ්වල වයිරල් වුණා. ඒවගේම අපි දෙන්නගේ ආදරේ ගැන විවිධ අර්ථකථන දීලා තිබ්බා.



මොකද හිතුණේ සංගීත් – අමන්දාගේ ආදරේ ගැන මේ විදියට කතා වෙද්දී..


හරිම සතුටුයි. අපි කොහොමත් කලාව එක්ක ඉන්න අය. ප්‍රේක්ෂක ආදරයට මම හැමදාම ගෞරව කරන කෙනෙක්. ඉතින් අපේ ආදරය ගැන මේ විදියට කතා වෙන එක ගැන තියෙන්නේ සතුටක්.


මේ වසරේ සංගීතය පැත්තෙන් මොනවද කරන්න ඉන්නේ?


වැලන්ටයින් දිනයට එළිදැක්වෙන ගීතයට අමතරව තව අලුත්ම සින්දු දෙකක් මේ වසරේ කරන්න සූදානම් කරගෙන යනවා. ඒ වගේම මගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ගීත කිහිපයක් ලංකාවේ හැමෝම ආදරය කරන කටහඬවල් කිහිපයකින් ඇල්බම් එකක් විදියට ලෝන්ච් කරන්න හිතාගෙන ඉන්නවා. පහුගිය ටිකේ සංගීතයෙන් පොඩ්ඩක් ඈත්වෙලා හිටිය නිසා මේක තමා මේ වෙද්දී තියෙන ලොකුම හීනය. එය මේ වසරේ අග වෙද්දී රූපරචනා සමග රිලීස් කරනවා.


අමන්දා නිසා සංගීත්ගේ මුළු ජීවිතේම අලුත් වෙලා වගේ?


අනිවාර්යෙන්ම. මේ වෙද්දී මගේ ලොකුම ශක්තිය ඇය. මම ශබ්ද පරිපාලකවරයෙක්, ඒ වගේම වෙළෙඳ සන්නාම ආයතනයක හිමිකරුවෙක් නිසාත් කාර්යබහුල ජීවිතයක් තියෙන්නේ. අමන්දා කියන්නේ මගේ කලා කටයුතුවලට වගේම රැකියාවේ කටයුතුවලටත් උදව් කරන කෙනෙක්. ඒ වගේම අමන්දාත් අවුරුදු 5ක් එංගලන්තේ ෆිල්ම් ඇන්ඩ් මීඩියා පැත්තෙන් ඉගෙන ගෙන තියෙන්නේ. අමන්දාත් මගේ හයියට ඉන්න නිසා එන්ටර්ටේන්මන්ට් ඉන්ඩ්‍රස්ට්‍රි එකටත් අලුත් දෙයක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. කලාව ගැන දන්න කෙනෙක් නිසා මගේ ගමන ඉස්සරහට යන්න තවත් පහසු වුණා කිව්වොත් නිවැරදියි. එයාගේ හැකියාවන් දක්ෂතාවලිනුත් දෙයක් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා. කරන්න තියෙන වැඩ කලින් කිව්වොත් වැඩක් නැති නිසා ඉස්සරහට සර්ප්‍රයිස් එකකින් දෙන්නම්.


අනූෂා රණසිංහ






Previous Post Next Post