Check Point නම දැම්මේ ශේන් සිං-ඩොන් රජීව්



 විවිධ සංගීත ශෛලීන් අනුගමනය කරන විවිධ ආකාරයේ සංගීත කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ දකින්න පුළුවන්. ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නවමු ආකාරයක අත්දැකීම් රාශියක් ලබා දීමට ඔවුන්ටද හැකියාව ලැබී තිබෙනවා. ප්‍රේක්ෂක ආදරය බොහෝ සේ දිනාගත් චාමර රණවකගේ මල්සරා ගීතයේ Cover එක නිසාත් මොවුන්ගේ නාමය මේ දිනවල ප්‍රචලිත වී තිබෙනවා. ඔවුන්ගේ නවතම තොරතුරු බෙදාහදා ගැනීමට අද “හදගැස්ම” සමඟ සම්බන්ධ වෙන්නේ “Check Point” සංගීත කණ්ඩායමේ නායක ඩොන් රජීව්.


මේ දිනවල වැඩකටයුතු ගැන කියමුද?


මේ දිනවල බෑන්ඩ් එකේ වැඩකටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදුකරගෙන යනවා. අපි ගොඩක් වෙලාවට මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව තමයි අපේ ප්‍රසංග පවත්වන්නේ. අපේ බෑන්ඩ් එකේ ප්‍රධානම ඉලක්කය පිටරටින් පැමිණෙන විදේශිකයන්ට අපේ සංගීත රසය ලබාදීමයි. බොහෝ විදේශිකයන් අපේ සංගීතය රසය රසවිඳින්න කැමැත්තක් දක්වනවා. මේ අය බොහෝදුරට හිරිකැටිය, තංගල්ල, හික්කඩුව, මිරිස්ස වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් සිටින නිසා අපේ ප්‍රසංගත් ඒ ප්‍රදේශවල පවත්වනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ. Check point සංගීත කණ්ඩායම ලංකාවේ රසිකයන්ටත් හොඳ සංගීත රසයක් ලබාදෙනවා. ඔය ආකාරයට අපේ සංගීත වැඩකටයුතු කරගෙන යනවා.


මෑතකදී චාමර රණවක සමඟ කවර් කළ සින්දු ගැනත් කතා කරමුද? 


චාමර රණවක කියන්නේ දක්ෂ ගායන  ශිල්පියෙක්. මේ වගේ ගායන ශිල්පියෙක් සමඟ එවැනි cover එකක් කරන්න ලැබුණු එක ගැන සංගීත බෑන්ඩ් එකක් විධියට අපි ගොඩක් සතුටු වෙනවා. Check point සංගීත කණ්ඩායම එක ආරම්භ කරලා දැන් වසර තුනක් වගේ කාලයක් ගෙවී තිබෙනවා. ඒ කාලය තුළ අපිට ලොකු රසික පිරිසක් නිර්මාණය වුණා. නමුත් අපි චාමර රණවක ගායන ශිල්පියා සමඟ කළ මේ කවර් එක කරලා යූටියුබ් එකට නිකුත් කළ පසු අපේ බෑන්ඩ් එකට අලුත් රසික පිරිසක් එකතු වුණා. ඒ වගේම බෑන්ඩ් එක ජනප්‍රිය වීමටත් මේ කවර් එක හේතුවක් වුණා. අපේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හා  ගායන ශිල්පියා හරිම නිදහසේ, විනෝදයෙන් තමයි මේ කවර් එක ඉදිරිපත් කළේ. ඔහු අපි සමඟ ගීත පහකට ආසන්න ප්‍රමාණයක් මේ අයුරින් ගායනා කළා. ඒ ගීත අතරින් දැනට ගීත දෙකක් පමණයි යූටියුබ් එකට නිකුත් කරලා තිබෙන්නේ. ඉතුරු ගීත මාසයකට එක බැගින් යූටියුබ් එකට නිකුත් කිරීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වන විට නිකුත් කළ ගීත දෙකට බොහෝ රසික ප්‍රතිචාර තිබෙනවා. මේ වගේ ගායන ශිල්පියෙක් සමඟ cover Song එකක් කරන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් තිබෙනවා.


Check point band එකේ සංගීත ශෛලිය ගැන රසිකයන්ට කියමු? 


Check point band එකේ ප්‍රධානම සංගීත ශෛලිය රෙගේ. නමුත් අපි අපේ රසිකයන්ගේ කැමැත්ත අනුව වෙනත් ශෛලීන්වල ගීත ගායනා කරනවා. රසිකයන්ගේ කැමැත්ත ඉටුකිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ. මොකද සංගීතය කියන්නේ අපි හැමදෙනාම ආදරය කරන කලාවක්. රෙගේ ශෛලියට කැමැති විදේශ රසික පිරිසක් වගේම දේශීය රසික පිරිසකුත් ලංකාවේ ඉන්නවා. අපි වෙනම ආරයකට අනුව මේ සංගීත ගමන යන නිසා විශාල රසික පිරිසක් අපි වටා එක්රොක් වෙනවා.


Check point සංගීත කණ්ඩායමේ ආරම්භය සිදුවුණේ කොහොමද?


මීට වසර තුනකට පෙර තමයි Check point  සංගීත කණ්ඩායම ආරම්භ වුණේ. අපේ සංගීත කණ්ඩායම ආරම්භ කිරීමේදී අපි මුලින්ම සිතුවේ ලංකාවේ තිබෙන සංගීත කණ්ඩායම්වලට වඩා වෙනස්ම විධියකින් අපේ සංගීත කණ්ඩායම ආරම්භ කරන්න. ඒ නිසා තමයි රෙගේ ශෛලියෙන් අපි අපේ සංගීත කණ්ඩායම ආරම්භ කළේ. ඒ වෙනසට ගැළපෙන්න අපි අපේ බෑන්ඩ් එකේ නම Check point කියලා නම් කළා. ශේන් සිං තමයි බෑන්ඩ් එකේ නම අපිට ලබාදුන්නේ. ඒ සම්බන්ධයෙන් ඔහුට මේ වෙලාවේ ස්තුති කරන්න ඕන. බෑන්ඩ් එක ආරම්භ කරපු කාලය තුළදී ලොකු රසික පිරිසක් අපිට සිටියේ නැහැ. නමුත් මේ වන විට අපිට ලැබෙන ප්‍රතිචාරවලින් අපේ සංගීත රටාවට මිනිසුන් ගොඩක් කැමැතියි කියලා අපිට දැනෙනවා.


“දෙයියෝ ඔයත් මාරයි” ගීතයට ලැබෙන  ප්‍රතිචාර ගැන කියමු? 


මේ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ ගායන ශිල්පීන්ගෙන්ද මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. මේක වෙනස්ම විධියකට අලුත් කලාවකට කරපු ගීතයක්. ගීතයේ තනු නිර්මාණය, ගී පද නිර්මාණය හා ගායනය කරන්නේ දනූ. දනූ කියන්නේ අපේ කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය. ඒ වගේම මේ ගීතයට සංගීත සපයන්නේ ජුනා. අපි මේ ගීතය වීඩියෝව රූගත කරන්න වැලිගම මුහුදු තීරය තෝරාගත්තා. ඊට අමතරව වැලිගම සංචාරක නිකේතනය මේ සඳහා යොදා ගත්තා. ඉතින් මේ ලැබෙන ප්‍රතිචාර ගැන අපිට ගොඩක් සතුටුයි.


කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය ‘දනු’ ගැනත් කියනවා නම්?


‘දනූ’ කියන්නේ දක්ෂ ගායිකාවක්. ඇයට තිබෙන්නේ බටහිර ආරයේ කටහඬක්. ගීත ගායනයේදී සිංහල ගීත ගායනා කිරීමට වඩා ඉංග්‍රීසි ගීත වැඩි වශයෙන් ගායනා කරන්න ඇය කැමැතියි. ඒ නිසා ඇය වටා හොඳ රසික පිරිසක් එකතු වී තිබෙනවා. බෑන්ඩ් එකකට කාන්තා නියෝජනයක් තිබීම ඇත්තටම වටිනවා. කාන්තා කටහඬක් බෑන්ඩ් එකක තිබෙන විට රසික ප්‍රතිචාරත් වැඩිවෙනවා. දනුගෙන් වගේම අනෙක් සාමාජිකයන්ගෙන්ද සංගීත කණ්ඩායමට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ සියලුදෙනාගේ දක්ෂතා හා කැපවීම් මත තමයි අපි මෙපමණ දුරක් ආවේ.


සංගීත කණ්ඩායමේ අලුත් නිර්මාණ ගැන  රසිකයන්ට කියමු? 


මේ දිනවල අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. අපි ගීත දහයක් ඇතුළත් ඇල්බම් එකක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සෑම ගීතයකටම වීඩියෝවක් කිරීමටත් අදහසක් තිබෙනවා. මේ වැඩකටයුතුත් සමඟ අපිට ලබන මාසය තුළ පැවැත්වෙන ලංකාවේ ප්‍රසංග කිහිපයක් සඳහාත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම විදේශ සංචාර කිහිපයකටත් ආරාධනා ලැබී තිබෙනවා.


සංගීත කණ්ඩායමේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමු? 


අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ අලුතින් නිර්මාණය කරන ඇල්බම් එකේ වැඩකටයුතු සාර්ථකව කරගන්න එක. ඊට අමතරව අපිට ලැබෙන ප්‍රසංග භාරගැනීමත් ළඟදී පවත්වන ප්‍රසංග සඳහා පුහුණුවීම් කටයුතුවල නිරත වීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ වනවිට විශේෂයෙන්ම විදේශ සංචාර සඳහා අපි ලොකු අවධානයක් ලබාදී තිබෙනවා.



Previous Post Next Post