මගේ බජට් එක තුට්ටු දෙකට දාන්න කැමති නෑ… – හර්ෂ තෙන්නකෝන්

 




ටිකක් වෙනස් විදිහේ කතාබහක් කරන්න ඕනෑ නළුවෙක්ව මතක් කර කර ඉන්න කොට, එක පාරටම හර්ෂ තෙන්නකෝන් කියන නම මතක් වුණා. මොකද, හර්ෂ කියන්නේ අහන දේට කෙළින් උත්තර දෙන, කියන්න තියෙන දේ අපිටත් කෙළින් කියන වෙනස් චරිතයක්. කාලෙකින් හර්ෂව තිරයෙන් දැකපු නැති හින්දාම මොකද වෙන්නේ කියලා බලන්නත් එක්ක හර්ෂට කෝල් එකක් ගත්තා. චැට් එකක් දාගන්න වෙලාවක් එහෙම හදාගෙන පුංචි සංවාදයක පැටලුණා. ඒ සංවාදයෙන් පාඨක ඔයාලටත් මොනවා හරි ගන්න දෙයක් ඇති කියලා හිතුන හින්දා මෙන්න මෙහෙම ඒක පෙළගැස්සුවා.


හර්ෂ කියන රංගන ශිල්පියා අධ්‍යක්ෂවරයෙක් වෙලා කියලා ආරංචියක් ලැබුණා?


ඔව්. මම වේදිකාවට ආවේ 2007 අවුරුද්දේ. දැන් අවුරුදු 18 ක් වෙනවා. පළමු වතාවට ටෙලිවිෂන් එකට නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. වේදිකාවේ නම් කරල තියෙනවා.


ඇයි මේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න හිතුවේ ?


මම ක්ෂේත්‍රයට එන්නේ නළුවෙක් වෙන්න කියලා හිතාගෙනත් නෙමෙයි. හැබැයි වේදිකාවට සම්බන්ධ වුණාට පස්සේ මට ආස හිතෙන්නේ අධ්‍යක්ෂණය. ඒකට විශේෂම හේතුව තමයි නාමල් ජයසිංහ සහ ප්‍රසන්න මහගමගේ. මොකද, මම ඒ දෙන්න යටතේ රංගනය ඉගෙන ගන්නවා වගේම ඔවුන්ගේ නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා. එතකොට අධ්‍යක්ෂණය කියන එකේ මාර ආතල් එකක් සහ මැජික් එකක් තමයි දැක්කේ. ඒකට ආසවෙලා තමයි මම වේදිකාවේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. හැබැයි ආනන්ද අබේනායක මට කතා කරනවා රඟපාන්න. පසුව එකදිගටම මට නළුවෙක් විදිහට වැඩ එන නිසා ඒකත් එක්ක මට අධ්‍යක්ෂණය කියන කෑල්ල මගහැරෙනවා. මට අවුරුද්දකට පස්සේ බ්‍රේක් එකක් හම්බවෙනවා. මේ වෙලාවේ මම ටිකක් මහන්සිවෙලා හොඳ වැඩ කරනවා කියලා ඉද්දි තමයි ඔය අධ්‍යක්ෂණය කරන්න ඕනෑ වපසරිය හැදෙන්නේ. ඒ හම්බවෙච්ච අවස්ථාවේ මම ඒක පාවිච්චි කරනවා. එතකොට තමයි මේ වෙලාවේ අධ්‍යක්ෂණයට එන්නේ.


මගේ බජට් එක තුට්ටු දෙකට දාන්න කැමති නෑ… - හර්ෂ තෙන්නකෝන්

මෙහි පිටපත නිර්මාණය වුණේ කොහොමද?


ඇත්තටම, අමිල උක්වත්තගේ නේත්‍රාදේවි කියන පළමුවැනි ග්‍රන්ථයෙන් තමයි අපි මේ පිටපත නිර්මාණය කරන්නේ. තිර රචනයත් අමිලම තමයි. මේක ඇත්තටම බේබදු ගැහැනියකගේ ජීවිත කතාවක්. මේකෙදි අපි පොත සෑහෙන වෙනස් කළා. ටෙලිවිෂන් එකට කැමරාවට ගැළපෙන විදිහට අපි වැඩේ ගෙනාවා.


නිෂ්පාදකවරයෙක් හොයගන්නවා කියන්නෙත් ලේසි නැහැ නේද?


මම කොහොමටත් ගොඩක් කට්ටිය පස්සෙ ගිහිල්ලා ගොඩක් දේවල් ඉල්ලන කෙනෙක් නෙමෙයි. අමිලට තමයි එහි වටිනාකම දෙන්න ඕනෑ. අමිල තමයි සම්බන්ධීකරණ වැඩකටයුතු ටික සිදුකරන්නේ. අපිට නිෂ්පාදකවරු කිහිපදෙනකුම ආවා. අන්තිමේ අපිට හරිම කෙනා වන, චමිංග හඳපාන්ගොඩ සමග එහි නිෂ්පාදක කටයුතු ආරම්භ කළා. අපි හොඳ අවබෝධයක් ඇතිව තමයි මේ වැඩේ පටන්ගත්තේ.


මගේ බජට් එක තුට්ටු දෙකට දාන්න කැමති නෑ… - හර්ෂ තෙන්නකෝන්

රංගන වැඩකටයුතු එහෙම කොහොමද?


මම ටිකක් අඩුවෙන් රඟපාන්නේ. ඒකට හේතුව වැඩ නැතිව නෙමෙයි. වැඩ ගොඩක් එනවා. ආපහු ලංකාවට ආපු කාලයේ ඉඳලම වැඩ ආවා. නමුත් මම එක දිගට වැඩකරන්න බැහැ. මම ඒකට ආස නැහැ. ඒකට හේතුව මට අගමුල තේරෙන්නේ නැති තැනක වැඩකරන්න බැහැ. සමහර වැඩ මට මිස් වෙන්නේ මගේ බජට් එක නිසා. නමුත් මම මගේ බජට් එක තුට්ටුදෙකට දාන්න කැමැති නෑ. දාන්නෙත් නෑ. මොකද මම බජට් එක කියන්නේ මගේ අවුරුදු ගාණක මහන්සිය එක්ක සහ ඉගෙන ගත්තු දේවල් එක්ක, ඒක මහ විශාල ගාණක් නොවුණත් ඒක මට වටිනා ගාණ. ඒක මට හම්බවෙන්නේ නැති තැන මම වැඩකරන්නේ නෑ.


මගේ බජට් එක තුට්ටු දෙකට දාන්න කැමති නෑ… - හර්ෂ තෙන්නකෝන්

වැඩ සීමා කරන එක අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?


මෙච්චර කල් මම සීමාවක් ඇතුළේ වැඩ කළත් මට හැමදාම වැඩ ආවනේ. දැන් කට්ටිය හිතනවානේ ඩිරෙක්ටර්ලාට ගැහැනු දුන්නේ නැති වුණහම නිෂ්පාදකවරුන්ට බොන්න දුන්නේ නැති වුණහම වැඩ එන්නේ නැහැ කියලා. එකඑක්කෙනාගේ ඕපාදූප කිව්වේ නැති වුණහමත් වැඩ එන්නේ නැහැ කියලත් හිතනවානේ. එහෙම එකක් නැහැනේ. දැන් අපිට වැඩ තියෙන්නේ.


හර්ෂ කැමැති වැඩේ වැඩක් විදිහට කරන්න ද?


ඔව්. මම කියන්නේ හැම වැඩක්ම වෘත්තියක් විදිහට කරන්න ඕනෑ කියලයි. ඇත්තටම මේක වෘත්තියක් නොවන තැන තමයි මේ ප්‍රශ්නය එන්නේ. මොකද මේකෙන් ගොඩක්දෙනෙක් යැපෙනවානේ.


හැබැයි විනෝදයට රඟපනවා කියන අයත් ඉන්නවානේ ?


පැහැදිලිවම. මම ඒගොල්ලන්ට ඇටෑක් කරනවා. කවුරුහරි විනෝදයට ඩොක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ගුරුවරයෙක් වෙනවා දැකලා තියෙනවා ද?. වෘත්තීයමය තත්ත්වයක් යටතේ කරන්නත් බැහැනේ. කරන්න දෙයක් නැති වුණහම අපේ රටේ දේශපාලනය කරන එකයි රඟපාන එකයිනේ කරන්න වෙලා තියෙන්නේ. අන්තිම විසඳුම විදිහට තමයි ඒ දෙක තියාගෙන ඉන්නේ. එතකොට ඒ ආපු ගමනේ ප්‍රතිඵල තමයි අපි මේ වෙනකොට විඳිමින් ඉන්නේ. මම මේක කරන්නෙ විනෝදෙට නෙමෙයි. මේක ජොබ් එකක්. මම හින්දා කිහිපදෙනෙක් ජීවත්වෙනවා. කලාකාරයෝ මැරෙන්නේ හිඟන්නෝ වගේ කියලා කතාවකුත් තියෙනවානේ. කලාකාරයෝ කියන මිනිස්සු පාවිච්චි කරනවා සල්ලි තියෙන මිනිස්සු, ඔවුන්ගේ කරන්න තියෙන හැම වැඩක්ම අරගෙන ව්‍යාපාරිකයො සල්ලිකාරයො වෙනවා. ඒක තමයි හැම තිස්සෙම සිද්ධ වුණේ. එහෙම හැමදාම වෙන්න දෙන්න ඕනෑ නෑ.


නළු නිළියෝ දේශපාලනයට ඒම ඔබ මොන විදිහට ද දකින්නේ ?


මම නළු නිළියන්ට මොකුත් කියෙන්නේ නැහැ. මොකද ඒක ඒගොල්ලන්ගේ ජීවිත. ඒක ඔවුන්නේ තීරණය කරන්න ඕනෑ. මට තියෙන හීනය නෙවෙයිනේ තව කෙනකුට තියෙන්නේ. සමහර අය ආසයි සිවිල් බලය හදාගන්න. තවත් සමහර අය ආසයි දේශපාලනික බලය හදාගන්න. අවංකවම දේශපාලනය තෝරාගත්ත කලාකාරයො මම දැකල තියෙනවා. මගේ සහෝදර නළු නිළියො රට ගැන හිතල දේශපාලනය කරන්න බැහැපු අවස්ථා තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. මම ඉස්සර ඉඳන් ඉන්නේ දේශපාලන පක්ෂයකට වැඩ කරන්නේ නැහැ කියන තැනයි. ඒක වෙනස් වෙන්නෙත් නෑ. මම හිතන්නේ කලාව තියෙන්නේ දේශපාලනයට උඩින් කියන එක.


ලංකාව දාල ගිහිල්ලා ආවට පස්සෙ ඔබව පිළිගත්තේ මොනවිදිහට ද?


ඇත්තටම මම ලංකාව දාල ගියා කියලා ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ. අරගලයේ එක කෙළවරකදී මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුන වෙලාවේදී යන්න තීරණය කළා. ඊට පස්සෙ යම්කිසි හේතූන් කිහිපයක් උඩ ආපහු මට එන්න සිද්ධ වුණා. ඒ වෙනකොටත් මගේ නාට්‍යයක් දිගින් දිගටම සති අන්තියේ විකාශය වෙමින් තිබුණා. එතකොට මාව හැම තිස්සේම පෙනුණා.


ඊට අමතරව මම ලංකාවට එනවා කියලා එයාර්පෝර්ට් එකෙන් අප්ඩේට් එකක් දුන්නහම මට අශෝක ද අතාවුදහෙට්ටි කතා කරලා ආරාධනාවක් කළා චිත්‍රපටයක රඟපාන්න. ඊට පස්සේ ලංකාවට ආපු දෙවැනි සතියේ අශෝක අයියාගේ ෆිල්ම් එකේ වැඩ කළා.


ටෙලිනාට්‍යවලටත් ආරාධනා ලැබුණා ද?


ඔව්. ඔව්. ආරාධනා ලැබුණා. විකාශය වන ටෙලිනාට්‍ය තුන හතරකටම ආරාධනා ලැබුණා. නමුත් මම ෆිල්ම් එක විතරයි කළේ. ඊට පස්සේ තව නාට්‍ය තුනක් විතර රූගත කිරීම් සිදුකළා. මම ගොඩක් වැඩ කළේ නැහැ. මට සාමාන්‍යයෙන් මාසෙකට ආරාධනා දෙකක් විතර එනවා. මම මේ වෙලාවේ දිගු නාට්‍ය කරන තැනක නෑ. ඇත්තටම මට මේ වෙලාවේ වැඩක් වෙනුවෙන් හැර සල්ලි වෙනුවෙන් වැඩකරන්න ලොකු මානසිකත්වයක් නැහැ. මට තියෙන්නේ චූටි වපසරියක්. ඒ චූටි වපසරිය ගතකරන්න සල්ලි චූට්ටක් ඇති. හැබැයි මම ඒකෙ වටිනාකම ගන්නවා.


හර්ෂ තෙන්නකෝන්ට ලොකු හීන නැහැ. එහෙම ද?


ලොකු හීන නැහැ. ඇතිවෙන්න රඟපාලා තියෙනවා. රඟපාන එක ඉස්සරහටත් නවත්වන්නේ නැහැ. දැන් මේ ආපු කාලය ඇතුළත මාසෙකට එක වැඩක් හරි කරනවා.


සෝෂල් මීඩියා මේන්ටේන් කරන්න, මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න ඕනෑ කියන හීනයවත් නැතිද?


මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා හැමෝම දන්න චරිතයක්. මට ඉතිං ඕක සම්බන්ධයෙන් මහ ලොකු මැජික් එකක් තිබ්බේ නැහැ. මට පොඩි කාලේ ඇරියස් තිබ්බේ නැහැ. එතකොට මම මේ ආපු ගමනෙදි ලැබුණ දේවල් මහ ලොකු මැජික් එකක් විදිහට භාර ගත්තෙත් නැහැ. ඒ නිසා අදටත් මට තියෙන්නේ හැංගිච්ච ජීවිතයක්. මම හැංගිච්ච ජීවිතයට කැමැතියි. ඒක ඇතුළේ මට යාළුවො බරසාර ප්‍රමාණයක් ඉන්නවා. ක්ෂේත්‍රයේ සාදවල ගොඩක් තැන්වල මම නැහැ. හැබැයි මට අන්ඩර්ග්‍රවුන්ඩ් ජීවිතයක් තියෙනවා. ඒකෙ මට ගොඩක් යාළුවො ඉන්නවා.


ලංකාවේ සම්මාන උළෙලවලදී අපි ඔබව දකින්නේ නැහැනේ ?


මට කතා කරනවා අඩුයි. මුල් කාලවලදී මට කතා කළා. ඊට පස්සෙ මම ගියේ නැති නිසා හෝ මට යන්න බැරි වුණ හින්දා මට ආපහු කවදාවත් කතා කරලා නැහැ.


සම්මාන උළෙලවලට විරුද්ධත්වයක් එහෙම ප්‍රකාශ කරනවා ද?


මම සම්මානයකට නිර්දේශ වුණා කියලා ගාණකුත් නැහැ. හම්බනොවුණා කියලා එච්චර ගාණකුත් නැහැ. එච්චරයි.


ඔබව ඇගයීමට ලක්වුණ අවස්ථා තියෙනවාද?


එහෙමත් නැහැ. වේදිකාවේදී මට ඒක වෙලා තියෙනවා. නමුත් ටෙලිවිෂන් එකේදී මගේ පළමුවැනි වැඩෙන්ම මාව නොමිනේට් වුණා. මම ඒකට ගියෙත් නැහැ. එතැනින් පස්සෙ ආයෙ කවදාවත් මට කතා කළෙත් නැහැ. ඒක ගැන මට ප්‍රශ්නයකුත් නැහැ.


ලංකාවේ සම්මාන උළෙල ගැන ඔබ ඉන්නේ මොන වගේ මතයක ද?


ඕක දැන් මම සම්මාන උළෙලවලට යන්නේ නැති හින්දා කිව්වහම සම්මාන හම්බවුණ උන්ට අවුල් යනවානේ. උනුත් දන්නවා අපිත් දන්නවා, මගේ පොයින්ට් එක තමයි, සම්මාන උළෙලවල තියෙන ප්‍රහර්ෂය පහුවෙනිදා උදේට සෙට් එකේ තියෙන්න ඕනැ කියන එක. කාගෙන් හරි ඇඳුමක් ඉල්ලගෙන හරි, රෙන්ට් එකට හරි කැබ් එකක් දාගෙන සම්මාන උළෙලට ගිහිල්ලා සම්මානෙ උස්සලා රෑට එතැනින්ම මොනවා හරි කාල බීලා ඇවිල්ලා පහුවෙනිදා උදේ පාන්දර හතරට ආපහු අපි ෂූටින්නේ. පහුවෙනිදා උදේට ආපහු අපි සම්බෝලයි, හාල්මැස්සොයි බතුයිනේ කන්නේ. පහුවෙනිදා උදේට ඒ සම්මානය ගත්තු නළුවා හෝ නිළිය නැහැනේ. මම කියන්නේ ඒ උත්කර්ෂය ආතල් එක ක්ෂේත්‍රය ඇතුළෙත් ප්‍රායෝගිකව තියෙන්න ඕනෑ කියලයි. එදාට හැමෝටම සම්මාන හම්බවුණා වගේ තමයි. කියන බයිලා නෙමෙයිනේ ඇත්තටම වෙන්නේ.


ලංකාවේ මුහුරත් උළෙලකට යන්නකෝ. උන් කරන්නේ ලංකාවේ හොඳම ටෙලියනේ. අපි ලංකාවේ සිනමාව, ටෙලිනාට්‍ය වෙනස් කරනවා කියලා ආපහු පහුවෙනිදා උදේට කරන්නෙත් අර පරණ මඟුලමනේ. මම එහෙම කිව්වා කියලා මටත් මහ ලොකු මැජික් එකක් කරන්න බැහැ, මේ හම්බවෙන බජට් ඇතුළේ. මම කියන්නේ අඩුම තරමේ එහෙම නොකියා ඉන්න ඕනෑ කියලයි. අනික මම කියන්නේ නැහැ මගේ නාට්‍ය හොඳම නාට්‍ය වෙනවා කියලත්. මට හම්බවුණ දේවල් ඇතුළේ මම ඒ වැඩේ කළා. මම යන රූට් එකක් තියෙනවා. ඒකෙ මම හිමින් හිමින් යනවා. එච්චරයි.


යන පාර වෙනස් කරන්නෙත් නැහැ?


මට එහෙම වෙනස් කරන්න කියලා දෙයකුත් නැහැ. මම හැමතිස්සේම හැමතැනටම ගිහිල්ලා බලලා එන මනුස්සයෙක්.


හර්ෂ තෙන්නකෝන් කියන චරිතය දිහා ඔබ එළියේ සිට බැලුවොත් ?


මටත් ඒක හරියටම තේරෙන්නේ නැහැ. මට මාව නඩත්තු කරගන්න බැහැ. ඒක තමයි ඇත්ත. එතකොට මම මාව හදන්න විදිහක් උත්සාහ කරන්නෙත් නැහැ. එතකොට මම හිතන්නේම ජීවියෙක් විදිහට මම මෙහෙ පවතිනවා කියලා විතරයි.


දිනේෂ් විතාන



Previous Post Next Post