මම ගොඩක් නිර්මාණ භාර අරගෙන කරන කෙනෙක් නෙමෙයි - මනීෂා චංචලා




මනීෂා චංචලා යනු දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් සහ නිවේදිකාවක්ද වනවා.  මේ දිනවල බොහෝ ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන 'සිඳු' ටෙලි නාට්‍යය තුලින් හමුවන ඇය ස්වර්ණවාහිනි නාලිකාව තුලද නිවේදිකාවක් ලෙසද කටයුතු කරයි. ඇයගේ කලා කටයුතු පිළිබඳව වගේම  මේ දවස්වල මොකද වෙන්නේ කියලත් ඇය පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.



මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල මගේ සංගීත විභාගයට ලෑස්ති වෙනවා. ඊට අමතරව සිදු එකේ වැඩකටයුතු තමයි කරගෙන යන්නේ. ඊට අමතරව ස්වර්ණවාහිනියේ හද රැඳි පැය වැඩසටහන කරගෙන යනවා.


අලුතින් ගීතයක් එන්නේ නැද්ද?

අලුතින් ගීතයක් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ළගදී ගීතයක් එළිදැක්වූවා ‘සිහින සමාගම” තේමා ගීතය විදිහට තමයි ඒක ගියේ. ඒකට ලොකු ප්‍රසිද්ධියක් අපි දුන්නේ නැහැ. අලුත් ගීතයක බලාපොරොත්තුවෙන් ඉන්නවා. 


“සිදූ එකට අමතරව තව කටයුතු සඳහා ආරාධනා නැද්ද?

මේ දවස්වල එක නිර්මාණයක් සඳහා කතා කරලා තියෙනවා. ඒකට දැන් මේ දවස්වල ලෑස්ති වෙනවා. මේ වෙද්දී ගොඩක් නිර්මාණ භාර අරගෙන නැහැ.


සිදු එකත් එකතු වෙලා සෑහෙන්න කාලයක් වෙනවා නේන්ද?

ඔව්, මම සිඳු එක්ක වැඩකටයුතු කරන්න අරගෙන මේ අවුරුද්දට අවුරුදු 04 ක් විතර වෙනවා. 2016 දී තමයි මම සිදු එක්ක සම්බන්ධ වුණේ.


අවුරුදු ගණනාවක් එකම නාට්‍යයක් තුළ වැඩකටයුතු වෙද්දී එපා වීමක් නැද්ද?

එහෙම එපා වීමක් සිද්ධ වෙලා නැහැ මේ වෙනකම්. ඇත්තටම සිදු කියන්නේ පවුලක් වගේ. අපි ටෙලි නාට්‍යයෙන් එහාට ගියොත් එකට වැඩ කරන අපි හැමෝම දැන් එක පවුලක් වගේ. ඊට අමතරව දවසින් දවස දේවල් අපි ඉගෙන ගන්නවා. 


ඒක මෙගා ටෙලි නාට්‍යයක්ද? 

ඒකාංගික ටෙලිනාට්‍යයක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ තුලින් දෙයක් අපි දවසින් දවස ඉගෙන ගන්නවා තමයි වැදගත් වෙන්නේ. 


ඒ කියන්නේ සිඳු කියන්නේ ගොඩක් දේවල් ලැබුනු තැනක්?

අනිවාර්යයෙන්ම ඔව්. සිදු නිසා මට ගොඩක් දේවල් ලැබුනා. 


 සිඳු එක්ක ඉද්දි අමතක නොවන දේවල් එහෙම නැද්ද? 

මම හිතන්නේ සිඳු එක්ක ගෙවන හැම මොහොතක්ම අමතක නොවන වෙලාවල්. මම අර කලින් කිව්වා වගේම අපි දැන් එක පවුලක්. අපි හැමෝම එකිනෙකාට ආදරෙයි. ඒ නිසා අපි  ගෙවන හැම මොහොතක්ම අපිට අමතක කරන්න බැරි වෙයි. 


ගිය අවුරුද්දේ ගොඩක් දේවල් අතපසු වෙන්න ඇති?

ඔව්. ඒක මට විතරක් නෙමෙයි, අපේ කලාකරුවන්ට විතරක් නෙමෙයි අපි හැමෝටම ගොඩක් දේවල් අතපසු වෙන්න ඇති. ඒකට මුහුණ දෙන්න වුණා. ඒ නිසා වැඩකටයුතු ගොඩක් නැවතුනා. ඒකෙන් අද වෙද්දී සමහර අයගේ රැකියා පවා නැති වෙලා තියෙනවා. ඒකට බය වෙලා ජීවත් වෙනවාට වැඩිය ඒකෙන් අපි තව පරිස්සම් වෙලා වැඩකටයුතු කරගෙන ගියොත් ආයේ අපිට නැගිටින්න පුළුවන් වෙයි.


කලාව තුළින් ජීවත් වීමේ අමාරු වාතාවරණයක් දැන් උදාවෙලාද?

කලාව තුලින් ජීවිත් වීමේ බැරි වාතාවරණයක් මම නම් තාම දකින්නේ නැහැ. මේ වනවිට කලාව තුලින් ඇති ගමන් මාර්ග වැඩියි. අපි දන්නවා ගොඩක් දේවල් ඩිජිටල්කරණය වෙලා තියෙන නිසා කලාකරුවන්ට ඒ ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. මං හිතන්නේ නැහැ ඒ දේවල් නිසා කලාකරුවන්ට මඟ ඇහිරීමක් සිද්ද වෙලා තියෙනවා කියලා.


තියෙන අවස්ථාවන් ප්‍රයෝජය ගන්නේ නැද්ද? නැත්නම් අවස්ථාවන් හොයා ගන්නේ නැද්ද?

ඒ හැමදේම තීරණය වෙන්නෙ අපේ උනන්දුව මතයි. අපි කරන වැඩේට උනන්දුවක් දක්වන එක මත අපේ තියෙන වාසනාව සහ ඒ දේවල් එක්ක හරි යන්න පුළුවන්.


අධ්‍යාපනයත් එක්කද නිර්මාණ කටයුතු සීමා වෙන්නේ?

ගොඩක් දුරට ඔව්. මොකද මම ගොඩක් නිර්මාණ භාර අරගෙන කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි විශාරද විභාගයෙත් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැත්තේ. 


ආදරය කරන රසික පිරිස ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ගායිකාවද? නැත්නම් රංගන ශිල්පිනියද?

කලාකාරිනියක් විදිහට තමයි මාව හැමෝම හැඳින ගන්නේ. ඒකට මම කැමතියි. මොකද ඒක ඇතුලේ මගේ හැමදේම තියෙනවා. මේ ක්ෂේත්‍ර දෙකටම මම එක සමානව ගරු කරනවා.


ගායිකාවක් වෙන්නේ කොහොමද?

ගායිකාවක් වෙන්න හිතලා නෙමෙයි. මම චූටි කාලේ ඉඳන්ම ගීත වලට ඇලුම් කරනවාලු. අම්මි මාව තේරුම් ගන්නේ පොඩි කාලේ ඉඳන්මනේ.  මොන්ටිසෝරියෙන් තමයි මම සිංදු කියන්න පටන් ගන්නේ. ඊට පස්සේ තමයි නිවේදිකාවක් විදිහට කඳුරට FM එකට එකතු වෙන්නේ. ඒක හරහා තමයි අමිලා තීරණය කරන්නේ දෙරණ ලිටිල් ස්ටාර් තරඟයට යනවා කියලා. ඒක තමයි මගේ ගායන ක්ෂේත්‍රයේ මූලික අඩිතාලම වෙන්නේ.


ජීවිතේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ලොකුම බලාපොරොත්තුව තමයි මම කටයුතු කරන ක්ෂේත්‍රය වල මගේ හොඳ නම ආරක්ෂා කර ගන්න එක. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ පිළිබඳව හදාරමින් ගොඩක් දුර යන්න බලාපොරොත්තු වෙනවා.







Previous Post Next Post