පුංචි තිරයේ ආදරණීයම අම්මා ඇයයි. මේ දිනවල සිරස නාළිකාව ඔස්සේ විකාශය වන නීලපබළු හි සුභද්‍රාගේ චරිතයත්, දෙරණ නාළිකාවේ විකාශය වන දෙවෙනි ඉනිමෙහි ශාන්තිගේ චරිතයටත් පණ පොවන ඇය තරුෂි පෙරේරා. වසර 18ක සිය නිර්මාණ දිවිය වෙනස් කරමින් මේ වන විට අධ්‍යක්ෂණයටද යොමුව ඇති තරුෂි ආදරණීය මවක්. තරුෂිගෙ නිර්මාණ කටයුතු වගේම පෞද්ගලික තොරතුරු පිළිබඳ ඈය මෙලෙසින් පුවත්පතක් සමඟින් පවසා තිබුනා.
මුලින්ම අපි 'සත් වර්ෂා' ගැන කතා කරමු?
සත්වර්ෂා මගේම තිර රචනයක්. ඒ වගේම අධ්‍යක්ෂණය හා ප්‍රධාන රංගනයද මගේ. නිර්මාණයේ මුල් කාලයේදී එහි නිෂ්පාදන කාර්යය මම ම සිදු කළත් වර්තමානයේ දී එහි නිෂ්පාදන කටයුත්ත අයේෂා අබේගුණවර්ධනට භාර කළා. මොකද රචනය, අධ්‍යක්ෂණය, රංගනය තුනම එකට සිදු කළ හැකි වුවත් නිෂ්පාදනයට තවත් කාලයක් යෙදවිය යුතු නිසා.
කාන්තාවක් විදිහට අධ්‍යක්ෂණය කියන කාර්යය ඔබ ගළපා ගත්තේ කොහොමද?
තිර රචනයට සම්බන්ධව වැඩ කළ නිසා එය මට දැනුණ නිසා ඒ රූපරාමූ මැවුණ නිසා මම අධ්‍යක්ෂණය කරන්න හිතුවා මගේම ලියවිල්ල. අනෙක් අතට සමහර හීන තියෙනවා. ඒවා පෙර නොකී ඒවා. ඒ වගේ මෙයත් කිසිදු තැනකදි නොකී හීනයක්. නිළියක වනවාටත් වඩා මගේ හිතේ ගැඹුරින්ම තිබුණ හීනයක්. ඒ හීනයේ ආරම්භයයි මේ.
මෙහි ප්‍රධාන චරිතයත් ඔබමයි නිරූපණය කරන්නේ. අධ්‍යක්ෂණය හා රංගනය යන කාර්යයන් දෙකම එකවර කිරීම පහසුද?
මෙහි රචනය හා අධ්‍යක්ෂණය කරන නිසාම ඒ චරිතයේ හැසිරීම, හැඟීම් ප්‍රකාශය වගේ දේ මගේ ඔළුවේ තියෙනවා. ඒ නිසා රඟපෑම පහසුයි. කැමරා ශිල්පී සමඟ සම්බන්ධ වී මට අවශ්‍ය දේ සාධාරණීකරණය කරගන්න පුළුවන් වුණා. නමුත් මේ කාර්යයන් දෙකම කරන විට වැඩි කාලයක් ගත වනවා. ඒ නිසාම මම නිර්මාණයේ දෙවැනි අදියරේ දී මම සම අධ්‍යක්ෂවරයෙක් යොදාගත්තා මගේ පහසුවට.
සත්වර්ෂා පිටපතට පසුබිම් වූ කතාව ගැන සඳහන් කිරීමක් කළොත්?
මේ තේමාව මගේ ඔළුවේ සෑහෙන කාලයක් තිබුණා. දරුවන්ට අපි සෑහෙන උපදෙස් දෙනවා. නමුත් උපදෙස් දීමට එහා ගිහින් අපි ඒ අය ළඟ ඉඳලා ඒ අය තේරුම් ගෙන ක්‍රියා කිරීම තරමක් අපහසු කාර්යයක්. වැඩි හිටියන් විදිහට අපි ඒ අයව හදන්න උත්සහා කරනවා. නමුත් ඒ අයගේ හැඟීම් තේරුම්ගෙන නෙවෙයි අපි එය කරන්නේ. මට අවශ්‍ය වුණේ මේ නිර්මාණය තුළින් දරුවෝ දෙමාපියෝ ගැන කතා කරන්න. මම දැකලා තියෙනවා දෙමාපියන්ගේ වරදින් දරුවෝ අසරණ වෙනවා සහ විදවනවා. ඒ පොඩි හිත්වලට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. දරුවෝ බලාපොරොත්තු වෙන්නේ සතුට ආදරය වගේ දේවල්. එය දෙමාපියන්ගෙන් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. කුඩා කාලයේ දරුවන්ට එය නොදී දරුවන් ලොකු වුණාම දරුවන්ට නොදුන් දේ ගන්න වැරදරන දෙමාපියන් වර්තමානයේ ඕනෑ තරම් අපිට මුණ ගැසෙනවා. සමාජයේ තිබෙන එක පැත්තක් මෙය. මා හිතුවා එය නිර්මාණයක් තුළින් ගෙන එන්නට. මෙවැනි මාතෘකා ඉතාම පරිස්සමින් කතා කළ යුතු වුවත් අනිවාර්යයෙන් කතා කළ යුතුයි. මෙය වඩාත්ම මට දැනෙනවා මාත් අම්මා කෙනෙක් නිසා.
රෑනගල වලව්වත් ඔබේ පිටපතක්?
මා මුලින්ම පිටපත් රචනය පිළිබඳ යම් හැදෑරීමක් කළා. ඒත් එක්කම රචනයට ඇති සහජ හැකියාව යම් යම් තැන්වලදී මතුවුණා. එහි අත්හදා බැලීමක් විදිහටයි රෑනගල වලව්ව ලියැවෙන්නේ. එය මම බොහෝ කලකට පෙර ලියූ පිටපතක්. ක්ෂේත්‍රයේ මම වැඩ කරන හැම තැනදීම මගේ මිතුරන් සමඟ ඒ පිළිබඳ කතා කළා. දැන් එය විකාශය වනවිට ඒ අය මගෙන් අහනවා තරුෂි මේ ඔයාගේ හීනය නේද කියලා. එහි මුල් කොටස් විස්ස පමණයි මගෙ අතින් රචනා වූණේ්. එය ඒ කාලයේදීම බොහෝ නිෂ්පාදකවරුන් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම රූපවාහිනී නාළිකා.
කුරුලු නැති සාංකාවට සුභද්‍රාට සිහි විකල්වෙලා? කොහොමද ඒ වෙනස්වීම දැනුණේ?
ඒ වෙනස්වීම නම් මට අමාරු වුණෙත් නැහැ. (සිනාසෙමින්) මටත් හිතාගන්න අමාරුයි. දෙවෙනි ඉනිමෙත් මේ ටෙලිනාට්‍යයේත් එක වයසේ දූ වරු දෙදෙනෙක් ඉන්නවා. සැබෑ ජීවීතයේ මට දුවෙක් නැති වුණත් මම දුවෙක්ගෙ අම්මෙක් කියන දේ මට දැනෙනවා. ටනාෂා එක්ක අවුරුදු කිහිපයක් රඟපාලා දැන් ඇය මට මගේම දුව වගේ. ඒ තුළ ඇයගේ වියෝව හා බැඳුණු ඒ වේදනාව නිරූපණයේදී නිරායාසයෙන් එනවා. එයට වෙනම මහන්සියක් අවශ්‍ය නෑ. ඒ තරම් ආදරේ දුවෙක්. ඒ සිදුවීම්වලදී ඇත්තටම මම අඬන තැන් තියෙනවා.
තරුෂි පෙරේරා අම්මගේ චරිතය තුළින්ම පමණයි දකින්න ලැබෙන්නේ?
ඇත්තටම මට ආරාධනා ලැබුණා අම්මා නොවන චරිත ඇති නිර්මාණය ද්විත්වයකට. ඒවා ඉතාම හොඳ නිර්මාණ වුවත් පිට පළාත්වල රූ ගත කිරීම් කෙරෙන නිසා මට භාරගන්න පුළුවන්කමක් නැහැ. මගේ බබා තවම පොඩියි. අදට එයාට අවුරුදු 6යි. එයාව දාලා යන්න තියෙන අපහසුකම නිසයි මා එවැනි නිර්මාණය භාර නොගන්නේ. කොහොමවුණත් අනෙක් අතට දැන් අම්මට තමයි ගැළපෙන්නේ කියලත් මගෙ හිත කියනවා. (සිනාසෙයි)
මෙගා නාට්‍යවලට සම්බන්ධ කෙනෙක් විදිහට ඔබට මොකද හිතෙන්නේ මෙගා නාට්‍ය ගැන?
නාට්‍යයක් දීර්ඝකාලීනව විකාශය වෙන්නේ එයට ප්‍රේක්ෂක ආකර්ෂණය තිබෙන නිසා. මම පෞද්ගලිකව කැමතියි මෙගා නාට්‍යකට වුවත් ගුණාත්මකභාවයක් එකතු කරන්න පුළුවන්නම්. මම දකිනවා ඇතැම් නිර්මාණ හරහා එයට වනවා. මමත් රඟපානවිට එය උත්සාහ කරනවා. අපි පොඩි වැරද්දක් අල්ලන් කතා කරනවට වඩා මේ නිර්මාණ තුළින් ගන්න පුළුවන් දේ ගැන කතා කරන්නයි ඕනෙ.
ඔබේ පවුල ගැනත් අපි කතා කරමු?
මගේ මහත්තයා රට ඉන්නේ. ඔහු නිතරම දුරකතනයෙන් අපි ගැන හොයලා බලනවා. මේ පවතින වසංගත තත්ත්වය නිසා ඔහුට එන්නවත් මට යන්නවත් නොහැකි වෙලා තියෙන්නේ. කොහොමවුණත් මට හොඳ ස්වාමියෙක් ලැබිලා තියෙනවා. ඒ නිසාම පුතා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නයි මම හැමවෙලේම උත්සාහ කරන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට කොළඹ තුළ රූ ගත කිරීම් කරන නිර්මාණවලට තමයි මා දායක වෙන්නේ.
අවුරුදු දහ අටක් පුරා මේ ආ ගමන්මඟ දෙස නැවත හැරී බැලීමක් කළොත්?
ඇත්තටම සතුටුයි. මොකද ගොඩාක් සෙමින් මේ කාලය ආවේ. ඒ අතර ගොඩක් වටින දේ මඟහැරුණා. විශේෂයෙන්ම වෙනත් රටවල නිර්මාණය වගේ දේ මට නැති වූ දේවල් අතර මතක් කරන්න පුළුවන්. මම ලොකු කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලයි විවාහ වුණේ. අද්දැකීම් ලැබුණා. හොඳ නිර්මාණ ලැබුණා. ඒවා පන්නරයක් කරගෙන අද අධ්‍යක්ෂණයට අත තියලා තියනවා.
මේ සා කාලයක් තුළ ඔබේ රංගන දිවියේ හිතට තදින්ම දැනුණ අවස්ථාව මොකද්ද කියලා ඇහුවොත්?
මගේ පුතා ලැබිලා හරියටම දවස් එකොළහකින් රයිගම් සම්මාන උළෙලේ 2015 වසරේ කුසලතා සම්මානය ලැබුණා. එදා වේදීකාවේදී මගේ ස්වාමියාමයි එය ලබා ගත්තේ. එය මට සතුටක් මොකද මේ සම්මානය ලැබෙන්නේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ හඳපානාගල ටෙලිනාට්‍යය වෙනුවෙන්. විශේෂත්වය නම් ඒ නිර්මාණයට මම දායක වුණෙත් මහත්තයාගේ අකමැත්තෙන්. පිට පළාතකට ගිහින් රඟ දැක්වූ අන්තිම නාට්‍යයත් එයයි.