ආදරයක් හිතුණොත් ඒ කෙනා කවුද කියන එක හොයන්නේ නැති වෙයි -සුහන්දී උපෙත්මා

 



සුහන්දී උපෙත්මා කියන්නේ මේ කාලයේ නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් අතරට එන ඒ එක්කම පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක්. රසඳුන අද කතාබහ සුහන්දී උපෙත්මා සමඟ.


සුහන්දී මේ දවස්වල මොකද වෙන්නේ


මේ දවස්වල මම රංගනයෙන් දායක වෙන නාට්‍යය හතරක් විකාශය වෙනවා. සිරස නාළිකාවේ ‘රස රහසක්‘, සියත නාළිකාවේ ‘සින්ධු‘, ස්වාධීන රූපවාහිනී සේවයේ ‘රාග‘ සහ අලුතින්ම විකාශය වෙන්න පටන් ගත්තු හිරු නාළිකාවේ ‘වන මලක්‘ නාට්‍යය. මේ නාට්‍යය හතරේ ශුටින් එක්ක තමයි කාලය ගත වෙන්නේ.


ඒ කියන්නේ නාළිකා හතරකින්ම සුහන්දිව දකින්න ලැබෙනවා, වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ මොන නිර්මාණයටද?


නාළිකා හතරකම මගේ නිර්මාණ විකාශය වෙනවා. වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ ‘රස රහසක්‘ සහ ‘සින්ධු‘ නාට්‍යයට.


එකිනෙක නිර්මාණවල චරිත ගැන කෙටියෙන් කතා කළොත්?


රස රහසක් එකේ නම් මට තියෙන්නේ මියැදුණු ගැහැනු ළමයෙක්ගේ චරිතයක්. එයා මියැදුනත් එයා ආදරේ කරපු පෙම්වතා එක්කම ඉන්න චරිතයක්. මායා කියන්නේ මට මෙතෙක් ලැබුණු වෙනස්ම චරිතයක්. එදා මම මැරෙන කොටස ෂූට් කරපු දවසේ මට දැනුණේ මම ඇත්තටම මැරුණා වගේ හැඟීමක්. මැරුණු කෙනෙක් වුණත් ඒ චරිතය හරිම ආදරණීය චරිතයක්. ඒක සුන්දර අමුතු චරිතයක්.


ඒ එක්කම සින්ධුහි සින්ධුජා ගැනත් කතා කරමු


සින්ධුජා කියන්නේ සල්ලිකාර පවුලක ළමයෙක් වුණත් බොහොම මධ්‍යම පාන්තික පවුලක ළමයෙක් ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කෙනෙක්. ඒ එක්කම සින්ධුට ලස්සන ආදරයක් හමුවෙනවා. එයා එයාගේ පෙම්වතාට ආදරේ කරන්නේ එයාගේ ලෝකයම කරගෙන. අපි ඇත්තටම හිතුවේ නැහැ සින්ධු නාට්‍යය මේ තරම් ජනප්‍රිය නාට්‍යයක් වෙයි කියලා. හැබැයි ඒ ආදර කතාව බොහෝ දුර ගියා.


රාග කියන්නේ සිවගුරුනාදන් යටතේ වැඩ කරන්න ලැබුණු පළමු අවස්ථාව නේද?


ඇත්තෙන්ම ඔව්. සිවගුරුනාදන් සර් එක්ක වැඩ කරන්න ලැබුණු මුල්ම අවස්ථාව. ඒ නිර්මාණයට මට ඇරයුම් ලැබෙන්නේ මන්දාරම් කතාව නාට්‍යය විකාශය වෙන කාලයේ. මම හරිම සතුටින් වැඩ කරන නාට්‍යයක්. සිවගුරුනාදන් සර් එක්ක වැඩ කරන්න ලැබුණු එක ලොකු භාග්‍යයක් සහ ලොකු අත්දැකීමක්.


අලුතින්ම විකාශය වෙන්න ගත්තු වන මලක් ගැනත් කිව්වොත්


නුවරඑළිය ආශ්‍රිතව නිර්මාණය වෙන ලස්සන නිර්මාණයක්. නුවරඑළියේ මල් කොල්ලෙක් ගැන කතාවක්. ඒ මල් කොල්ලෙක්ට ආදරේ කරන නිකිණිගේ චරිතය තමයි මට ලැබුණේ. නිකිණි පාසල් යන වයසේ චරිතයක්. ඒ ආදරේ එක්ක මුහුණ දෙන ඝට්ටන ගැන තමයි වන මලක් තුළ තියෙන්නේ.


සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණද?


මේ වෙද්දී එක අවස්ථාවක් ලැබුණා. ඒ තමයි ධනුෂ්ක රත්නායක අයියාගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘පරාග‘. ඒ එක්කම ඉදිරියටත් සිනමා නිර්මාණවලට දායක වෙන්න කැමත්තෙන් ඉන්නවා.


සුහන්දී කියන්නේ කැරලි කොණ්ඩය එක්ක අලුත් හැඩයක් පුංචි තිරයේ මවන කෙනෙක් කිව්වොත්?


මට කැරලි කොණ්ඩයක් තියෙන නිසා කොන්ඩේ කපලා කලර් කරලා කොණ්ඩෙට ෆැෂන් කරන්න විදියක් නැහැ. ඒ නිසා කිසිම දෙයක් කරන්න බැරි නිසා එහෙම්ම තියෙනවා.


සුහන්දිව ඉස්මතු වෙන්න ඔය කොණ්ඩයත් ආභරණයක් වුණා නේද ?


ඔව්. ගොඩක් අය මගේ කොන්ඩේ විශේෂ කරලා කතා කරනවා. අපේ අම්මා තමයි කොන්ඩේ ආරක්ෂා කරලා දෙන්නේ.


අම්මත් රූපලාවණ්‍ය ශිල්පිනියක් නිසා දුවව ලස්සන කරන රහස් දන්නවා නේද?


ඔව්. එයා මට බලෙන් එක එක ස්වාභාවික දේවල් හදලා දෙනවා. ඒවා කළේ නැතිවම බණිනවත් එක්ක.


එදා හිටිය සුහන්දිට වඩා අද ඉන්න සුහන්දිව හැමෝම දන්නවා, මේ ජනප්‍රියත්වය දැනෙන්නේ කොහොමද?


මම ඒ ගැන නිහතමානිව සතුටු වෙනවා. ඒක මම හිතන්නේ කෙනෙක්ට හරි අඩුවෙන් ලැබෙන දෙයක්. කවුරු හරි කෙනෙක් ඇවිත් අපි මහන්සි වෙලා කරන නිර්මාණයක් අගයද්දී ඒ සතුට මෙච්චරයි කියන්න බැහැ. ඒ ආදරේ තමයි මාව ඉදිරියට අරගෙන යන්නේ.


නිළියක් වෙන්න කලින් නම් හිතන් හිටියේ කවදාවත් කලාවේ කෙනෙක්ට නම් කැමති වෙන්නේ නැහැ කියලානේ, දැනුත් ඒ මතයේම ද ඉන්නේ


මම ක්ෂේත්‍රයට ආවට පස්සේ හිතුණා කවදාවත් නළුවෙක් නම් කසාද බඳින්නේ නැහැ කියලා. තාම නම් එහෙම කෙනෙක් හමුවෙලා නැහැ. ඒ වුණත් කාට හරි ආදරයක් හිතුණොත් ඒ කෙනා කවුද කියන එක හොයන්නේ නැති වෙයි.


මෙවර රයිගම් සම්මාන උලෙළේ නිර්දේශ අතර ඔබත් හිටියා


ඔව්. මෙවර රයිගම් සම්මාන උලෙළේ නැගීඑන නිළිය ලෙස නිර්දේශ ලැබුවා. මම නිර්දේශ ලැබූ සහ සම්මාන උලෙළකට සහභාගී වූ පළමු අවස්ථාවත් මෙවර රයිගම් සම්මාන උලෙළ.


අනාගත බලාපොරොත්තු මොනවද?


ඉස්සරහට නම් නිර්මාණ කරන එක ටිකක් අඩු කරාවි. මේ කාලයේ දිගටම වැඩ කරපු නිසා ටෙලිවිෂන් එකේ නිතරම පේනවාත් වැඩියි. ඒ නිසා ටිකක් අඩු කරන්න හිතුවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය ගැන ඉගෙන ගන්නවා. ඒ වෙනුවෙන් මුල් තැන දෙන්න හිතුවා.



Previous Post Next Post