පාර්ලිමේන්තු යන තරමට හිට්වෙයි කියලා හිතුවේ නෑ - මහේෂ් රත්සර මද්දුමආරච්චි




ඔහු අපට හමුවන්නේ නව කතාකරුවෙක්, පුවත්පත් ලේඛකයෙක් වගේම ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක් ලෙසයි. ඔහුගේ ටෙලි නාට්‍ය කලාව තුළින් නිතර ගම්‍යවන්නේ ආදරයයි. වර්තමානයේ යෞවන යෞවනියන්ගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය පිටපත් රචකයෙක්. ඔහු රචනා කළ පිටපතක චරිතයක් අවසානයේ නැවතුනේ පාර්ලිමේන්තුවේද අසුනක් වෙන්කර ගනිමිනි. හෙට දවසේද ඔහු වෙනස්ම ආදර කතාවකින් ඔබ හමුවට එනවා. මේ වෙන කවුරුවත් නොවේ මහේෂ් රත්සර මද්දුමආරච්චියි.

 

 මහේෂ් රත්සර මද්දුමආරච්චි කාලයකට පස්සේ ටෙලි නාට්‍යයක් රචනා කරනවා නේද?

 

 මම ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වෙලා ඉඳපු විදිහට බලනකොට ලේඛකයෙක් විදිහට මාස හයකට පස්සේ තමයි අලූත් පිටපතක් ලියැවෙන්නේ. මම මුල්ම ටෙලිනාට්‍ය රචනා කරන්නේ 1996, 1997 වැනි වකවානුවක. ඒ පතිනිවරා කියන ටෙලි වෘතාන්තය. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ එරංග සේනාරත්න. මේ ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතයට රඟපෑවේ ගීතා කාන්ති ජයකොඩි රංගන ශිල්පිණිය සහ රංගන පේ‍්‍රමරත්න රංගන ශිල්පියා. ඉන් පස්සේ මම එක දිගට ටෙලි නාට්‍ය 47 ක් රචනා කළා. නමුත් මෑත කාලයේ සිහිනි ටෙලි නාට්‍ය රචනා කළාට පස්සේ සිරසට රචනා කරන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය රචනා කරන්නේ මාස පහක් හයක් වැනි කාලයකට පස්සේ. මම පොඩි විරාමයක් ගත්තා.

 

 

  කියා දෙන්න ආදරේ තරම් කතාව ඔබේ පුද්ගලික ජීවිතයේ අත්දැකීමක්ද?

 

 නැහැ. මේ කතාවේ විවිධ ස්ථාන තියෙනවා. ඔබ අප සියලූම දෙනා නියෝජනය කරන ඒ නිසා මේ කතාව පොදුවේ ගත් කළ අප ජීවත්වන සමාජ වටපිටාවේ කතාන්දරයක්. මම මේ ගැන දීර්ඝව කතා කළොත් පබා, පබළු, අමා, සඳා, වරාමලී, ටෙලි නාට්‍ය දහතුනක්ම රචනා කළේ පවුලේ කතාන්දර විදිහට. එතැනින් බැහැර වෙන්නේ නැහැ. මම කරපු බොහෝ නිර්මාණවලට වස්තු විෂය වුණෙත් ආදරය, සඳරේණු, අරලිය වගේ පුවත්පත්වලින් තමයි මගේ ලේඛන කලාව ආරම්භ වෙන්නේ. පස්සේ කාලයක සඳරේණු, තුරුණු පුවත්පත්වල ප‍්‍රධාන කර්තෘ ධුරයත් දරනවා. ඒ කාලේ ඒ පත්තර ඉලක්ක කළේ යෞවනියන් හෝ පවුල. මම ටෙලි නාට්‍ය සියල්ල රචනා කළේ පවුලේ කතාන්දර. පබා ටෙලි නාට්‍යයේදී මම රචනා කළේ ඇති නැති පරතරය, ආදරය, දයාව, කරුණාව, පේ‍්‍රමය වගේ කරුණු. සරලව කිව්වොත් පබා, පබළු, රචනා කරද්දී මම අල්ලා ගත්තු සමස්තය තමයි කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වස්තු බීජය කරගන්නේ.

 

 ඇත්තටම මේක පබා, පබළුවල දිගුවක්ද?

 

 මෙහෙමයි. එහෙමම කියන්න අමාරුයි. අනික පබා පබළුවල දිගුවක්ම නෙමෙයි කියා දෙන්න ආදරේ තරම් තුළින් මූලික වෙන්නේ රෙදි මෝලවත්තේ කතාව. රෙදි මෝල වත්ත කියන්නෙත් අනුන්ගේ කුණු හෝදමින් තමන්ගේ ජීවිතය ගැට ගසාගන්න පවුල් වපසරියක් ජීවත්වෙන වටාපිටාවක්. එහි එක් පවුලක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ

 

 

 පබා පාර්ලිමේන්තු ගිහිං තමයි අවසානයේ නැවතුණේ. මොකද අද වෙනකොට ඒ ගැන හිතන්නේ?

 

ඇත්තටම මමත් ඒ වකවානුව තුළ දේශපාලනික වශයෙන් විවිධ ගැටලූවලට මුහුණ දුන්නා. උපේක්‍ෂා ස්වර්ණමාලී දේශපාලනයට පිවිසීමත් සමගම මතයක් ගොඩනැ`ගුණා ඇයව අපි ටෙලිනාට්‍යයෙන් ඉවත් කළා කියලත්. නමුත් සැබෑවටම එහෙම දෙයක් සිද්ධවුණේ නෑ. ඒ කාලය තුළ පබා කියන චරිතය විවිධ දුක් ගැහැට විඳිමින් නැ`ගිටින දිරිය කාන්තාවක් බවට පත්වුණා. උපේක්‍ෂා ස්වර්ණමාලි නෙමෙයි ඇය පබා බවටත් පත්වුණා. මම ඇත්තටම මේ වෘත්තිය තුළ නියැලූණාට මේ වෘත්තිය අපේ මිනිස්සුන්ගේ ජීවිතවලට කොයිතරම් දුරට බලපෑමක් ඇති කරනවාද කියන එක හරියටම සාක්‍ෂාත් වුණේ පබා ටෙලි නාට්‍යයෙන්. එවකට පබා මගේ දහවැනි හෝ දොළොස්වැනි ටෙලිනාට්‍යය. මිනිස්සුන්ගේ ජීවිතවලට කොයි තරම් දුරට බලපෑමක් ඇතිකරන්න ටෙලි නාට්‍යවලට පුළුවන්ද කියන එකත් දැනගත්තේ පබා ටෙලිනාට්‍යයෙන්.

 

 

 පිටපත ලියද්දී හිතුවද පබා මේ තරම් දුරට ජනපි‍්‍රය වෙයි කියලා?

 

 මට හිතුණා පබා ජනපි‍්‍රය වෙයි කියලා. අපි අතර ජීවත් වෙන චරිතත් එක්ක ලියැවෙන කතාන්දර අධ්‍යයනය කරන්න. දැන හඳුනාගන්න ආශ‍්‍රය කරන්න. ඒවත් එක්ක හිනාවෙන්න මිනිස්සු ආසයි. නමුත් මේ තරම් දුරක් ඒවි කියලා හිතුවේ නෑ. අනික පබා කියන චරිතය පාර්ලිමේන්තු යන තරමට මේ චරිතය ඉස්සෙයි කියලා හිතුවේ නෑ. මගේ මුහුණටම මිනිස්සු කියලා තියෙනවා පබාට මනාපයක් දුන්නේ ඒ කෙල්ල විඳින දුක්ගැහැට ඉවසන්න බැරි හින්දයි කියලා. ඒ තරමට මිනිස්සු මේ කතාවට ඇබ්බැහි වෙලා හිටියා. ටෙලිනාට්‍යයක් කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් දෙයක්. පබා නිසාම මම මගේ ලේඛන කලාව පරිස්සම් කරන්න හිතුවා. එතැන් පටන් මට සහ මගේ දරු පවුලට එකට නැරඹිය හැකි කතා ලියන්න දැඩි රුචියක් දැක්වූවා.

 

 

 ඔබ හැමවිටම කොල්ලො කෙල්ලො ඉලක්ක කරගෙන නේද කතාන්දර ලියන්නේ?

 

මගේ පළමු ටෙලි නාට්‍ය පවුලේ කතාන්දරයක්. ඒක පතිනිවරා ටෙලිනාට්‍යය. නමුත් පස්සේ කාලයක රූපවාහිනි සමාගම් සහ නිෂ්පාදකවරු මගෙන් හැමවිටම බලාපොරොත්තු වුණේ ආදර කතා. මාව ඒ ගොල්ලො තෝරාගත්තේම ආදර කතාවලට. මට ආපු ව්‍යාපෘති සියල්ලම ආදරය තේමාකරගත් ව්‍යාපෘති. හැබැයි ඒ සෑම ව්‍යාපෘතියක් අස්සේම උත්සාහ කළා ආදරයක් සමඟ ජීවිතය ගැන කතා කරන්න. තරුණ පරපුර වැළඳගත්ත කතා වුණාට ඒ ඇතුලේ කතාකරන ජීවන අරගලයකුත් තිබුණා.

 

 

  මෙවර ඔබ වැඩකරන්නේ ධනුෂ්ක රත්නායක නැමැති තරුණ අධ්‍යක්‍ෂකවරයෙක් සමඟ?

 

 මම නාලන් මෙන්ඩිස්, පේ‍්‍රම කුමාර ජයවර්ධන, ශිවගුරුනාදන්, එරංග සේනාරත්න, ශාන්ත සොයිසා ඇතුළු ගොඩක් පිරිස් එක්ක වැඩ කරලා තියෙනවා. ශාන්ත සොයිසා එක්ක තමයි වැඩිම නිර්මාණ ප‍්‍රමාණයක් කරලා තියෙන්නේ. ටෙලිනාට්‍ය 13 ක් කළේ ශාන්ත සොයිසා සමඟ. එරංග සේනාරත්න මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයා. ධනුෂ්ක රත්නායක කියන්නේ තරුණ නවආරක ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. මම ධනුෂ්කව දකින්නේ ජාත්‍යන්තර තලය ස්පර්ෂ කරන්න වෙර දරන අධ්‍යක්‍ෂවරයෙක් හැටියට. ඉතිං මට හිතුනා ධනුෂ්කත් එක්ක මේ කරන ටෙලි නාට්‍ය මගේ හැරවුම් ලක්‍ෂ්‍යයක් කරගන්න.

 

 

 ඔබ ටෙලිනාට්‍ය පිටපත් ලියද්දී නළු නිළියන් ඉලක්ක කරගෙනද ලියන්නේ?

 

 ඇතැම් විට. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන් මගේ ඔළුවේ චරිත තුනක් තදබල ලෙස තිබුණා. එක චරිතයක් අයිරාංගනී කියන චරිතය. අනෙක් චරිතය ලින්කන් ඊළඟට රොඞ්නි. මේ තුන්දෙනා මම මවාගන්නේ දුලීකා මාරපන, පි‍්‍රයන්ත සෙනවිරත්න, විල්සන් ගුණරත්න මගේ ඔළුවේ මැවුණ රූප තුන මට ගෙනත් දුන්නා.

 

 

  ඔබේ ඔළුවේ මැවුණ චරිත අධ්‍යක්‍ෂවරු තෝරා නොගත් අවස්ථා තියෙනවාද?

 

 අප‍්‍රමාණව තියෙනවා. ඒක ගොඩක් වෙලාවට සිද්ධවෙන්නේ චිත‍්‍රපටවලදී. අංජලිකා මගේ පළමු චිත‍්‍රපටය. අංජලිකා කරද්දී පූජා උමාශංකර් ලංකාවට ගෙනැල්ලා මේක කරන්න සංවිධානය කරද්දී මට මොනම අවස්ථාවකදීවත් පූජා මේකට හරි කියලා හිතුණේ නෑ. ඒ වෙලාවේ මගේ ඔළුවේ විවිධ රූප මැවුණා. මගේ ඔළුවේ මැවුණු රූපය නොවුනාට චන්නගේ තේරීම සියයට සියයක්ම සාර්ථක වුණා.

 

 සමහර ටෙලිනාට්‍යවලදීත් අපි කරන යෝජනාව විවිධ හේතූන් මත ඒ චරිතයට එයාව ගන්න බැරිවෙනවා. මගේ යෝජනාවලට පිටින් සෙසු යෝජනා ප‍්‍රබල වෙලා ගත්තු චරිත සාර්ථක වුණ අවස්ථා සෑහෙන තියෙනවා. එහෙම එක චරිතයක් මට මතක් වෙනවා. පබළු ටෙලි වෘතාන්තයේ වැලි ෂෙල්ටන් කියා චරිතයක් කළා කුමාර තිරිමාදුර. ඒ චරිතයට වෙන කෙනෙක් යෝජනා වෙලා ඉඳිද්දී තමයි අපි කුමාරව ගත්තේ. කුමාර ඉතා සාර්ථකව මේ චරිතය කළා. කුමාර අන්තිමේ හොඳම සහාය නළුවාගේ සම්මානය පවා දිනාගත්තා.

 

 

  ඔබ එතුරම් ඇගයීමට ලක්නොවුන ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක් නේද?

 

 මාව සම්මාන උළෙලවල් කිහිපයකදීම නිර්දේශවෙලා තියෙනවා. මාව මුලින්ම නිර්දේශ වුණේ ‘දියමත රුව’ නමුත් අවංකවම ඔබ හරි. මම මේ රචනා කරපු ටෙලිනාට්‍ය ප‍්‍රමාණය සහ ක්‍ෂේත‍්‍රයේ රැුඳී හිටපු කාලසීමාව තුළ මම හරි ඇගයීමකට ලක්වුණාද කියලා මටත් ගැටලූකාරී තත්ත්වයක් තියෙනවා.

 

 

 ඒකට හේතුව ඔබ බොළඳ ආදර කතාම මිනිස්සුන්ට තිළිණ කිරීම නේද?

 

 මට සමහර අවස්ථාවලදී එහෙම දෙයක් වෙන්නැති කියලත් හිතිලා තියෙනවා. දිනපතා විකාශනය වුණ සඳා ටෙලි නාට්‍ය තමයි එක අවුරුද්දක හොඳම ටෙලිනාට්‍ය වුණේ. සඳා ටෙලිනාට්‍යයේ නිළිය හොඳම නිළිය සම්මානයත් ගන්නවා. සම්මාන වර්ගීකරණයේ හතරකට නිර්දේශ පවා ලැබෙනවා. නැ`ගී එන නළුවාටද සම්මාන හිමිවෙනවා සඳා ටෙලිනාට්‍යයෙන්.

 

 එතැනදී මම පිටපත් රචකයා විදිහට නිර්දේශ වෙන්නේවත් නැහැ. මම හිතනවා මෙහෙම දෙයක් ජනපි‍්‍රය කලාව සහ සම්භාව්‍ය කලාව අතරමැද තමයි අපි ඉන්නේ කියා. පාරක මැද ඉඳලා දෙපැත්තේම වාහනවල හැප්පෙනවා වගේ වැඩක් තමයි සිද්ධවෙන්නේ. අපි නිකං වාණිජමය අරමුණක් වෙනුවෙන් පාවිච්චි වෙන රචකයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න මම ලොකු උත්සාහයක් දරලා නැහැ. ජනපි‍්‍රය කලාව තුළ අපි පොඩි කොටුවීමකට ලක්වෙලා තියෙනවා. බොහොම අහම්බයෙන් සම්මාන උළෙලකට නිර්දේශ වෙනවා. ඇතැම් සම්මාන උළෙලවලට ආරාධනා පත‍්‍රයක්වත් ලැබෙන්නේ නැහැ.

 

 

 වර්තමානයේ පිටපත් රචකයන්ට තියෙන ලොකුම චෝදනාව තමයි සෙට් එකේ ඉඳලා පිටපත ලියනවා කියන කාරණාව. ඔබ ඒ ඝනයට අයිති පිටපත් රචකයෙක්ද?

 

 නැහැ. විශේෂයෙන් නාලන් මෙන්ඩිස් වගේ අධ්‍යක්‍ෂවරු පිටපතක් සෙට් එකකට එනවා නම් ටෙලිනාට්‍ය නොකරන අධ්‍යක්‍ෂවරයෙක්. මම කිසිම විටක උත්සාහ කරන්නේ නැහැ නළු නිළියන්ට ඕනෑ විදිහට ලියන්න. අද දවසට ලියන්න. දර්ශන තලයේ සිට පිටපත ලියන්න. වාසනාවකට මම එහෙම තලයකට ආරාධනා ලැබිලත් නැහැ. මම එහෙම කරලත් නැහැ. අනික මට එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. මම පුරුදු වෙලා ඉන්නේ මගේ කාර්යභාරය ඉවර කරලා භාරදීලා නිර්මාණය ආරම්භ කරන්න. අනික මම සෙට් එකකට යැවෙනවත් අඩුයි. දර්ශන තලයේ සිට ලියන එක මම අනුමත කරන්නේම නැහැ.

 

 

 නාට්‍ය හිට්වෙන කොට නාලිකාව කියනවා තව ටිකක් ඇදගෙන යමු කියලා. ඔබ එතැනට ඇවිත් තියෙනවාද?

 

 ඔව්. මම ඇවිත් තියෙනවා යම් යම් නාලිකා සමඟ වැඩකරද්දී කතා තෝරගන්නේම ඒ කතා දීර්ඝව ඇදගෙන යන්න පුළුවන් කියන විශ්වාසයේ ඉඳලා. මම ගොඩක් දිගට ඇදගෙන ගියේ පබා විතරයි. කොටස් 700 කට ආසන්න ප‍්‍රමාණයක් ලිව්වා. අපිට ටෙලිනාට්‍ය දිගටම ඇදගෙන යන්න කියලා ආරාධනා ලැබිලත් එහෙම අත්හැරපු වාර අනන්තයි. අප‍්‍රමාණයි. මොකද මට හිතුන කතාව නැහැ.






Previous Post Next Post