හීන කියන්නේ නිකන්ම නිකන් හේදිලා යන්න ඕන දෙයක් නෙමෙයි. බොහෝ අයට තමන්ගේ ජීවිතවලට වෙන් වුණ හීන තිබ්බත් ඒ හීන හැබෑ කරගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. රිචි ෆර්නෑන්ඩු කියන්නේ නළුවෙක් වෙන්න හීන දැකපු ඒ හීනය අහම්බෙන් හැබෑ කරගත්ත කෙනෙක්.
මේ දවස්වල මොකද වෙන්නේ?
කොරෝනා ප්රශ්නය නිසා මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ. හැබැයි මම සම්බන්ධ වුණ ‘මිහි’ සහ ‘සත් වර්ෂා’ කියන නිර්මාණ දෙක විකාශය වෙනවා.
ඔය චරිත දෙකෙන් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ රන්දිකට කියලයි ආරංචිය?
ඔව්. ඒ චරිතය නිසා මිනිස්සු මට බණිනවා. කොටින්ම සමහරු මට සාප කරනවා. ඒ රන්දිකගේ චරිතයේ තියෙන කපටිකම් නිසා. සමහරු නම් ඒක චරිතයක් කියන දේ තේරුම් අරගෙන ඉන්නවා. චරිතයට සාධාරණයක් කරන නිසානේ ඒ චරිතයට ඔවුන් බණින්නේ. කොහොම වුණත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සාමාන්‍යයෙන් පිරිමි පාර්ශ්වය පිරිමි පාර්ශ්වයටම හොඳ කියනවා හරි අඩුයිනේ. නමුත් මේ චරිතයට තරුණියන්ට වඩා වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තරුණයන්ගෙන්. මේ ක්ෂේත්රයේ හොඳකට හොඳක් කියනවා හරි අඩුයි. නමුත් මට රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.
රිචි නළුවෙක් වෙන්න හීන දැක්ක කෙනෙක්?
මම මුලින්ම ක්ෂේත්රයට එන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ මම වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලට සම්බන්ධ වුණා. ඊටත් පස්සේ තමයි මම පුංචි තිරයට එකතු වුණේ. මම නිරූපණ ශිල්පියෙක් වෙන්නෙත් අහම්බෙන්. මාව දැකලා මට කතා කරලා ලැබුණ අවස්ථාවක් නිසා තමයි නිරූපණ ශිල්පියෙක් වෙන්නේ. බොරු කියන්න ඕනේ නෑනේ. පොඩි කාලේ ඉඳන් නළුවෙක් වෙන්න උණක් මට තිබ්බා. ඒත් ඒක හැබෑ කරගන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. කිසිම අදහසක් තිබ්බේ නැති වෙලාවක තමයි තුෂාර අයියා මට මේ නිර්මාණයට කතා කළේ.
රිචිට තමන්ගෙ හැකියාව පෙන්වන්න ලැබෙන අවස්ථා ගැන තෘප්තියක් තියෙනවද?
මම සාමාන්‍යයෙන් වැඩ ඉල්ලගෙන යන කෙනෙක් නෙවෙයි. සමහරු හිතනවා රඟපාන එක ලේසියි. අවස්ථා ලබාගන්න ඒක ලේසියි කියලා. නමුත් ක්ෂේත්රය ඇතුළේ ලොකු තරගකාරීත්වයක් තියෙනවා. මම තාම රංගනය කියන දේ වගේම මම කවුද කියන දේ හොයාගෙන යන කෙනෙක්. මට කරන්න ලැබුණ දේවල් ගැන තෘප්තිමත්. හැබැයි මම විවිධ චරිත කරන්න කැමැතියි. මට දුෂ්ටයාගේ චරිතයට තමයි දැන් අවස්ථාව ලැබෙන්නේ. දුෂ්ටයාගේ චරිතය වුණත් වෙනස් විදිහට කරන්න කලින්න, කරපු විදිහට වඩා වෙනසකින් කරන්න මම අවධානය දෙනවා. වෙනස් වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයන් හමුවෙන්නත් උත්සාහ කරනවා.
ඔබ ප්‍රධාන චරිත හොයන කෙනෙක්ද?
ප්‍රධාන චරිත කරන්න ඕනෙ කියලා දෙයක් මට නැහැ. මට ඕනේ හොඳ වෙනසක් කරන්න.
ක්ෂේත්රයේ තියෙන තරගකාරිත්වය ඇතුළේ අවස්ථා ලබාගන්න හිතවත්කම් පවත්වගෙන යන්න වෙනවලු.
අන්න ඒ තැනදී මම ඉන්නේ බින්දුවේ. මටත් සමහර අය කියපු දෙයක් තමයි වැඩ ලැබෙන්න නම් කඩේ පලයන් කියන එක. එහෙම උපදෙස් ලැබුණට කඩේ යන එක මට කරන්න අමාරු වැඩක්. දැන් දක්ෂතාවට වඩා සම්බන්ධතා එක්ක තමයි වැඩ ලැබෙන්නේ. ඒ ගැන පොඩි දුකකුත් තියෙනවා.
ඔබ මුදල ගැනම හිතල වැඩ කරන කෙනෙක්ද?
අපිට ජීවත් වෙන්න සල්ලි ඕනෙ. සල්ලි නැති නළුවෙක් වෙන්න මම කැමති නැහැ. ගන්න මුදලට වගේම කරන වැඩේට සාධාරණයක් කරන කෙනෙක් මම. සමහරු හිතනවා මගේ ගාණ වැඩියි කියලා. ඒත් එහෙම මහ ලොකු ගණන් අය කරන්නේ නැහැ. සාධාරණ වටිනාකමක් මට තියෙනවා.
ආශාවරී ගීතයේ රූප රචනයත් එක්කනේ රිචිව බොහෝ දෙනා දැන ගත්තේ. ඒ රූප රචනය නිසා සමහර අවස්ථා නැති වුණා නේද?
ඔව්. වෙළෙඳ දැන්වීම් අඩු වුණා. මට එක වෙළෙඳ දැන්වීමකට මුදලුත් ගෙවලා ඒකෙන් මාව අයින් වුණා. ඒ රූප රචනයේ මහ ලොකු දෙයක් නොතිබ්බට ඒක ලොකුවට ගත්ත පිරිසක් හිටියා. සමාජයේ තියෙන ප්‍රශ්නයක්නේ එකෙන් පෙන්නුවේ. කොහොම වුණත් මම වෙළෙඳ දැන්වීම් පනහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ආශාවරී රූප රචනය ගොඩක් කතාබහට ලක්වුණා.
තවත් අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද?
ඔව්. ‘රකුන්ගිර’ සහ ‘රාවණ සීසන් 3’ කියන ටෙලි නාට්‍යවලට මම සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා.
දැන්ම විවාහයක් ගැන හිතන්නේ නැද්ද?
මම ආදරේ කරන්න දන්නවා. හැබැයි මට ගැළපෙන කෙනෙක් තවම ලැබුණේ නැහැ. මම කරන රැකියාව හැඟීම් එක්ක බද්ධ වුණ රැකියාවක්. ඒ රැකියාව තේරුම් ගත්ත අය හරි අඩුයි. එහෙම තේරුම් ගන්න මටත් දැනෙන කෙනෙක් ලැබුණොත් බලනවා. සමහරු නම් හිතන්නේ මූට කෙල්ලෝ ගොඩක් ඇති කියලා. හැබැයි ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. මම ඉතින් යාළුවෝ එක්ක තමයි ගොඩක් ඉන්නේ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ