දිනක්ෂි හෙළි කරපු දවසෙන් දවස ජනප්‍රිය වීමේ රහස

gossiplanka image 2
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මෑත කාලීනව විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් අති දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. පසුගිය දිනක ඇය ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළියට හිමි රයිගම් ටෙලි සම්මානයෙන් පළමුවරට පිදුම් ලබන්නට සමත් වුණේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගනිමින්. ඒ අත්දැකීම ඇය හදගැස්ම හා බෙදා ගත්තේ මේ අයුරින්.


ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය කාණ්ඩය යටතේ ඔබට ලැබුණු පළමුවැනි රයිගම් ටෙලි සම්මානය ගැන මොකද හිතෙන්නේ?


මට ඒ ගැන හරිම සතුටුයි. ඇත්තටම ඒ තමයි මට ලැබුණු පළමුවැනි රයිගම් ටෙලි සම්මානය. මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් බොහෝ කාලයක්. ඉතින් ඒ හැම මහන්සියකම ප්‍රතිඵලයක් විධියට තමයි මට මේ සම්මානය මෙවර ලැබුණේ කියලා තමයි හිතෙන්නේ. ජනප්‍රිය සම්මානයක් ලැබෙනවා කියන්නේ ඒක ජනතාවගෙන් ලැබෙන සම්මානයක්. මට ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණා. මම මේ සම්මානය මට ලැබෙයි කියලා හිතුවේ නෑ මොකද ලොකු තරගයක් තිබුණා. මගෙත් එක්ක තරග කළ හැමෝම මේ ක්ෂේත්‍රයේ හරිම දක්ෂ ජනප්‍රිය මගේම යහළුවෝ. ඒ අය අතර නිර්දේශිත නාමයන් අතරට පැමිණීමත් ලොකු ජයග්‍රහණයක්. 


නොමිනේෂන්වලදී බොහෝදෙනකු අතර විශිෂ්ටතම කැටගරිය සඳහා මේනකාගේ චරිතය නොමිනේට් නොවීම ගැන දැඩි කතාබහක් ඇති වී තිබුණා නේද?


මම හිතන්නේ අපි දේවල් දිහා බලන විධිය එකිනෙකාගෙන් එකිනෙකාට සාපේක්ෂයි. කෙනකුට මේනකාගේ චරිතය හොඳයි කියලා හිතෙද්දි තව කෙනකුට මේනකාගේ චරිතය හොඳ නැහැ කියල හිතෙන්න පුළුවන්. ඉතින් මේක ජූරියකින් දෙන සම්මානයක්නේ. ජූරියේ තීරණයට අපි ගරු කරන්න ඕනෑ. මේ ක්ෂේත්‍රය ගැන හොඳින් හඳුනන විද්වත් ජූරියක් තමයි රයිගම් ටෙලි සම්මාන උළෙලේ හිටියේ. ඔවුන් කාලාන්තරයක් ජූරියක් විධියට වැඩ කරපු අය. මට හිතෙන්නේ ඔවුන් අරගෙන තිබෙන්නේ හොඳම තීරණය කියලා. ඒ වගේම ජනතාවගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය ගොඩක් වෙලාවට මේනකාගේ චරිතයත් අසේනිගේ චරිතයත් කියන දෙක සංසන්දනය කරනවා. සමහරු මේනකාගේ චරිතයේ රඟපෑමට කැමැතියි. සමහරු අසේනිගේ චරිතයේ රඟපෑමට කැමැතියි. ඉතින් එකිනෙකාගෙන් එකිනෙකාට හිතට දැනෙන විධිය, දකින විධිය එක්ක තමයි ඒ දේ තීරණය වන්නේ.මම ජූරියට ගරු කරලා ඒ දේවල් පිළිගන්නවා.


බහුතරයක් රංගන ශිල්පිනියන් විවාහයෙන් පසු ජනප්‍රියත්වයෙන් ගිලිහෙනවා. නමුත් ඔබ විවාහයෙන් පසු වෙනදටත් වඩා ජනප්‍රිය වීමේ රහස මොකක්ද? 


මම හිතන්නෙ සාරංගට ඒ වෙනුවෙන් ලොකු ක්‍රෙඩිට් එකක් ලැබෙන්න ඕනෑ. සම්මානය ලැබුණු දවසේ වුණත් මම එයාට ස්තූති කළේ ඒ නිසයි. සාමාන්‍යයෙන් විවාහයත් සමඟ කාන්තාවන් වෙනදාට ඉන්න කෙළිලොල් නිදහස් ගතියෙන් ටිකක් ඈත් වෙලා වගකීම් අරගෙන ඔවුන්ම සීරියස් වෙන්න බලනවනේ. එහෙම වෙන්නේ ජීවිතයේ අපට ලැබෙන වගකීම් එක්ක තමයි. නමුත් සාරංග සමඟ විවාහ වුණාට පස්සේ මට එහෙම වුණේ නෑ. ඒකට ලොකුම හේතුව එයා මගේ යහළුවෙක් වගේ. ඔහු මට හරිම නිදහස් ජීවිතයක් ගත කරන්න ඉඩකඩ සලසලා දීලා තිබෙනවා. ඔහු තමයි මට මේ ක්ෂේත්‍රයෙන් සමුගන්න දුන්නේ නැත්තේ. මොකද මම කාලයක් කොයිතරම් මහන්සි වෙලාද මේ තැනට ආවේ කියලා සාරංග දැකලා තිබෙනවා. ඔහු මට කීවේ විවාහ වුණා කියලා ඒ දේවල් නැති කරගන්න ඕන නෑ ඒ දේවල් ඉදිරියට ගෙනියන්න කියලා තමයි. ඉතින් ඔහුගේ ඒ වචනයත් එක්ක තමයි නැවත වතාවක් ක්ෂේත්‍රයේ වැඩ කරන්න ආශාවක් සහ ධෛර්යයක් මට ලැබුණේ. මොකද මම කොයිතරම් නිර්මාණ කටයුතුවල යෙදෙන්න කැමැතිද කියලා ඔහු දන්නවා. ඔහු මගේ ආශාවන් කොයි වෙලාවකවත් අනෙක් වගකීම් නිසා නැතිවෙන්න දුන්නේ නැහැ. මම හිතන්නේ ඒක වෙන්න ඇති රහස.


මේ දිනවල පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ “නෝරා” ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු? 


ඔව්. නෝරාට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක මට ලැබුණු වෙනස් විධියේ චරිතයක්. ඒ වගේ චරිතයකින් මාව කලින් දැකලාත් නැති නිසා ගොඩක් අය කැමැතියි. විශේෂයෙන් පොඩි ළමයින්ගෙන් ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා. මගේ බබා සාරාන්යාත් මම ගෙදර එනකොට නෝරා වගේ හැසිරෙනවා. ඇවිදිනවා. බොහෝදෙනකු නෝරා දිහා කුතුහලයෙන් බලාගෙන ඉන්නවා. ප්‍රේක්ෂකයෝ කලින් නෝරා නානකල් බලන් හිටියා. දැන් නෝරා කතා කරනකල් ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා. ඉතින් මේ ගෙවෙන්නේ ඒ ආදරයත් එක්ක හරිම සතුටෙන් ගත වෙන දවස් කිහිපයක්.


සම්මානය ලැබීමත් සමඟ ඇතැමුන්ගේ විවේචනත් එල්ල වුණා. ඒ ගැන ඔබේ අදහස?


අපි හැමෝම ආදරය කරන චරිත ඉන්නවා. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපි ආදරය කරන ඒ චරිතයට අවශ්‍ය ඇගයීම, සම්මානය ලැබෙයි කියලා. ඒ දේ නොලැබෙන තැන ඒ ප්‍රේක්ෂකයන්ට දුක හිතෙනවා. ඒ දේවල් එක්ක තමයි විවේචන ලැබෙන්නේ. ඒක හරිම සාධාරණයි. ඒ ගැන අපි හරිම මධ්‍යස්ථ තැනක ඉඳලා තේරුම් ගන්න ඕනෑ. සම්මාන කියන්නේ ජීවිතයට ලොකු උත්තේජනයක්. නමුත් ඒක නොලැබුණා කියලා කොයි තැනකදීවත් අපේ ගමන නවතින්නෙ නැහැ. විවේචන කොයි කාලයක වුණත් මොන දේ කළත් එල්ල වෙනවා. මම ඒ දේවල්වලින් කොයි වෙලාවකවත් වැටෙන කෙනෙක් නෙවෙයි. මම හැමවෙලාවකම හිතන්නේ කවුරුහරි විවේචන එල්ල කරන්නේ ඒ කෙනා තව රංගන ශිල්පිනියකට දක්වන අසීමිත ආදරය නිසානේ කියලා.


එක පිට එක සම්මාන ලැබුණත් ඔබ එදා වගේම අදටත් රසිකයන් අතර රැඳෙන නිරහංකාර නිහතමානී රංගන ශිල්පිනියක්?


මම ඉස්සර ඉඳන්ම එහෙමයි. හැමතැනකදීම ගෙදර ඉන්නවා වගේ ඉදළයි මට පුරුදු. ඒ කියන්නේ මම ගෙදරදී එක විධියක්, පාරේදී තව විධියක්, සෙට් එකට ගියාම තව විධියක ඉඳලා පුරුදු නෑ. මේ මමම තමයි කොහෙදී දැක්කත් ඔයාලා දකින්නේ. රංගන ශිල්පිනියක් විධියට මම පෞරුෂයක් මේන්ටේන් කරනවා නම් ඒක කැමරාවක් ඉදිරියේ විතරයි. ඒ හැරුණාම සාමාන්‍ය ජීවිතයේ මම කැමැතියි මම විධියටම ජීවත් වෙන්න. එක එක පෞරුෂයන් සැබෑ ජීවිතයේ මේන්ටේන් කරන්න ගියාම ඒක හරි අමාරුයි. සාමාන්‍ය විධියට පොළොවෙ පය ගහලා ඉන්න තිබෙනවා නම් ඒක තමයි මට තිබෙන ලොකුම නිදහස.


මේ දිනවල ප්‍රියසාද් පවුලට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වන බව පෙනෙනවා මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?


ඇත්තටම ඒ දේවල්වලින් අපට ලොකු බලපෑමක් වෙන්නේ නෑ. මොකද පවුලක් විදිහට අපි විශ්වාස කරන්නේ ලෝකයේ ඕනෑම කෙනෙක් කුමන හෝ දෙයකින් සාර්ථක වෙද්දී, ඉදිරියට යද්දී දියුණු වෙනකොට එන බාධා අනන්තයි, අප්‍රමාණයි කියන එක. ඉතින් අපි හැමවෙලේම ඒක ආශීර්වාදයක් විධියට තමයි භාර ගන්නේ. ඒ දේවල් තව තවත් ජීවිතයේ හොඳ දේවල් කරන්නට අපව දිරිගන්වනවා. අපට එන හැම බාධාවක්ම, විවේචනාත්මක අදහසක්ම එන්නේ සමහර විට ජීවිතයේ යම් දේවල් ළඟාකර ගන්න බැරි වුණු මිනිසුන්ගෙන්. සාර්ථක මිනිසුන්ගෙන් කවදාවත් හේට් කමෙන්ට්ස් ලැබෙන්නේ නෑ. සාර්ථක මිනිස්සු හැම වෙලාවෙම බලන්නේ තමන්ගෙ ජීවිතය තවත් සාර්ථක කරගන්නේ කොහොමද කියලයි. අපිත් කොයි වෙලාවකවත් තවත් කෙනකුට වැරැද්දක් කරන්නේ නැහැ. අපි තරග කරන්නේ අපි එක්කමයි. අපි හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ එවැනි හේට් කමෙන්ට්ස් දෙන අයටත් අපිට ජීවිතයේ ලැබෙන සතුට, ජයග්‍රහණ ලැබෙන්න කියලමයි.

gossiplanka image 1
Previous Post Next Post