අම්මා කෙනෙක් වෙන එක තමයි මගේ ඊළඟ හීනය - සෙව්වන්දි නයන්තාරා




සෙව්වන්දි නයන්තාරා අහම්බෙන් රංගනයට එන්න මාවත තනාගත් රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට මුණගැහුණේ ‘තෝඩු‘ ටෙලි නිර්මාණය හරහායි. වැඩි හදිසියක් නැතිව රංගනයෙන් දුර ගමනක් යන්න උත්සාහ කරන ඇය බොහෝ දෙනාගේ ආදරය දිනූ රංගන ශිල්පිනියක්. රංගනය සේම විවාහයත් එක්ක නැවුම් වූ ජීවිතයේ සොඳුරු තැන් ගැන ඇය පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


 කොහොමද නයන්තාරා ?

හොඳින්, සතුටින් ඉන්නවා. ‘නාඩි‘ නාට්‍යයේ රූගත කිරීම් නිම වුණා. ඒ ලැබුණු විවේකයත් එක්ක සැමියාගේ ගමට ආවා. ඉතින් මේ දවස්වල දෙන්නත් එක්ක එහෙ මෙහෙ ඇවිදමින් නිදහසේ කාලේ ගත කරනවා.


 ‍ෙ‘නාඩි‘ නිසා නයන්තාරාට ලැබෙන ප්‍රතිචාර ජයද?

ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ‘නාඩි‘කියන්නේ මම සම්බන්ධ වුණු දෙවැනි නාට්‍ය. පළමු රඟපෑමට වඩා දෙයක් දැන් මට තේරෙනවා. ගොඩක් අය කිව්වා මම ඒ චරිතය හොඳට කළා කියලා. ඒ නිසාමදෝ ලවණ්‍යාගේ චරිතයට සාධාරණයක් කළා යැයි මට හිතෙනවා..


 ඇත්ත ජීවිතේ නයන්තාරා ලවණ්‍යාට සමානද?

ඇත්ත ජීවිතෙත් මම ලවණ්‍යා වගේ තමයි. ඇය ප්‍රශ්නවලට බයක් නැතිව මුහුණ දුන්නත් මම නම් ප්‍රශ්නවලදි ඉක්මනින් වැටෙනවා. ඒ අසමානකම ඇරෙන්න ලවණ්‍යාගෙයි මගෙයි ජීවිත සමානයි.


 දැන් ඉතින් වැටෙන තැන්වලින් නැගිට්ටවන්න නයන්තාරාගේ ජීවිතේ කෙනෙක් ඉන්නවා නේ?

ඔව්. ඔහු තමා මගේ ශක්තිය.



විවාහ වුණාට පස්සේ සමරපු පළමු උපන්දිනේ විශේෂයක් තිබුණලූ නේද?

රෑ 12 ට මගේ සැමියාගේ පවුලේ අය කේක්, තෑගි අරගෙන ඇවිත් මාව පුදුම කළා. හැබැයි එළි වුණාට පස්සේ හැමෝම කාමරවලට වෙලා තම තමන්ගේ වැඩවල හිටියේ. මං බැලුවා ඇයි මෙහෙම කරන්නේ කියලත්. මං තනියම ඉන්න ආසා නැහැ. ඉතිං මට දුක හිතිලා ගිහින් නිදා ගත්තා. ඊට පස්සේ ප්‍රනීත් ඇවිත් ඩිනර් යමු කියලා ඇස් බැඳලා මාව එක්ක ගිහින් පුදුම කළා. එයාගේ පවුලේ හැමෝමයි මගේ පවුලේ හැමෝමයි විතරක් නෙමෙයි මගේ බලු සුරතලා ටෙඩිවත් එක්ක ඇවිත් පාටි එකක් සූදානම් කරලා. එයාලගේ පවුලේ අය අර දවසම එහෙට මෙහෙට ගිහින් තියෙන්නෙ මාව පුදුම කරන පාටිය ලෑස්ති කරන්න.


 

එක නිර්මාණයක් රඟපාලා නවතින්න හිතන් ක්ෂේත්‍රයට ආපූ නයන්තරාගේ තීරණේ වෙනස් වුණේ කොහොමද ?

අපේ පවුලේ අය මේ ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියේ අනෙක් අය කියන දේවල් එක්ක. නමුත් මම ක්ෂේත්‍රයට එකතු වුණාට පස්සේ තමයි එයාලා අහලා තිබුණු දේවල් වලටා වඩා ක්ෂේත්‍රය වෙනස් කියලා තේරුම් ගත්තේ. ඒ තේරුම්ගැනීමත් සමඟ දැන් මට තෝරා බේරා ගෙන හොඳ යමක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.


 

නයන්තාරා අඩුවෙන් දකින්නේ ලැබෙන ආරාධනා අඩු නිසාද ?

ආරාධනාවල නම් අඩුවක් නැහැ. හැබැයි එක සැරේ එක වැඩක් කළාම කාලය කළමනාකරණය කරගන්න පහසුයි. නාට්‍යයක රූගත කිරීම්වලදි වුණත් මාසෙම ඒ වෙනුවෙන් වැය කරන්න මම කැමැති නැහැ. මට දැන් පවුල් ජීවිතයක් තියෙනවා. ඔහු ගැන බලන්න ඕනේ.


අලුත් නිර්මාණ භාරගත්තේ නැද්ද?

කොරෝනා ප්‍රශ්නය නිසා මේ දවස්වල රූගත කිරීම්වලට යන්න බය නිසා තවම අලුත් වැඩක් භාරගත්තේ නැහැ. ඉදිරියෙදි ආරාධනා ලැබුණු නිර්මාණවලින් එකක් තෝරාගෙන සම්බන්ධ වෙනවා.


 

රංගනයට ඉස්සර තාත්තාගෙන් පැනවුණු තහංචි දැන් සැමියාගෙන් පැනවෙනවද ?

මම රඟපානවට මුලින් ප්‍රනීත් කැමැති වුණේ නැහැ. නමුත් අපි හැසිරෙන විදිහ එක්කයි හැමදේම රඳා පවතින්නේ කියලා දැන් ඔහු තේරුම් අරන් ඉන්නේ. දැන් මම කැමැති දේ කරන්න ඔහු ඉඩ දීලයි තියෙන්නේ. හැබැයි ගොඩක් වැඩවල හිරවෙනවට වඩා මම නිදහසේ ඉන්නවටයි ඔහු කැමැති. මමත් තෝරා බේරාගෙන අඩුවෙන් වැඩ කරන නිසා ප්‍රශ්නයක් නැහැ.


 

සිනමාවට එකතු වෙන්න අදහසක් නැද්ද?

මම නම් ආසයි සිනමාවට එකතු වෙන්න. ගෙදර අය තමයි මට ඒකට කැමැත්ත දෙන්නෙ නැත්තේ. සිනමා නිර්මාණයක් කරද්දි දවස් ගණන් එළියේ නතර වෙලා ඉන්න වෙන නිසා ගෙදර අය කැමැති නැහැ. මට තෙළිඟු චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබුණා. නමුත් සැමියාගෙන් ඒකට අවසර ලැබුණේ නැහැ. ගෙදර ඉද්දි තාත්තා කැමැත්ත දුන්නේ නැහැ. දැන් සැමියා තමයි කැමැත්ත දෙන්නෙ නැත්තේ.


තනිකඩ කාලේ තිබුණු නිදහස විවාහයෙන් පස්සේ සීමා වෙලාද?

විවාහ වුණා කියලා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණේ නැහැ. බිරියක් විදිහට මගෙන් විය යුතු වගකීම් මම ඉෂ්ට කරනවා. ඒ නිදහසත් තියෙනවා. ප්‍රනීත්ගේ පවුලේ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.


දෙන්නා තුන්දෙනා වෙන්න අදහසක් නැද්ද?

හැබැයි රටේ දැන් තියෙන තත්ත්වය එක්ක ඒ හීනය ටිකක් කල් දාලා තියෙනවා. නමුත් අම්මා කෙනෙක් වෙන එක තමයි මගේ ඊළඟ හීනය


 මවු පදවිය ලැබුණු දාක රංගනය අතහරීවිද?

මට පවුල තමයි ගොඩක්ම වටින්නේ. දරුවෙක් හැදුවම එයා වෙනුවෙන් අම්මා කාලය වෙන් කරන්න ඕනේ. ඒ අතරේ පවුල් ජීවිතයටත් හානියක් නොවෙන්න කරන්න පුළුවන් තරමේ දේවල් තෝරාගෙන කරයි.


 මොනවද දෙන්නා ජීවිතේ ඉටු කරගන්න උත්සාහ කරන අනෙක් හීන?

මගේ සැමියා මැණික් ව්‍යාපාරයකට සම්බන්ධ කෙනෙක්. ඔහු කැමැතියි ඒ එක්කම යන ආභරණ නිර්මාණයට එකතු වෙනවට. අපි දැනටමත් විදේශ රටවල අයට විතරක් ඔන්ලයින් ව්‍යාපාරයක් පටන් ගත්තා. මම ඒ නමින්ම ලංකාවේ ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ. අපේ ගෙදර වැඩ ටිකත් සම්පූර්ණ කර ගෙන දෙන්නා තුන්දෙනා වෙන හීනය හැබෑ කරන් සතුටින් ජීවත් වෙන්නයි අපේ හීනය.






Previous Post Next Post