ලොරි තට්ටුවක අපිරිසුදු ලෙස බේකරි කෑම ගෙන ගිය රියදුරා දැලේ


ඉරී ගිය රෙද්දකින් පිටුපස ආවරණය කළ කුඩා ලොරියක තට්ටුව මත පාන් පිටිවලින් නිෂ්පාදනය කළ ආහාර ගබඩා කර බෙදා හැරිම සඳහා රැගෙන යමින් සිටි ලොරි රියැදුරකු හොරණ ගුරුගොඩ ප්‍රදේශයේදී හොරණ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

  හොරණ

පොලිසියේ නිලධාරින් සැක කටයුතු වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී බොරලුගොඩ දෙස සිට පැමිණි කුඩා ලොරියක් නවතා එහි පිටුපස දමා තිබූ කැන්වස් රෙද්ද ඉවත් කර පරීක්ෂා කර බැලීමේදී එහි අපිරිසුදු තට්ටුව මත දමා තිබූ පාන් ඇතුළු අනෙකුත් බේකරි  නිෂ්පාදන දැක ගත හැකි වූ බව පොලිසිය කියයි.

   ලොරියේ ඉහළට දමා තිබූ ආවරණය දූවිලි පිරී තිබී ඇති අතර එහි තැනින් තැන ඉරී අහස පෙනෙන ආකාරයෙන් තිබූ  බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් රියැදුරුගෙන් විමසීමේදී හොරණ මීවනපලාන ආදී ප්‍රදේශවල ආපනශාලාවලට මේවා බෙදාහරින බව අනාවරණය වී තිබේ.

   ලොරීයේ ගබඩා කර තිබූ බේකරි නිෂ්පාදන හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කැඳවා වාර්තාවක් ලබාගෙන අද (11) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රියැදුරු පොලිස් ඇප මත මුදාහැරී බව පොලිසිය කියයි.
Previous Post Next Post