දෙරණ ලිට්ල් ස්ටාර්’ තරග වේදිකාවෙන් බිහිවුණු දිනුලි දම්සඳී දුව ගායන කරන ඔන්න ඔය ගීතය තමයි මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ගීතය. වයස් භේදයක් නැතුව හැමෝම අහන බලන දිනුලි දුවගේ ඒ ගීතය තමයි මේ වෙද්දිත් යූටියුබ් ට්‍රෙන්ඩින්වල අංක එකට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එහි නැරඹුම් වාර ප්‍රමාණයත් මිලියන පහකට අධිකයි. ඒ නිසාම අපිට හිතුනා ‘ට්‍රිප් එක පාන්දරින්’ ගයන දිනුලි දම්සඳී දුවත් එක්ක කතා කරන්න.
දිනුලි දුවගේ ගීතයක් ලංකාවේ ජනප්‍රියම ගීතය වෙලා. මොකද හිතෙන්නේ?
ඔව් මට හුඟාක් සතුටුයි. මීට කලිනුත් මම ගීත කීපයක්ම කළා. ඒත් ඉතින් ඒ එක ගීතයක්වත් ‘ට්‍රිප් එක පාන්දරින්’ ගීතය තරම් ජනප්‍රිය වුණේ නෑ. ඉතින් අලුත් ගීතය ජනප්‍රියවීම ගැන සතුටුයි.
‘ට්‍රිප් එක පාන්දරින්’ කියන ගීතය මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මුලින් හිතුවද?
ජනප්‍රිය වෙයි කියලා හිතුවා. ඒත් මේ තරමටම ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නෑ. අන්තිමේ ඒක ලංකාවේ වයස් භේදයක් නැතුව හැමෝම වගේ ආස කරන ගීතයක් වුණා.
ගීතය ජනප්‍රියවීමත් එක්ක දුවට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම කියනවා සින්දුව බැලුවා, මං ලස්සනට කියනවා කියලා. එහෙම ප්‍රතිචාර ලැබෙද්දී හරි සතුටක් දැනෙනවා. මේ වෙලාවේ ගීතය පදරචනය කරපු ලසිත ජයනෙත්ති ආරච්චිගේ මාමා. සංගීතවත් කරපු දිල්ශාන් එල්. සිල්වා මාමා. ලස්සනට රූප රචනය සිදුකරපු චාරුක දුෂ්‍යන්ත මාමාත් මතක් කරන්න ඕනේ.
පාසලේ ගුරුවරුන්ගෙන්, යාළුවන්ගෙන් එහෙමත් හොඳ ප්‍රතිචාර ඇති නේද?
ඔව්. මගේ පාසල ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය. විදුහල්පතිතුමාගේ ඉඳන් ගුරුවරු, ළමයි හැමෝම වගේ මට සුබ පැතුවා. ඒ වගේම යාළුවොත් සුබ පැතුවා. යාළුවෝ නම් මට පාසලේදි සින්දුව කියලා පෙන්නන්නත් කියනවා.
යාළුවන්ටත් දැන් දුවගේ ගීතය කටපාඩම් ඇති මං හිතන්නේ?
ඔව් ඔව් යාළුවන්ට සිංදුව හොඳටම කටපාඩම්.
දැන් දුව ඉගන ගන්නේ කීවැනි පන්තියේද?
හයේ පන්තියේ. මගේ වයස තවම අවුරුදු 11 යි.
දිනුලි දුව දෙරණ ලිට්ල් ස්ටාර් තරගයටත් පැමිණි තරගකාරියක්. ඒ ගැන මතක් කළොත්?
මුලින්ම මම ලිට්ස් ස්ටාර් සීසන් 09 ට සහභාගී වුණා. ඒ සැරේ 08 වුණා. ඊට පස්සේ සීසන් නැවත සීසන් 11 ට සහභාගී වෙලා 03 වුණා. එතැනින් පස්සේ තමයි මාව ලොකු පිරිසක් දැනගත්තේ.
ඒ කියන්නේ දුවට ලිට්ල් ස්ටාර් වේදිකාවත් විශේෂයි. එහෙමද?
ඔව් විශේෂයි. මගේ මේ ගායන දිවියේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වුණෙත් දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාව කියලයි මම හිතන්නේ. ඒ වේදිකාව මගේ සංගීත ගමනට ලොකු පන්නරයක් වුණා.
ගීත ගායනය ඇරුණම දුවගේ වෙනත් දක්ෂතා මොනවද?
මට හොඳට ඉගෙනගන්න පුළුවන්. සින්දු කියන ගමන් ටිකක් නටන්නත් පුළුවන්.
දුව ගායන ක්ෂේත්‍රයට එන්න හිතුවේ ඇයි?
පුංචි කාලේ ඉඳන්ම සින්දු කියන්න දක්ෂයි. අම්මා සංගීත ගුරුවරියක් නිසා ඒ දක්ෂතාව අඳුනගන තිබුණා. අම්මා තමයි මාව දෙරණ ලිට්ල් ස්ටාර් තරගයටත් යොමු කළේ. මං හිතන්නේ අම්මත් සංගීතයට සමීප කෙනෙක් නිසා මටත් අම්මාගේ ආභාෂය එන්න ඇති.
ඒ කාලේ ගායිකාවක් වෙනවා කියලා දුවට පුංචි හරි හීනයක් තිබුණද?
අනේ නෑ. ඒත් ලිට්ල් ස්ටාර් තරගයෙන් පස්සේ සිංදු කියන්න ආස හිතුණා.
සංගීත වැඩකටයුතු එක්ක පාසලේ වැඩ අතපසු වෙන්නේ නැද්ද?
එහෙම නෑ. දෙකම සමබරව කරනවා. හැබැයි ඒක ලේසි නෑ. ඒකට අම්මා, තාත්තා, ගුරුවරු එහෙම ගොඩාක් උදව් කරනවා. යාළුවොත් මට ලොකු සහයෝගයක් දෙනවා.
දුවගේ පවුලේ එහෙම වෙන කවුද ඉන්නේ?
අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි, මමයි තමයි.
දුවගේ අනාගත බලාපොරොත්තුව ගැනත් දැනගන්න කැමැතියි?
ඇත්තෙන්ම අනාගත බලාපොරොත්තුව තමයි වෛද්‍යවරියක් වෙන එක. ඒ අතරේ සින්දු කියන එකත් කරනවා.
ඒ කියන්නේ දිනුලි දුව කියන්නේ අනාගතේ සින්දු කියන දොස්තර නෝනා කෙනෙක්. එහෙමද?
ඔව්. මගේ බලාපොරොත්තුව ඒක තමයි. ඒක වෙනුවෙන් මං මහන්සි වෙනවා.