මමත් එන්නෙ ගොවි පවුලකින් – සූර්යා දයාරුවන්




ඔහු සංගීතය, රංගනය, නිවේදනය යන අංශ තුනෙන්ම දස්කම් දක්වන ශිල්පියෙක්. එදා සමනල සංධ්වනිය චිත්‍රපටය හරහා රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන ඔහු අද වන විට චිත්‍රපට පහළොවකට පමණ සිය දායකත්වය දක්වල තියෙනව. ඒ අතරින් අලුත්ම නිර්මාණය වෙන්නෙ දර්ශන රුවන් දිසානායකගෙ ‘ගොවි තාත්තා’. මීවිත අපි, සූර්යා දයාරුවන් සමග කළ මේ කතාබහේදී කාටවත් නොකියපු දේකුත් කිව්වා. එය ඔබටත් දැනගන්නට අපේ කතාබහ මේ විදිහට සටහන් කළා.

ඔබ රංගනයෙන් දායක වුණ ‘ගොවි තාත්තා’ තිරගත වෙනව. ඒ වගේම දිගු කලකට පසුව ‘ලොකු පුතාගෙ’ බලාපොරොත්තු ඉටුවෙනව?


ඔව්, මගේ සංගීත ගුරුවරයා වන දර්ශන රුවන් දිසානායක සර් තමයි මාව මේ ක්‍ෂේත්‍රයට හඳුන්වා දෙන්නෙත්, සමනල සංධ්වනිය චිත්‍රපටයට මාව සම්බන්ධ කරන්නෙත්. එතුමාගේ පළමු චිත්‍රපටයේ ලොකු පුතාගේ චරිතය කරන්න ලැබීම ම මට ලොකු භාග්‍යයක්. ඇත්තටම ඒක දර්ශන සර්ගෙ ජීවිත කතාව ඇතුළෙ තියෙන කතාවක්නෙ. ඒ නිසා හරි විදිහට ගත්තොත් දර්ශන සර්ගෙ චරිතය තමයි මම කරන්නෙ. චිත්‍රපටය තුළ මගේ තාත්තාට රඟපාන්නෙ දර්ශන සර්ගෙ තාත්තා.


මමත් එන්නෙ ගොවි පවුලකින් - සූර්යා දයාරුවන්

කුඹුරුවල රූගත කළ මෙහි ෂූටිං අත්දැකීම මොන වගේද?


අපි මෙහි රූගතකිරීම් සිදුකළේ පොළොන්නරුවෙ. මගේ ගමත් පොළොන්නරුවනෙ. සුපුරුදු පළාත නිසා හරි ආසාවෙන්, ඒ කුඹුරු, අව්ව, වැස්ස, ගැමි සුවඳට හරි ආසාවෙන් හරියට අපේ පවුලෙ වැඩක් වගේ නිදහසේ රූගතකිරීම් කරගෙන ගියා.


කුඹුරුවැඩ ගැන සූර්යාට අත්දැකීම් තියෙනවද?


ඔව්, අපේ පවුල්වල අය ගොවිතැන්නෙ කරන්නෙ. නමුත් මම ඒ තරම් කුඹුරුවලට බැහැල වැඩකරපු කෙනෙක් නෙමෙයි. අපේ පවුලෙ ළමයි හත් දෙනෙක් ඉන්නව. අක්කලා පහයි, අයියයි, මමයි. පවුලෙ බාලයා නිසා මට ඒ තරම් ලොකු- බරක් පැවරුණේ නැහැ. කෑම බීම, තේ වගේ දේවල් අරගෙන යන එක තමයි මම කළේ. ඒ වුණත් පුංචි කාලෙ මඩ පාගන්නවත් මම කැමති නැහැ කියල අපේ අම්මයි තාත්තයි කියනව.


මමත් එන්නෙ ගොවි පවුලකින් - සූර්යා දයාරුවන්

ඔබේ ගුරුවරයාගෙන් ආරාධනය ලැබුණාම මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?


මුලදි මමවත් දැනගෙන හිටියෙ නැහැ මට රඟපාන්න පුළුවන් කියල. නමුත් සමනල සංධ්වනියට සම්බන්ධ වුණාට පස්සෙ මට රඟපාන්න පුළුවන් කියල හොඳාකරවම මම දැක්කනෙ. ඒ ජයග්‍රහණයත් එක්ක සර් කතාකළාම මම හරිම ආසාවෙන් ඒකට සම්බන්ධ වුණේ. මෙතනදි චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා කියන දේ වටිනාකම වෙනම තියෙනව. ඒ වගේම සර්ගෙ නිර්මාණයකට සම්බන්ධවෙලා, එතුමාගේ චරිතය කරන්න ලැබෙනව කියන දේ වෙනම අභියෝගයක්. සර් ඩිරෙක්ට් කරනකොට, එතුමාගේ චරිතය මගෙන් දකින්න මම කොච්චර දෙයක් කරන්න ඕනද?. ඒක හරිම අමාරු දෙයක්.


‘ගොවි තාත්තා’ හි ඔබ රඟන ලොකු පුතාගේ චරිතය දර්ශන රුවන් දිසානායකගේ බව දැනගත්තාම දැනුණෙ බයක්ද?


ඔව්, මම දන්නවනෙ ඒ කැපෑසිටි එක. හරි අමාරු කාර්යයක්. නමුත් මට පුළුවන් උපරිම සාධාරණය කළා කියල මම හිතනව.


අවසානයේ ඔබේ ගුරුවරයා මොකද කිව්වෙ?


ඇත්තටම සර්ට හරිම සතුටුයි. මම සර්ට පවුලේ කෙනෙක් වගේ. හොඳම ගෝලයා කියන තැන ඉන්නෙත් මම. ඒ නිසා සර්ගෙ දරුවකුගෙ දක්‍ෂතා දැකල සතුටු වෙනව වගේ තමයි සර් මං දිහා බලල සතුටු වෙන්නෙ. ඒක මම එතුමාගෙ ඇස් දෙකෙන් දකිනව. කතාබහෙන්, ක්‍රියාවෙන් තේරෙනව. ඒ ආදරය මට දැනෙනව. රඟපෑම ගැන කිසිම දෙයක් දැනගෙන හිටපු නැති මම මේ වන විට චිත්‍රපට පහළොවක විතර වැඩ කරල තියෙනව. ඒක සර්ට හරි ආඩම්බරයක්. මෙතනදි එතුමාගේම චරිතය මම රඟපානකොට හරිම ආසාවෙන් බලාගෙන හිටියා.


අනෙකුත් නිර්මාණ වැඩකටයුතු කොහොමද?


පසුගිය දවස්වල ‘සාක්‍ෂි’ චිත්‍රපටයේ රූගතකිරීම් අවසන් කළා. ඉසුරු මුදලිගේ අයියගෙ ‘ආන්‍යා’ චිත්‍රපටයටත් සම්බන්ධ වෙලා ඉන්නව. එහි වැඩකටයුතු තවම පටන්ගත්තෙ නැහැ. ඒ වගේම මාර්තු මාසයේ එන ‘මෝඩ තරිඳු’ සහ ‘බුද්ධ මාතා’ යන චිත්‍රපටවල ප්‍රමෝෂන් වැඩකටයුතුවලට සහභාගි වෙනව. ඊට අමතරව චැනල්ස් කිහිපයකම නිවේදන කටයුතු වගේම මගේ මියුසික් වැඩත් කරගෙන ඉන්නව.


කොහොමද සංගීත වැඩකටයුතු?


මම බෑන්ඩ් එකත් එක්ක සම්බන්ධයක් නැහැ දැන්. ඒකෙන් ඉවත්වෙලා මාස කිහිපයක් වෙනව. නමුත් විශේෂ කොන්සර්ට් තියෙන දවස්වලට සම්බන්ධ වෙනව.


මේ වන විට අලුත් ගීත කිහිපයක්ම කරල තියෙනව සහ තවත් නිර්මාණ කිහිපයක් කරගෙන යනව.


ඔබේ ඉවත්වීමට නාලක සජී කැමති වුණාද?


නාලක අයිය කැමති වුණේ නැහැ. නමුත් මම පැහැදිලි කරද්දි ඔහු තේරුම් ගත්තා.


සූර්යාගේ කොන්සර්ට් එකක් බලන්න ලැබෙන්නෙ කවදාද?


මේ අවුරුද්දෙ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ මගේ කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඒ වෙනුවෙන් මේ දිනවල වැඩකටයුතු කරගෙන යනව. මේ ගැන මම තවම කාටවත් කියල නැහැ.


ඔබේ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වුණේ ‘මගේනෙ…’ ගීතය කිව්වොත්?


ඔව්, මේ ගීතය රිලීස් කරල දැනට අවුරුදු නවයක් වෙනව. එදාටත් වඩා හොඳ ප්‍රතිචාර අද මට ලැබෙනව. ඒ තරමටම මේ ගීතය ප්‍රේක්‍ෂකයන්ගෙ හදවතේ ගැඹුරුම තැන ළැගුම්ගෙන තියනව.


අපිට ආරංචියි කාටවත් නොකිව්වයි කිව්ව ප්‍රසංගයත් නම්කරන්න ඉන්නෙ ‘මගේනෙ..’ නමින් කියල?


කවුද කිව්වෙ…? කසුන් අයියද?. ඔව් ඔව් එහෙම හිතාගෙන ඉන්නව. අපි බලමු ඉදිරියේදී.


දර්ශන රුවන් එදා සමනල සංධ්වනියට හඳුන්වා නොදුන්නා නම් සූර්යා අද මොනවා කරයිද?


මම හිතන්නෙ නැහැ ජීවිතේටවත් මම රඟපායි කියල. මොකද එහෙම හීනයක්වත් මට තිබුණෙ නැහැ. නමුත් මියුසික් වලින් ඉදිරියට ඇවිත් තියෙයි.


සූර්යාගේ වැඩි කැමැත්ත?


පොඩි කාලෙ ඉඳන් මගේ කැමැත්ත, ආසාව තිබුණෙ මියුසික් වලට. නමුත් රංගනයට ආවට පස්සෙ මම හිතුව මියුසිකල් ඇක්ටර් කෙනෙක් වෙනව කියල. අපිට දක්‍ෂතාවක් පිහිටල තියෙනවනම් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනනෙ. ඒ නිසා රංගනයත් දැන් ජීවිතේම කොටසක් වෙලා.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post