නිරූපණ ක්ෂේත්‍රය තුළින් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඔහු මිහි', මල් පිපෙන කාලේ" ටෙලි නාට්‍ය තුළින් වගේම මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ෂැඩෝ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන රිචී ෆර්නෑන්ඩ්ය. නවක පරපුරේ දක්ෂ නළුවෙක් ලෙස හඳුන්වාදිය හැකි ඔහු නිරූපණ ක්ෂේත්‍රය තුළින් රංගනයට පිවිසි කෙනෙක්.
මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
ජීවිතේ හොඳයි. මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ටෙලි නාට්‍ය දෙකක වැඩ කරනවා.
ෂැඩෝ ගැන කතා කරමු?
නාලක විතානගේ අයියා මට කතා කරලා මෙහෙම වැඩක් තිබෙනවා එන්න කියලා කිව්වා. නමුත් මම එදා මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වල නුවරඑළියේ සිටියේ. එම නිසා මට එදා යන්න නොහැකි වුණා. නැවතත් දවසක එහි සහාය අධ්‍යක්ෂවරයා මට කතා කරලා තිර පරීක්ෂණයට එන්න කිව්වා. ඒ අනුව තමයි මම ෂැඩෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. මේ ටෙලි නාට්‍යයේ මම දුෂ්ට චරිතයක්ම නොවෙයි කරන්නේ . ආදරය, මිතුරුකම සහ හාස්‍ය මුසුවූ චරිතයක්. ඉදිරියේදී කතාව වෙනස් පැත්තකට යයි. අපි බලමු. ෂැඩෝ එකේ වැඩ කරන පිරිස ඉතාම සහයෝගශීලියි. ඒ වගේහ්ම මතක් කරන්න ඕනෑ ධනංජය සිරිවර්ධන අයියා මගේ ගුරුවරයෙක්. මම ඔහුගෙන් ඉගෙන ගෙන තිබෙනවා. ඔහු සමඟ වැඩ කරන්න ලැබීමත් සතුටක්.
නිරූපණ ශිල්පියෙක් වීම රංගන ශිල්පියෙක් වීමට අවශ්‍ය පසුබිම සැකසෙනවා යැයි ඔබ සිතනවාද?
මේ රැකියාවන් දෙක හාත්පසින් වෙනස් ක්ෂේත්‍ර දෙකක්. බොහෝ දෙනෙක් සිතනවා මෙම රැකියාව හරිම පහසුයි කියලා, ර්ථීඩධබධ එඩධධබ එකක් කළ පසු නිරූපණ ශිල්පියෙක් වෙන්න පුළුවන් කියලා. මේ හේතු නිසාම, කාලයක් තිබුණා මම නිරූපණ ශිල්පියෙක් කියලා කියන්න අකැමැති වුණු. රංගනය කියන්නෙත් හැදෑරිය යුතු අමාරු රැකියා ක්ෂේත්‍රයක්. සමහරු සිතනවා රඟපාන එකත් හරිම පහසුයි කියලා. මම රංගනය හදාරලා මේ ක්ෂේත්රයට පැමිණියේ.
රූපය කියන කාරණාව නළුවෙක්ට කොපමණ වැදගත්ද?
මම සිතන විධියට රූපය ලස්සන වීම කියන දේ නළුවෙක්ට වැදගත් නැහැ. බඩ තිබුණා කියලා, මුහුණ කට කැත වුණා කියලා එයා රංගනයට බලපාන්නේ නැහැ. නමුත් ප්‍රේ‍්‍රක්ෂකයන් ඇස් පිනවාගන්න කැමැතියි. මගේ රූපය මට ආභරණයක් වූ අවස්ථා තිබෙනවා.
ඔබ රංගන ශිල්පියෙක් ලෙස ප්‍රතිරූපයක් නඩත්තු කරනවාද?
ඔව්, අනිවාර්යයෙන්ම. එය ලොකුකමක් විදියට කරන දෙයක් නොවෙයි. නමුත් ඕනෑම රැකියාවක සිටිය යුතු විධියක් තිබෙනවා. මම මගේ පාඩුවේ බොරු ඕපාදුපවලින් අවෑත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් හැම මොහොතේත්ම සියලුදෙනා සමඟ සහයෝගයෙන් මිත්‍රශීලීව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න උත්සාහ ගන්නවා.
ඔබ රංගනය හදාරලා තිබෙනවාද?
ඔව්. මම රංගනය හදාරලා තිබෙනවා. ඒ වගේම දැනටත් හදාරනවා. දැනුමෙන් යාවත්කාලීන වීම රංගන ශිල්පියකුට අත්‍යවශ්‍ය කාරණයක්.
ප්‍රසිද්ධිය නිසා ඇතැම් අවස්ථාවලදී පෞද්ගලිකත්වයට යම්කිසි හානියක් පීඩාවක් සිදුවෙනවා නේද?
ඔව්, අනිවාර්යයෙන්ම. මේ ලෝකයේ ජීවත් වෙන සෑම මනුෂ්‍යයකුටම ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. අපි නළුවෝ වුණාට මනුෂ්‍යයෝ. ජනප්‍රිය නොවන පුද්ගලයකුගේ ජීවිතය දිහා බලන පිරිසට වඩා වැඩි පිරිසක් අපේ ජීවිත දිහා බලාගෙන සිටිනවා සහ අපේ ජීවිත ගැන බොහෝ පිරිසක් කතා කරනවා. එය තමයි තිබෙන විශේෂත්වය. එය සමහර අවස්ථාවලදී අපහසුතාවක් වෙනවා. මම ප්‍රසිද්ධියට ලොකු කැමැත්තක් නැහැ. සාමාන්‍ය ජීවිතයේදී මාව නළුවෙක් විධියට හදුන්වා දෙනවාට මම එතරම් කැමැති නැහැ.
ඔබ නියෝජනය කරන නව පරපුරට ප්‍රවීණයන්ගෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ඇතැම් පිරිස් රූගත කරන ස්ථානයට පැමිණිලා දුරකථනයේම එල්ලිලා සිටිනවා. මම රූගත කරන ස්ථානයට පැමිණියාම දුරකථනය නිශබ්ද කරනවා. නමුත් බොහෝදෙනෙක් එහෙම නැහැ. මගේ පරපුරේ එවැනි වැරදි මමත් දකිනවා.
ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය මොනවගේද?
ප්‍රවීණයන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ප්‍රවීණයන් මට කිසිම වැරැද්දක් කියලා නැහැ. ඔවුන් මාව අගය කරලා තිබෙනවා. එය මට විශාල සතුටක්.
මෙතෙක් ඔබට ලැබුණු චරිත ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?
ඔව්. සෑහීමකට පත් වෙනවා. එක වගේම චරිත ලැබීම ගැන කලකිරීමකුත් තිබෙනවා. නමුත් අධ්‍යක්ෂවරු මගෙන් වෙනස් රංගනයක් ලබා ගන්න උත්සාහ කරනවා. මට දුෂ්ට චරිත සඳහා තවත් ආරාධනා දෙකක් ලැබුණා. නමුත් මම සිතනවා මම දැන් එම රාමුවෙන් මිදිය යුතුයි කියලා. මම ඒ චරිත භාර නොගන්න හේතුව මම ඔවුන්ටත් පැහැදිලි කළා.
ඔබ වෘත්තීයමය රංගන ශිල්පියෙක්ද?
ඉස්සර මම වෙනත් රැකියාවක් කළා. නමුත් රංගන ශිල්පියෙක් විදියට වැඩ කරන ගමන් තවත් රැකියාවක් කරන්න කාලය වෙන් කරගන්න අපහසුයි. ඉදිරියේදී කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න අදහසකුත් තිබෙනවා. දැනට මම වෘත්තීමය වශයෙන් කරන්නේ රංගනය පමණයි. අපේ රටේ ආර්ථික වශයෙන් කලාකරුවාට තිබෙන්නේ පහළ මට්ටමක්. ආර්ථිකය අප විසින් ගොඩනගා ගත යුතුයි. මට අවශ්‍ය මුදල් තිබෙන නළුවෙක් වෙන්න.
ක්ෂේත්‍රය තුළ කැපිලි කෙටිලිවලට මුහුණදීමට සිදුවෙලා තිබෙනවාද?
මම මේ ක්ෂේත්රයට පැමිණියේ කිසිම දැන හැඳුනුම්කමක් නැතිවයි. මට කැපිලි කෙටිලි බොහෝම ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදු වුණා. මම වැඩ හොයාගෙන ගිහින් නැහැ. වැඩ මාව හොයාගෙන එනවා. එම දේවල් සමඟ බලන විට මම අද සිටින තැන ගැන මට ඉතාම සතුටුයි.
රංගන ශිල්පියෙක් වෙන්න කුඩා කාලයේ සිට අරමුණක් තිබුණද?
පොඩි කාලයේ සිටම කලාවට කැමැත්තක් තිබුණා. මම පාසල් කාලයේ කලාවට සම්බන්ධ කටයුතු කරලා නැහැ. නමුත් කුඩා කාලයේ සංගීත කණ්ඩායමක් හදාගෙන සිටියා. පවුලේ උත්සව අවස්ථාවල වාදනය කළා. තනිව පිටපත් රචනා කළා. ගීත රචනා කළා. නමුත් ඒ හැකියාවන් මම පිටතට පෙන්නලා නැහැ. පසුකාලීනව මම වෙනත් රැකියාවන් කරත් මම ඒවායෙන් තෘප්තිමත් වුණේ නැහැ. මම තෘප්තිමත් වෙන තැන රංගනය.
සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?
සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා. බොහෝදෙනෙක් මට කියලා තිබෙනවා මාව ගැළපෙන්නේ සිනමාවට කියලා. මමත් කැමැතියි සිනමාවට පිවිසෙන්න. ඉදිරියේදී බලමු.
රංගනයට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
මගේ පවුලේ සිටින්නේ මමයි, අම්මයි පමණයි. අම්මාගෙන් මගේ හැමදේකටම විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ නෑදෑයන්ගෙන් සහ මගේ හිත මිතුරු පිරිසගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.
රිචීට පෙම්වතියක් සිටිනවාද?
තවම නැහැ. මම හොයන විධියේ කෙනෙක් මට ලැබුණේ නැහැ. මෙතෙක් මගේ නමට කැළලක් සිදු වෙලා නැහැ. මම ආදරයට ඉතාම අවංකයි. නමුත් මගේ රැකියාව, මාව තේරුම් ගන්න කෙනෙක් අවශ්‍යයි.
අනාගත බලාපොරොත්තු මොනවාද
හොඳ නළුවෙක් වෙන්න අවශ්‍යයි නම් මුලින්ම හොඳ මනුෂ්‍යයෙක් විය යුතුයි කියන කාරණාව මම තදින් විශ්වාස කරනවා.
කුශාන්ති අනුරාධා බණ්ඩාර