රජිත හිරාන් සයිබර් අපරාධවලට එරෙහිව පෙරමුණ ගනී

 





මුහුණු පොත එහෙමත් නැත්නම් ෆේස්බුක් කියලා කියන්නේ හොඳ හෝ නරක කියන දෙපැත්තටම භාවිත කළ හැකි දෙයක්. මුහුණු පොත හොඳ පැත්තට භාවිත කරමින් සිටින වැඩි පිරිසක් අය අතරේ එමඟින් පුද්ගලයින්ට මඩ ප්‍රචාර දියත් කරන්නෝ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් බලාගෙන ඉන්නෙ තවත් කෙනෙකුට මඩක් ගහන්න. ඒ බොහෝදෙනා කරන්නේ තමන්ගේ තිබෙන අඩුලුහුඬුකම් මකා ගන්නට අනුන් නිස්කාරනේ විවේචනය කිරීම. එලෙස කිරීම තුළින් ඔවුන් වින්දනයක් ලබනවා. ඒ පුද්ගලයෝ ජනප්‍රිය අයකු පිළිබඳ පළවූ කිසියම්වූ පුවතක් විශේෂයෙන් මඩක් ඇති පුවතක් අන්තර්ජාලය හරහා හුවමාරු කරන්නේ එය නිවැරදිද කියාවත් සොයා නොබලායි. මේ හරහා එම පුවතට කේන්ද්‍ර වූ තැනැත්තා හෝ තැනැත්තියගේ කීර්තිනාමයට හානි වෙනවා. ඇත්ත නැත්ත සොයා නොබලා මෙවන් වූ පුවතක් හුවමාරු කිරීම නිසා තවත් ජනප්‍රිය චරිතයක් ඉකුත් දා අපහසුතාවයට පත් වුණා. ඒ තැනැත්තා තමයි රජිත හිරාන් චාමිකර. එහෙම කියනවා කියනවට වැඩිය ඔබ ඔහු වඩාත් හඳුනන්නේ පිං පොං කියන නමින්. ඔහු මේ වනවිට තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ නෛතික ක්‍රියාමාර්ග ගමින් සිටිනවා. ඔහු සිද්ධ වුණු දේ පිළිබඳ  මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා .


මීට වසර කිහිපයකට පෙර මා පිළිබඳ පුවත්පත් ලිපියක් පළවුණා ජනප්‍රිය පුවත්පතක. ඒ ලිපිය පළවෙලත් මා හිතන්නේ අවුරුදු හතක් හෝ අටක් විතර ඇති. මට ආරංචියක් ආවා ඒ ලිපියේ ඇත්ත හෙඩින් එක වෙනස් කරලා වෙනම බොරු හෙඩිමක් දාලා අන්තර්ජාලයේ හුවමාරු වෙනවා කියලා. සංස්කරණය කරපු හෙඩිමේ අදහස තියෙන්නේ ජනාධිපති තුමා හොඳ උනාට සෞඛ්‍ය අංශ යම් යම් පිරිස් මේ වැඩපිළිවෙළ කරගෙන යන්න දෙන්නෙ නෑ වගේ දෙයක්. මේ පුවත හොයන්නෙ බලන්නෙ නැතුව එක්තරා ෆේස් බුක් පිටු දෙකක් එහෙම්මම අරන් පළකරලා මට තව තවත් මඩ ගහලා හුවමාරු කරලා තිබුණා. මේ වෙලාවේ පොඩ්ඩක් හරි හොයලා බලන්න ඕන නේද එහෙම හුවමාරු කරන්න පෙර මේක ඇත්ත පුවතක්ද බොරු එකක්ද කියලා. කාට හරි මඩක් ගහන්න පුළුවන් වෙච්ච ගමන් මඩ ගහන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඊට හපන් එක්තරා වෛද්‍යවරයෙක් මේක ඇත්ත පුවතක් කියලා හිතාගෙන කලාකරුවන්ට වෛර බඳීමින් කවි නිසඳැස් පළ කරමින් සිටියා. වෛද්‍යවරයෙක් කියලා කියන්නේ අපිට වැඩිය දැන උගත් වෘත්තිමය වශයෙන් ඉහළ සිටින තැනැත්තෙක්. හරියට කිව්වොත් මිහිපිට දෙවිවරු හා සමාන පිරිසක්නේ. අපිට ලෙඩක් හැදිලා අසනීප වෙලා ඉද්දි මෝචරියට යනවද ගෙදර යනවද කියලා තීරණය කරන්නේ මේ වෛද්‍යවරුන්. අර කතාවක් තියෙනවානේ පිස්සො කලබල වුනාට දොස්තර කලබල වෙන්නේ නෑ කියලා.


නමුත් මේකෙ වෙලා තිබුණේ ඒකෙ අනික් පැත්ත. ඒ වෛද්‍යවරයාත් මේ මඩ ප්‍රචාරය ඇත්ත සිද්ධිය කියලා අරගෙන තව තවත් මටත් මඩ ප්‍රචාරය එල්ල කළා. මං ඔහුට කීප සැරයක්ම ෆේස්බුක් හරහා පණිවුඩ යවමින් සිටියා මේ පිළිබඳ ඇත්ත නැත්ත දැනගන්න මට කෝල් එකක් දෙන්න නැත්තම් ඔබතුමාගේ දුරකථන අංකයක් හරි දෙන්න කියලා. ඒත් ඒවා ඔහු මඟහැරියා. ඔහු කවි නිසඳැස් ලිය ලිය නිරන්තරයෙන්ම තව තවත් මඩ ප්‍රචාරයේ යෙදුණා. මම ඔය කාටවත් ගරහන්න යන කෙනෙක් නෙමෙයි. නමුත් මම අඳුරන වෛද්‍යවරුත් ඉන්නවා. ඔවුන් මට නොමිලේ බෙහෙත් කරපු අවස්ථාවන් අනන්තයි. ඒ සියලු දෙනාටම මම ඇත්ත තත්ත්වය පහදල දීල දැන් ටිකක් ශේප් කර ගත්ත. මම නෛතික ක්‍රියාමාර්ග ගන්න පටන් ගත්තට පස්සෙ අර ෆේස්බුක් පේජ් වලින් මගෙන් සමාව අරගෙන තිබුණා. මම කියන්නේ කලාකරුවෝ කියලා කියන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වන තමන්ගේ වෘත්තිය පාඩුවේ කරගෙන යන පිරිසක්. ඒ අයට මඩ ගහන්න මේ පුද්ගලයෝ කට ඇරගෙන බලාගෙන ඉන්නේ. පුද්ගල කුහකත්වය මෙතැනදී තදින්ම බලපානවා. මේ සියලු දේවල් නිකන් අතහැරියේ නෑ. කෙලින්ම සයිබර් අපරාධ සම්බන්ධව තියෙන ඉහළම තැනට ගියා. ඔවුන් මේ වනවිට තව නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සංස්කරණය කරලා අන්තර්ජාලයට එක් කළ පුවත්පත නිසා සෑහෙන අපහසුතාවයට පත් වුණා. මගේ වටා සිටි හිතවත් වෛද්‍යවරුන් පවා අමනාප වෙන තත්ත්වයට පත්වුණා. මම කලින් කිව්ව වගේ දැන් සියලු දෙනාටම කතා කරලා යථා තත්ත්වයට පත් කරගෙන තියෙන්නේ. ඒ වගේම තව පුද්ගලයෝ කිහිපදෙනෙක් මේ පුවත ඇත්තද බොරුද කියලා දන්නෙත් නැතුව ෆේස්බුක් එකේ ශෙයා කරලා තිබුණා. ඇයි එහෙම අපිට කරන්නේ. මම හිතන්නේ සමහරවිට දේශපාලන පැත්තෙන් වුණත් මම ක්‍රියාකාරී සාමාජිකයෙක් නිසා වෙන්න ඇති. නමුත් මම කියන්නේ දේශපාලනය පැත්තකින් තියන්න, කලාකරුවෙක් විදිහට අපිට හදාගත්තු කීර්තිනාමයට හානි කරන එක අපි බලාගෙන ඉන්න පුළුවන්ද. කොහොම හරි චණ්ඩියෝ වගේ ෆේස්බුක් එකෙන් මඩ ප්‍රචාර යැව්වට මේ එක්කෙනෙක්වත් මම මගේ දුරකථනය අංකය දුන්නට ඇමතුමක්වත් දුන්නේ නෑ. එච්චරට මේගොල්ලෝ කතා කරන්න බයයි. මේ වෙලාවෙ මම කියන්නේ මට මේ වගේ මඩ ප්‍රචාර වලට ලක් වෙච්ච අය ඉන්නවානම් ඒ අයත් එක්ක අත්වැල් බැඳගන්න මම ලෑස්තියි. මේ වගේ සයිබර් අපරාධකරුවන්ට නෛතික ක්‍රියාමාර්ග ගන්න මම ඔබත් එක්ක පැමිණෙනවා කියලා අවසන් කොට කියන්නට කැමතියි.







Previous Post Next Post