මට ලැබුණේ පුදුම ආරක්ෂාවක් - ශානිකා නිරෝෂණී




මේ ආදර කතාවේ ඇය ‘ජනනි’. ජනනිගේ ආදරය හිමිවන්නේ ඔස්කාටයි. නමුත් ජනනි ආදරය කළ පෙම්වතා සමග නෙවෙයි ඇයට පසුකාලීනව විවාහ වීමට සිදුවන්නේ. අවසානයේ ජනනිගේ පිවිතුරු ආදරයට කුමක් වේවිද කියා දැනගැනීමට ‘කලම්බු’ චිත්‍රපටය නරඹන්න වෙනවා. ඒත් රටේ අතිවුණු වසංගත තත්ත්වයත් එක්ක සියලුම සිනමා ශාලා වසා දැමුවා. නුදුරු දිනෙකදී ඔබට ජනනිගේ ආදර කතා රසවිඳීමට අවස්ථාව උදාවේවි. සිනමාවෙන් දිගු ගමනක් යෑමට සිහින දකින ශානිකා නිරෝෂණී ඇයගේ කුලුඳුල් සිනමා රංගනය ගැන කතා කිරීමට අපිත් එක්ක එකතු වුණේ මේ විදියටයි.


 ශානිකා දැන් සිනමා තාරකාවක් නේද?

මගේ එකම බලාපොරොත්තුව තිබුණෙත් සිනමා තාරකාවක් වෙලා සිනමාව වෙනුවෙන් මට කළ හැකි උපරිම සහාය ලබාදෙන්න තමයි. කලම්බු චිත්‍රපටය හරහා මගේ ඒ සිහිනය සැබෑ වුණා.


අනියම් ප්‍රේම කතාවකට පැටලුණු බව ආරංචියි?

කලම්බු චිත්‍රපටයේ තමයි මම අනියම් ප්‍රේම සම්බන්ධයකට පැටලුණේ. පෙම්වතා විදියට රඟපාන්නේ හේමාල් රණසිංහ. මම ජනනිගේ චරිතය නිරූපණය කරන්නේ. ජනනි එක් දරු මවක්. විවිධ බාධක එක්ක තමයි ජනනිගේ ආදරය චිත්‍රපටය පුරා දිගහැරෙන්නේ.


 හේමාල් රණසිංහ සමග රඟපාන්න ඔබේ හිතේ ලොකු ආශාවක් තිබුණා නේද?

මම හේමාල්ව අඳුනන්නේ ඔහු රඟපාන්නත් කලින්. එදා ඉඳලා ඔහු සමග චිත්‍රපටයක රඟපාන්න ලොකු ආශාවක් තිබුණා. ඒත් මම කවදාවත් හිතුවේ නැහැ මගේ පළමු චිත්‍රපටයේම ඔහු සමග රඟපාන්න ලැබෙයි කියලා.


 ඔබ මේ ක්ෂේත්‍රයට නවකයෙක්. ඔබට ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන සහාය ගැන කතා කළොත්?

කලම්බු චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයක් විදියට මම රඟපාන්නේ. පිරිමි ගොඩක් එක්ක වැඩිපුර ගැවසෙන්න වුණා මට. චිත්‍රපට කණ්ඩායමේ සියලුම දෙනාගෙන් මට ලැබුණේ පුදුම ආරක්ෂාවක්. ඒ වගේම ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහායත් කිසිදා අමතක කරන්න බැහැ.


දිගටම සිනමාවේ රැඳෙන්නද ඔබේ අදහස?

සිනමාව පැත්තෙන් තමයි ඉදිරියට යන්න අදහසක් තියෙන්නේ. ඒ අතරතුර හොඳ ටෙලි නාට්‍යයකින් ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා.


කලා ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක් විවාහයෙන් පස්සේ කලාවෙන් ඈත්වෙනවා. ඔබ විවාහයෙන් පස්සේ තමයි කලාවට සම්බන්ධ වෙන්නේ?

මගේ මවුපියන්, මගේ සැමියා මම කලාවට ලොකු කැමැත්තක් දක්වන බව දන්නවා. ඉතින් මට පවුලේ කිසිම කෙනෙක්ගෙන් තහංචියක් නැහැ. ඒ සියලු දෙනාගේ සහාය ඇතිව තමයි මම මේ ගමන යන්නේ.


කලම්බු චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතරතුර සිනමා ශාලා වසාදැමූ එක ගැන හිතේ පුංචි දුකක් ඇති නේද?

ඒ ගැන නම් ගොඩක් කනගාටු වෙනවා. මම චිත්‍රපටයට සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි කලම්බු චිත්‍රපටය තිරගත වුණේ. ඒත් රටේ සියලු දෙනාම මේ වෙලාවේ ආරක්ෂා විය යුතුයි. මේ ප්‍රශ්න අවසන් වුණු පසු කලම්බු චිත්‍රපටය නැවත තිරගත වෙයි. මොනවා කරන්නත් කලින් අපි සියලු දෙනාට නිදහසේ හුස්ම ගැනීමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුයි. මමත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් ආරක්ෂාකාරීව වැඩ කටයුතු කරන්න කියලා තමයි.


ඔබේ අනාගත සැලසුම්?

මගේ එකම සිහිනය හොඳම නිළිය සම්මානය ගන්න එක තමයි. ඒ තැනට මම එනවා. ඒ වගේම හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට අදහසක් තිබෙනවා. චිත්‍රපට දෙකකින් මට ආරාධනා ලැබුණා. මේ කොරෝනා ප්‍රශ්නය නිසා මම කල් ඉල්ලුවා.


-වසන්ත විතාරණගේ-






Previous Post Next Post