මම විවාහයෙන් අයින් වුණා - රනිල් කුලසිංහ

 





හැබෑ කලාකරුවාට අලුත් නිර්මාණ හා ජනතාවගේ අවධානයෙන් වෙන්වී දිවි ගෙවීම අසීරුයි. රනිල් කුලසිංහ මේ දිනවල අලුත් නිර්මාණ සහ ජනතාවගේ අවධානයත් සමගම දිවි ගෙවන කලාකරුවෙක්. ලෝකය ඔහු ගැන කතා කරන විටෙක අපටද ඔහු මගහැර යන්න නොහැකි වුණා. ඒ නිසා අපි රනිල් කුලසිංහව මෙලෙස අපේ කතාබහට එකතු කරගත්තා.


මේ දවස් ගෙවෙන්නෙ කොහොමද?

මේ දවස්වල මම අධ්‍යක්ෂණය කළ ‘පානාමංකඩ’ සහ ‘වළවේට්ටුවා’ කියන ටෙලි නාට්‍ය දෙකම විකාශයට සියලු කටයුතු සූදානම්. එයින් පානාමංකඩ ජූලි මාසයේ අවසන් සතියේත්, වළවෙට්ටුවා මෙම මාසයේ අවසන් සතියෙත් රසිකයන්ට නැරඹිය හැකියි.


ඔබ අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යවල ඔබ චරිතයක් රඟපාන්නෙ නැද්ද?

මෙතෙක් මම අධ්‍යක්ෂණය කළ කිසිම ටෙලි නාට්‍යයක මම රඟපාලා නැහැ. ඉදිරියේදීත් මගේ නිර්මාණවල රඟපාන්න අදහසක් නැහැ. අධ්‍යක්ෂණය කියන්නෙ ලොකු වගකීමක්. මං කැමතියි කරන දේ හරියට කරන්න. ඒ නිසා මම රංගනය හා අධ්‍යක්ෂණය කියන දෙකම එකට කරන්නෙ නැහැ.


රනිල් මේ වෙද්දි රංගනයෙන් දුරස් වෙලාද?


නැහැ, මම රඟපෑමෙන් ඉවත් වෙලා නැහැ. පහුගිය දිනවල ඉරේෂ් ලොකුබණ්ඩාරගෙ ‘බිඳුණු හසරැල්’ ටෙලි නාට්‍යයේ ශලනි තාරකා සහ මේනක රාජපක්ෂ සමග මම ප්‍රධාන චරිත රඟපෑවා.



සතුටින්ද මේ දවස් ගෙවෙන්නෙ? 


සතුටින් ඉන්නවා කියන එකට වඩා මේක මගේ ජීවිතයේ දේවල් හොයාගෙන යන කාලයක් වෙලා තියෙනවා. සතුට කියන දේ මේ මොහොතේ මා ළඟ නහැ කියන්න හේතුවක් තියෙනවා. මගේ අම්මා මීට මාස දෙකකට පෙර මට අහිමි වුණා. පවුගේ බාලයා විදිහට මට අම්මත් එකක් සමීප බැඳීමක් තිබුණා. ඉතින් මගේ පියාත් මියගිහින්. කෙනෙකුට මව සහ පියා අහිමි වුණාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නෙ නැහැනේ.


මේ කාලයේ රනිල්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳ කිසියම් කටකතාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා?


කටකතා කියන දේවල්වලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. හැබැයි මට කියන්න එක දෙයක් තියෙනවා. ඔය හැම කතාවක්ම බොරු. කටකතා කියන්නෙ මිනිස්සු පිටතින් දකින දෙයක් ලොකු කරලා සමාජයට දෙන එකනේ. මේවා මිනිස්සු වැඩියෙන් බලද්දි ඒවා හදන අයට මුදල් හම්බ වෙනවා. ඕවා මිනිස්සු සල්ලි හම්බකර ගන්න කරන දේවල්. කවුරු මේවා හදනවද කියලා මම දන්නෙ නැහැ. මම හොයන්නෙත් නැහැ.


හැබැයි මේවා ගැන ලොකු කලකිරීමක්, දුකක් තියෙනවා. අපි කලාකරුවො වෙන්න පුළුවන්, අපිව වැඩි පිරිසක් හඳුනනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ වගේ දේවල් නිසා හැම කෙනෙක්ටම දැනෙන දේ තමයි අපිටත් දැනෙන්නෙ.


ඔබගේ විවාහ දිවිය දෙදරා ගොස් ඇති බවට පැතිරෙණ කටකතාවත් ඔබ ප්‍රතික්ෂේප කරනවද?

මේ වෙද්දි මම විවාහයෙන් අයින් වෙලා ඉන්නේ. ජීවිතයේ විවාහයකින් අයින් වුණ පළමු කෙනා මමත් නෙවෙයි, තව කෙනෙකුත් නෙවෙයි. බෞද්ධයෙක් විදිහට අපේ ජීවිතවල දේවල් සිද්ධ වෙන්නෙ පින, පව අනුව කියලා විශ්වාස කරනවා. ඕනම කෙනෙක්ට තමන්ගෙ ජීවිතය ගැන ඕනම තීරණයක් ගන්න නිදහසක් තියෙනවා. ඒ තීරණ හරිද වැරදිද කියලා කාලයක් යද්දි මටත් දැනෙයි, තව කෙනෙක්ටත් දැනෙයි. දෙයක් වුණාම අපි තරහකාරයෝ වෙලා කාටවත් වෛර කරන්න ඕන නැහැ. කවුරු කොහොම, මොන විදිහට කතා හැදුවත් ජීවිතයේ මට තිබුණ ලොකුම දේ මගේ අම්මා. අම්මා නැතිවුණ තැන ඉඳන් හිතද්දි මට ජීවිතයේ වෙන ඕනම දෙයක් නැතිවීම දරාගන්න පුළුවන්.



රනිල්ගේ පෞද්ගලික දිවිය කලකිරීම සමගද මේ ගෙවන්නෙ…

පෞද්ගලික ජීවිතේ ගැන මම කතාකරන්නෙ නැහැ. ඒකට හේතුව තමා පෞද්ගලික ජීවිතයයි, කලාවයි කියන්නෙ දෙකක්. ඒක හැමදාම එහෙමයි. මගේ පෞද්ගලික ජීවිතයේ කිසිම කෙනෙක් එක්ක තරහක්වත්, වෛරයක්වත් නැහැ.


ඒකට හේතුව මේ ජීවිතයේ මගේ අම්මා, තාත්තා පටන් කවුරු මගේ ජීවිතයේ හිටියත් ඒ හැමෝම දැන් මාව දාලා ගිහින්. මම වර්තමානයේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ අම්මා තාත්තා පවා මාව දාලා ගියාට පස්සෙ මට යළි එතැනට යන්න බැහැනේ. අපි හැමදාම ජීවත් වෙන්න ආපු අය නෙවෙයි.


මම ජීවත් වෙන කාලයේ මගෙන් අඩුපාඩු ඇත්නම්, අත්වැරදීම් වෙලා ඇත්නම් ඒවා හදාගෙන මම අනාගතය කලාව වෙනුවෙන් වෙන් කරලා ජීවත් වෙනවා. මගෙන් වෙන්වෙලා ගිය අම්මා තාත්තට මම පින් දෙනවා වගේම මගේන් වෙන්වෙලා ගිය අනිත් අයට මම මගේ මුළු හදවතින්ම සුබ පතනවා ජීවිතයේ කවදාකවත් කාගෙන්වත් වරදක් නොවී ජීවිත් වෙන්න ලැබෙන්න කියලා.


ජීවිතයට නරක දේවල් සිදු වෙද්දී ඒ දේවල්වලට හොඳ විදිහට මුහුණ දෙන්න ඔබට ශක්තියක් වුණේ කවුද?

අද මම තනියනේ ජීවත් වෙන්නෙ. මගේ ගෙදර තියෙන්නෙ මගේ අම්මගෙයි, තාතත්ගෙයි ඡායාරූප දෙකක් විතරයි.  මම දන්නවා ඒ දෙන්න මං දිහා බලගෙන ඉන්නවා කියලා. ඒ බව මට දැනෙනවා. ඒක මට විශාල ශක්තියක්.


ධම්මිකා සුරංජි පතිරණ







Previous Post Next Post