පුංචි දැරියගේ, පාසල් සිසුවියගේ, නව යෞවනියගේ සිට වයෝවෘද්ධ කාන්තාවගේ භූමිකාව නිරූපණය කිරීම දක්වා වූ ඉතා විශාල පරාසයක රංගන කුසලතාවයක් හෙබි නිල්මිණී තෙන්නකෝන් නම් වූ ප‍්‍රවීණ රංගන ශිල්පිණිය සමග කලාවට ඔබ්බෙන් ගිය මාතෘකා කිහිපයක් ගැන පුවත්පතක් සමඟින් අැය විස්තර කියා තිබුනා.
නිල්මිණී තෙන්නකෝන් නැමැති රංගන ශිල්පිණිය මේ වෙනකොට නිහඬ චරිතයක් බවට පත්වෙලා නේද?
නැහැ. එහෙම දෙයක් නැහැ
එහෙනම් මේ දිනවල මොනවගේ කලා කටයුතු වෙනුවෙන්ද කාලය වෙන් කරන්නේ?
මේ දවස්වල මම ස්වාධීන රූපවාහිනියේ කවුන්සිල් ප්‍රෝග‍්‍රෑම් එකක් කරනවා. ඒක ඉරිදා දිනවල පෙ.ව. 8.30 සිට 11.30 දක්වා විකාශනය වෙනවා. වැඩසටහනේ නම හිතගාව. ඒ එක්කම ස්වාධීන රූපවාහිනියේ පින්කෙත කියලා ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත‍්‍රී 9.00ට.
මේ දේවල්වලට ලැබෙන්නේ මොනවගේ රසික ප‍්‍රතිචාරද?
මට හැමදාමත් එකවගේ රසික ප‍්‍රතිචාර තිබුණා. එකේ අඩුවක් නැහැ. එකම දේ මම වැඩිපුර නිර්මාණවලට දායක වෙන්නේ නැහැ.
හේතුව?
මම කැමැති අවුරුද්දකට එක නිර්මාණයක් හෝ දෙකක් විතරක් කරන්න. එතකොට ඒවා හොඳ නිර්මාණ වෙන්නත් ඕනෑ. අනික අපිට යමක් කරන්න පුළුවන් නිර්මාණ වෙන්නත් ඕනෑ. පසුගිය කාලයේ මම චිත‍්‍රපට තුනකට දායක වුණා. මම පහුගිය කාලයේ වැඩිපුර ර`ගපෑවේ චිත‍්‍රපටවල විතරයි.
ටෙලි නාට්‍ය රංගනයට වැඩිපුර කැමැත්තක් නැතිද? එහෙමත් නැතිනම් ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නේ නැතිද?
නැහැ. එහෙම කැමැත්තක් නැතිව නෙමෙයි. මම ටෙලි ක්‍ෂේත‍්‍රයට හරි ආදරෙයි. මම හැම එකක්ම භාර ගන්නේ නැහැ. පිටපත් තුන හතරක් ලැබුණොත් ඒවා සියල්ලම කියවලා බලලා හොඳම එක විතරයි භාර ගන්නේ. තව සෙට් එකකින් තව සෙට් එකකට මම යන්නේ නැහැ. මොකද අපි හදාගත්තු දෙයක් තියෙනවා. අපිට පුරුදු දෙයක් තියෙනවා. එහෙම ඇත්තට ම මම වැඩ කරන්න සූදානම් නැහැ.
එදා බිහිවන නිර්මාණ සහ අද බිහිවන නිර්මාණ පිළිබඳව ඔබට තියෙන්නේ මොනවගේ මතයක්ද?
එදා බිහිවුණු නිර්මාණ ඇත්තට ම උසස් මට්ටමේ තිබුණා. අධ්‍යක්‍ෂවරුන් උසස් මට්ටමේ හිටියා. ඉස්සර මේ වගේ රේස් එකක් නැහැ. අනික දැන් තියෙන්නේ මුදල් ඉපයීමේ කලාවක්. ඉස්සර මුදලට වැඩිය නිර්මාණයට තමයි අධ්‍යක්‍ෂකවරු තැන දුන්නේ. දැන් නිෂ්පාදකවරුන් මාළු කඩ වගේ වෙලා. නිර්මාණ දහයක් ගත්තොත් නිර්මාණ එකක් දෙකක් හොඳට තියේවි. එක දිගට යන ටෙලිනාට්‍ය කලාවක් බිහිවෙලා තියෙන්නේ. එක දිගට කොටස් 400 ක් 500 ක් විකාශනය වෙනකොට පේ‍්‍රක්‍ෂකාගාරය අපිට නැති වෙනවා. යූ ටියුබ් චැනල්වලින් ඊට වැඩිය දේවල් බලන්න පුරුදු වෙලා තියෙනවා. මොකද මේ වගේ කසිකබල් දේවල් බලන්න මිනිස්සු කැමැති නෑ.
නිල්මිණී තෙන්නකෝන් රංගනය ශිල්පිණිය මෙගා විරෝධීයෙක් ද?
මම මෙගා නාට්‍යවල ර`ගපාලා තියෙනවා. ¥ දරුවෝ තමයි පළමුවැනි මෙගා ටෙලි නාට්‍ය. හැබැයි ඒක විකාශනය වුණේ සතියට එක දවසයි. ඉරිදාට විතරයි. දැන් දිනපතා නාට්‍යයක් විකාශනය වෙනකොට හරයකුත් නැහැ. රසයකුත් නැහැ. කතාවකුත් නැහැ. ඒ ඒ නළු නිළියෝ ඉන්න විදිහට පේ‍්‍රක්‍ෂකයන්ට ඒක විහිළුවක් බවට පත්වෙලා. ලියලිය රඟපානවා. ආ(ර්*ටිස් කෙනෙකුට දින තිබ්බානම් එයාට කතාව ලිව්වා. ගලාගෙන යන කතාන්දරයක් නැහැ. දැන් මේ වෙනකොට ලංකාවේ ලොකු නිර්මාණ බංකොලොත් භාවයක් තියෙනවා.
හොඳ පිටපත් ලියවෙන්නේ නැති එකත් ගැටලූවක් නේද?
ඔව්. හොඳ පිටපත් ලියවෙන්නේ නැහැ. පිටපත් ලියන අයත් ඉන්නවා. ඒ ලියන අයටත් ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා.
මොනවද ඒ ප‍්‍රශ්න?
කොටස් පනහක් විතර ලියාගෙන යනකොට එතැනින් එහාට ඒ නාට්‍ය දික්කරන්න කිව්වහම පිටපත් රචකයන් ලොකු අමාරුවක වැටෙනවා. සෝමවීර සේනානායක වගේ පිටපත් ලියන රචකයන් හරි අඩුයි. මහේෂ් සත්සරමද්දුම ආරච්චිත් එහෙමයි. එයත් පේ‍්‍රක්‍ෂකාගාරය ග‍්‍රහණය කරගත්තා.
පුළුවන් විදිහට පිටපත ලියනවා. ඒවා අපි දැකලා තියෙනවා. ලංකාවේ හොඳ පිටපත් නැතිවම නෙමෙයි. බිහිවෙන්නේ නැතිකම තමයි තියෙන්නේ. ලියන්න පුළුවන් අයත් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට වටිනාකමක් දෙන්න නිෂ්පාදක කණ්ඩායමක් නැහැ.
ගොඩක් ටෙලිනාට්‍යවල පිටපත ලියැවෙන්නේ දර්ශනතලයේ දීමයි. ඒ ගැන කතා කළොත්?
දර්ශන තලයේ ලිය වෙනවා නෙමෙයි, සමහර වෙලාවට ප‍්‍රින්ටින් මැෂින් එකත් තියෙන්නේ දර්ශන තලයේ. ඕක වෙලා තියෙන්නේ දිගට දිගට ටෙලි නාට්‍ය විකාශනය වෙන නිසයි. අපි නම් ඒකාලේ සම්පූර්ණ පිටපත කියවලා තමයි රංගනයට පිවිසුණේ. දැන්නම් කතාව ඇහැව්වත් පිටපත් රචකයා කතාව කියන්න දන්නේ නැහැ. අවසානය කියන්න ශක්තියක් ඔවුන්ට නැහැ. ඒක තමයි තියෙන ඛේදවාචකය. ඉතිං ඔන්න ඔය වගේ ප‍්‍රශ්න නිසයි මම හැම වෙලේම හොඳ නිර්මාණ තෝරාගන්න හේතු වෙන්නේ. ඔය අලූත් ළමයි ඔතැනින් ඇවිල්ලා ඔතැනින්ම නැතිවෙලා යනවා. ඒ ගොල්ලන්ට අනාගතයක් නැහැ.
එදා ඔබ ක්‍ෂේත‍්‍රයට පිවිසුණ ආකාරය සහ අද නවක පරපුර කලාවට පිවිසෙන ආකාරය අතර වෙනසක් තියෙනවාද?
ලොකුවට තියෙනවා. චිත‍්‍රපට හෝ වේවා ටෙලි නාට්‍ය හෝ වේවා ඒකේ තිබුණා ප‍්‍රමිතියක්. අද ඒ ප‍්‍රමිතිය නැතිව වගේ මේ වැඩ කරන්නේ. දැන් ක්‍ෂේත‍්‍රයට එන අය ගේ ලොකු ලොකු වෙනස්කම් තියෙනවා. ඔවුන්ට හම්බවෙන නිර්මාණ තුළින් ඔවුන්ගේ පැවැත්ම හදාගන්න අමාරුයි. දැන් චැනල්වලින් කරන දෙයක් තමයි නළු නිළියන් ඔවුන් බිහිකරලා ඒ ගොල්ලන්ව තියාගන්නවා. ඒක හරි පව් වැඩක්. ඒවා හරියට චැනල් ඒජන්සි වෙලා. ඒ අයට රගපාන්න පුළුවන් එක නිර්මාණයක විතරයි.
නාළිකාවලට ඕනෑ විදිහටයි නළු නිළියන් ජීවත් වෙන්න ඕනෑ එහෙමද?
ඔව්. නාළිකාවලින් තමයි නළු නිළියන් හැඞ්න්ල් කරන්නේ. අපේ කාලයේ එහෙම දෙයක් තිබුණේ නැහැ. අපි හැම නාළිකාවකට ම අයිතියි අනික් එක ඔය දිගට දිගට යන නාට්‍ය මෙලෝ රහක් නෑ. එකම දෙබස නිතර කියන මහ බොළඳ කිසි තේරුමක් නැති නිර්මාණ. ඔය වගේ නිර්මාණ ඕනෑම කෙනකුට කරන්න පුළුවන්.
අලූත් පරපුර නිසා ක්‍ෂේත‍්‍රය හෑල්ලූවට ලක්වෙලා කියන චෝදනාව ද ඔය නඟන්නේ?
අලූතෙන් ඇවිල්ලා ඉන්න අයව හැන්ඞ්ල් කරන විදිහ පිළිබඳව ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ගොල්ලන්ව වාව්.... මාරයි.... කියලා චැනල්වලින් පුම්බලා තියෙනවා. එතකොට ඔවුන් හිතනවා මේක තමයි කලාව කියලා. මේක තමයි පැවැත්ම කියලා. එතැනින් එහාට යන්න තැනක් නෑ.
කලාවට අද අත්වෙලා තියෙන තත්ත්වයට ප‍්‍රවීණයොත් වගකියන්න වුවමනා නැතිද?
මෙහෙමය,ි ඇත්තට ම ප‍්‍රවිණයන් වග කියන්න ඕනැ නෑ, අධ්‍යක්‍ෂවරු සහ නිෂ්පාදකවරු තමයි වග කියන්න ඕනෑ. ප‍්‍රවීණ නළු නිළියන්ටත් දැන් ක්‍ෂේත‍්‍රයේ වැඩ හරි අඩුයිනේ. එක ටෙලි නාට්‍යයක එක චැනල් එකක අවුරුදු පහක් විතර යනකොට ප‍්‍රවීණ කලාකරුවන්ට වැඩ කරන්න චැනල් එකක් නැති වෙනවා. හැබැයි ඔය චැනල්වල මොනවා හරි උත්සව තියෙනකොට ප‍්‍රවීණයෝ තමයි ඕනෑ වෙන්නේ.
නළුනිළියන්ට කරන ගෙවීම් පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
බැහැ... බැහැ... හරිම අන්තිමයි. අපේ කලාකරුවොත් මේ තත්ත්වයට වගකියන්න ඕනෑ, තුට්ටු දෙකට ඔවුනුත් ගිහිල්ලා ර`ගපානවා. ටෙලි නාට්‍යයක ඉන්න විතරක් බලාගෙන. අපි නම් හදාගත්තු දෙයක් තියෙනවා. එතැනින් එහාට යන්නේ නෑ. ඇත්තට ම අලූතෙන් එන ළමයින්ව නරක් කරන්නේ චැනල්වලින්. සම්මාන උළෙලකදී චැනල්වලින් තමයි වියදම් කරලා එස්. එම්. එස්. ගහන්නේ. එතැන තියෙන්නේ ජනතාව ගේ ජනප‍්‍රියත්වය නෙමෙයි. චැනල් එකෙන් තමයි එයාව ජනප‍්‍රිය කරවන්නේ.
වර්තමානයේ ජනප‍්‍රිය නළුවා නිළිය තෝරන්නේ නාළිකාවලින් නේද?
ඔව්. එතකොට නාළිකාවලින් තමයි එස්. එම්. එස්. ගහන්නේ. නාළිකාවෙන් තමයි වියදම් කරන්නේ. එතකොට හැමදාම එකම කෙනාව එහෙම තේරෙන්න බෑ. ඊට වැඩිය දේවල් මේක ඇතුළේ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ජනතාව ඔය දේවල් පිළිගන්නේ නෑ. මෝඩ නෑ.
ලංකාවේ සම්මාන උළෙලවල විනිවිදභාවයක් තියෙනවා කියලා හිතනවාද?
සමහරක් නැත්වල විනිවිදභාවයක් තියෙනවා කියලා හිතනවා. සමහරක් තැන්වල නැහැ, කියලත් හිතනවා. ඒකට මට කෙලින්ම උත්තරයක් දෙන්න බැහැ. මොකද විනිශ්චය මණ්ඩලය දෙන තීරණය ඒකමතික තීරණයක්. ඒකට හැමෝට ම එක`ග වෙන්න වෙනවා.
ඔබේ රංගන ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ද?
ගොඩක්. ගොඩක් සතුටයි. ඒකට මම ගොඩක් ගරු කරන කෙනෙක් වගේම ආදරය කරන කෙනෙක්. මේක මගේ වාසනාවට ලැබිච්ච දෙයක් සහ මොනවා හරි පෙර පිනකට ලැබුණු දෙයක්. ඒවා නිකම්ම ලබා ගත්තු දේවල් නොවන නිසා මෙච්චර කාලයක් මම රැකගෙන ආවා. ඉදිරියටත් එහෙමයි. මේක මම ආදරයෙන් පරිහරණය කරන කෙනෙක්. ඕනෑවට එපාවට හැමතැනම විහිදෙන්න දෙන්නේ නෑ. කල්ලි ගහන කල්ලිවල මම නැහැ. නිර්මාණයක් කරන්න විතරයි මට ඕනෑ. නිර්මාණයට ගිහිල්ලා ඒකට හොඳට දායක වෙලා මිනිස්සු අතර කතා බහට ලක්වෙනවාට තමයි මම කැමැත.ි එතැනින් එහාට මගේ කල්ලි නෑ. ගොඩක් වෙලාවට කට්ටිය කල්ලි හදාගෙන ඉන්නවා. ඔවුන්ගේ අතින් වැඩ වෙනවා හරි අඩුයි.
කලා ජීවිතය නිසා ඔබට අහිමි වුණු දේවල් තියෙනවාද?
අම්මෝ නෑ. කිසිම දෙයක් මට අහිමි වෙලා නෑ. මට අහිමි වෙලා තියෙනවා නම් අහිමි වෙලා තියෙන්නේ සිනමාව විතරයි. මට ගොඩක් මිස් වුණේ මගේ පීක්ම කාලේ. සිනමාවෙන් තමයි එන්න ආවේ. සිනමාවේ මට චිත‍්‍රපට පනහකට වැඩිය ආරාධනා ලැබුණු කෙනෙක්. ඒවා මට මඟහැරුණා. ඒ ගැන දුකක් තියෙනවා. නමුත් අපි කිසිම දෙයකට ඕනෑවට වැඩිය දුක් වෙන්න වුවමනා නැහැ. ලැබිලා තියෙන දෙයින් සතුටු වෙන්න ඕනෑ. අපි මේ කිසිදෙයක් එනකොට අරගෙන ආවෙත් නෑ. අරගෙන යන්නෙත් නෑ.
අපේ රටේ සමාජ මාධ්‍ය ගැන ඔබට තියෙන්නේ මොනවගේ මතයක්ද?
මම කියන්නේ හැම දෙයක්ම හරියට පරිශීලනය කරන්න ඕනෑ, හරියට පරිහරණය නොකිරීමේදී තමයි විවිධ ගැටලූ මතුවෙන්නේ. තමන් පරිස්සම් වුණොත් වරදින තැන් අඩුයි. හැබැයි එකම දේ මේ සමාජය ඉතාමත් කුහක සමාජයක්. මෝඩ සමාජයක් තියෙන්නේ. තව කෙනෙකුට අකුල් හෙළලා තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරලා කැළලක් ඇති කරලා මෝඩ වින්දනයක් ලබන්න බලාගෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒක හින්දා හැම ගැහැනු ළමයෙක්ම මගේ හැටියට නම් කලාව වෙන්නම ඕනැ නෑ. යමක් කරන්න ඕනෑ නම් ඒ ගැන දහවතාවක්වත් හිතන්න ඕනෑ.