මම හැමෝගේම ආදරණීය අම්මා - කුසුම් රේණු




කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යනු හරිම සොඳුරු හවුලකි. ටෙලි කලා කෙත හමුවේ අපූරු රඟදැක්මක යෙදෙන මේ කදිම අඹු – සැමි යුවළගේ ‘පවුල’ යන විෂයද බොහෝ සොඳුරුය. ළඟකදී අසන්නට ලැබුණේ ඔවුන්ගේ දෙවැනි දුව වූ තාරුකී අමායා ද අම්මා, තාත්තා මෙන්ම කලාවට පියවර තැබූ වගකි. ඉතින් මේ  කලා පවුල ගැන රස තොරතුරු අසන්නට ‘කුසුම් රේණු’ සමඟ හදවතින් බැඳුණු ඒ පුංචි හෝරාවෙහි සිදුවූ දෑ මෙලෙස සටහන් කරමු.



විවිධ චරිත හරහා බොහෝ විට ඔබ නිරතුරු ටෙලි තිරයෙහි පෙනී සිටිනවා?

ඔව්… කොහොමත් මට කලින් කලට කුමක් හෝ චරිතයක් සඳහා ආරාධනා ලැබෙනවා. හැබැයි මේ දවස්වල නම් එහෙමට ලොකු ‘බිසී’ එකක් නැහැ. ‘සිහින ගෙනෙන කුමාරියේ’ හී කරුණාවන්ත ළමා නිවාස පාලිකාවක ලෙසත්, ‘අග්නි පියාපත්’ හි නපුරු නැන්දම්මාගේ චරිතයත් අතර තමයි පසුගිය දවස්වල රූගත කිරීම් සිදුවුණේ.


‘අග්නි පියාපත්’හී නැන්දම්මාට මේ දවස්වල ප්‍රේක්‍ෂකයෝ ඇතිවෙන්න බනිනවාලු?

ඔව්… මටත් එහෙම ආරංචි වුණා… හැබැයි ඒ වගේම ‘සිහින ගෙනෙන කුමාරියේ’ නාට්‍යයේ ළමා නිවාස පාලිකාවටත් ඔවුන් ඒ වාගෙම ආදරය කරනවාලු. අසරණ වූ දරුවන් පිරිසකගේ ‘අම්මා’ ලෙසට මා කරන ඒ චරිතය හමුවේ බොහෝ දෙනා සංවේදීව සිටින බව දැනගන්නට ලැබුණා.


කොහොමටත් ඔබ කලා ලොවේ තරුණ දූදරුවන්ගේ අම්මා වගෙයි කියනවා?


 ඔව්… කලා ලොවෙහි මගෙත් ශ්‍රියන්තගෙත් මිතුරු මිතුරියන්ගේ දූදරුවනට මම අම්මා කෙනෙක් වාගේ තමයි.., රූගත කිරීම් සඳහා යන බොහෝ තැන්වලදී ඔවුන් මට කුසුම් අම්මා හෝ නැන්දා කියා අමතන්නේ හරිම ආදරයෙන්. අවංකවම එය මට ලොකු සතුටක්. ඇතැම් විට ඒ සුහද බව තුළද ඔවුන් ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය පිළිබඳව යම් දේ පවා මා සමඟ කතා කරනවා. අම්මා කෙනකු ලෙස එලෙස ඔවුන් මාව විශ්වාස කිරීම ගැන වුවද මා තුළ යම් ගෞරවයක් මට දැනෙනවා.


හැමෝටම එලෙස ‘අම්මා’ වීමට ලැබුණේ, පවුල තුළ ඔබ අම්මාගේ භූමිකාව හොඳින් රඟදැක්වූ නිසා වන්නට ඇති?

අනිවාර්යයෙන්ම ඔබ කළ අනුමානය හරි.., මම මගේ දරුවන්ට හොඳ අම්මා කෙනකු වුණා. කලා කටයුතු සඳහා කාලය වෙන් කරන විට පවා දුරබැහැර රූගත කිරීම් සඳහා වුවද මම ඉඳහිටක හෝ සහභාගි වූයේ දූලා දෙදෙනාට ඒක අඩුවක් නොදැනෙන ආකාරයටයි. කොතැනකදීවත් අම්මාගේ සෙනෙහස තුළ මම මගේ දරුවන්ට හිස්තැන් තැබුවේ නැහැ.


බාල දූ අමායාගේ හඬ ගුවන්විදුලිය හරහා ඇසුණේ ඔබේ ඒ හිස්තැන් නැති ආදරයෙහි ආභාෂය නිසාද?

නැහැ… නැහැ… ගුවන්විදුලිය ඔස්සේ තම හඬ ශ්‍රවණය කරවීමේ කලාව ඈ තෝරා ගත්තේ ඇගේම කැමැත්තෙනුයි. මම හෝ ශ්‍රියන්ත කවදාවත් කලාව සමඟ සම්බන්ධ වෙන්න යැයි කියා අපේ දරුවන්ට බලකරලා නැහැ. හැබැයි… කියන්නට සතුටුයි අපේ බාල දූ ‘තාරුකි අමායා’ ඇගේ හඬ ඉතා අපූරුවට මෙහෙයවීම තුළ ප්‍රවීණයන්ගේ ප්‍රශංසාවට පවා ලක්ව තිබෙනවා.


ප්‍රවීණ කලා ශිල්පිනී ‘කුසුම් පීරිස්’ ඒ අතර එක් අයෙක් කියා ආරංචියි?

ඔව්… දූගේ හඬට සවන් දුන් මොහොතක කුසුම් පීරිස් මහත්මිය ළඟ හිටපු අයකුගෙන් ඇහුවලු, ‘කාගෙද ඒ මිහිරි කටහඬ… හරි අපූරුවට හිතට කාවදිනවා’ කියලා. එතකොට ඉහත කී අය කිව්වලු… ‘ඇයි දෙවියනේ ඒ අපේ ශ්‍රියන්තගෙයි, කුසුම් රේණුගෙයි බාල දූනේ…’ කියලා. කුසුම් පීරිස් මහත්මිය ඒ මොහොතෙම මටත්, ශ්‍රියන්තටත් කතා කරල කිවුවා ‘ඔයාලගේ දූ පොඞ්ඩ නම් හරිම අපූරුයි…’ කියලා. ඇත්තටම මගේ ඇස්වලට කඳුළුත් ආවා කිවුවොත් එය සම්පූර්ණ ඇත්තක්. ගුවන්විදුලිය තුළ ඈ ඇගේ හැකියාවන් සමඟ ඉදිරියට යනවා නම් මටත්, ශ්‍රියන්තත් එයට අවශ්‍ය අත්වැල දෙන්නට ඉතාම ළෙන්ගතු සූදානමක සිටිනවා.


ඔබේ වැඩිමල් දියණියත් කලාවට සම්බන්ධයි?

ඔව්… ඇය ‘ෆැෂන් ඩිසයිනර්’ කෙනෙක්… මනාලියන් හැඩගැන්වීමේ කලාවට අමතරව ඇය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේද ඇඳුම් නිර්මාණය කිරීමෙහි නියැළී සිටිනවා. ශ්‍රියන්ත මෙන්ම ජයන්ත චන්ද්‍රසිරිගේද නාට්‍ය කිහිපයකට ඇය ඇඳුම් නිර්මාණ කටයුතු සඳහා සහාය දැක්වූවා. ඒ වාගේම ඇය ගායිකාවක්.


දමයන්ති රේණුකා ප්‍රනාන්දු













Previous Post Next Post