ජනවාරි 13 වනදා සිට ඉන්දියාව තුළ කෝවිඩ් එන්නත ලබාදීම අරඹයි



ඉන්දියාව තුළ කෝවිඩ් 19ට එරෙහි එන්නත ලබාදීමේ වැඩපිලිවෙළ ජනවාරි 13 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

මෙහි ප්‍රථම මූලික අදියරේ දී සෞඛ්‍ය සේවකයන් මිලියන දහයකටද,  වෙනත් ඉදිරිපෙළ අත්‍යාවශ්‍ය සේවකයන් මිලියන විස්සකටද එන්නත ලබාදීමට නියමිතව තිබේ. එමෙන්ම විවිධ දුබලතාවලින් යුත් වයස අවුරුදු පනහට වැඩි මිලියන 270 ක පමණ පිරිසකටද ඊලග අදියරේ දී එන්නත ලබාදීමට කටයුතු යොදා තිබෙන බවද ඔවුන් පවසා ඇත.

මෙම වැඩපිළිවෙළට අදාළ දත්ත දැනටමත් රැස්කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ. එමෙන්ම පසුගිය දිනවල පැවැත්වූ පෙරහුරුවලදී එන්නත්කරණ වැඩපිලිවෙළ පිළිබද සැලසුම් සාර්ථකව අත්හදා බලා ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ කොවිඩ් 19ට එරෙහිව නිපදවා ඇති එන්නත් දෙකක් සීමිත භාවිතය සදහා යොදාගැනීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පසුගිය 03 වනදා අවසර ලබාදුන් බවයි. කෙසේවෙතත් ඉදිරියේදී  ජනවාරි 13 වනදා සිට කෝවිඩ් එන්නත ලබාදීමේ වැඩපිලිවෙළ සාර්ථකව ක්‍රමානුකූලව ආරම්භ කිරීමට ඔවුන් සූදානමින් සිටින බවද අමාත්‍යාංශය පවසයි.


Previous Post Next Post