මට ඕන වුණේ මගේ ජීවිතේ ලස්සනම දවසෙ ලස්සනටම ඉන්න-පූජනි

 


යුවතියකගේ ජීවිතේ සුන්දරම දිනය මනාලියක වී පතිකුලයට යන දවස බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය ඕනෑම යුවතියකගේ සිහිනයයි. ජනප්‍රිය රංගන ශිල්පිනී පූජනී භාග්‍යා ද නෑ හිත මිතුරන්ගේ ආසිරි මැද පසුගියදා පතිකුලයට පිවිසියාය. ආදරණීය සැමියා ගයාන් ගුණවර්ධනගේ සුරතේ වෙළී පියනඟන ඇගේ සොඳුරු රුව සමාජ මාධ්‍යවල සංසරණය වූවේ ද බොහෝ ප්‍රතිචාර ද සමඟිනි. තම දිවියේ සොඳුරුතම මොහොත අමතක නොවන සිහිවටනයක් බවට පත්කරගන්නට ඈ වසර කිහිපයක සිට වෙහෙස වූවාය. ස්වාභාවික රුවට කවදත් පෙම්බැඳි ඇය මනාලියක වී සිටියේ ද ඉතාම සරල අයුරිනි. දකින අයගේ නෙතට රසඳුනක් වන්නට ඇයට හැකිවූවේ ද ඒ චාම් බව නිසාය. මෙතෙක් තම සුරතේ වෙළුණු ආදරණීය පෙම්වතිය බිරිය වන මොහොතේ ගයාන් ද තම සිත මුසපත් කළ සොඳුරු හැඟුම් ඈ නමින් ගීයක තවරා පුද කළේය.


‘වරල ගස්සනා

බැල්ම ලස්සනා

කොඳුරයි කතා

නිතඹ පද්දනා

ගමන නර්තනා

පූජනියේ මා……


මටම ගැළපෙනා

දිවිය සරසනා

උතුරයි නුරා

පබළු මුතුසිනා

සිතට සුවදෙනා

රූ නාරි මා…..‘


තිළිණයක් සේ ඈ වෙත පිදුණු පූජනියේ ගීතය මේ වන විටත් ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳගෙන ඇතැයි පවසමින් පූජනී අප හා කතාබහට එක්වූවාය.


පූජනී – ගයාන් විවාහය වෙනතුරු බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. ඒ අයට පූජනී ලස්සන පිළිතුරක් දුන්නා කිව්වත් හරි නේද ?


“හැමදාම කවුරුම හරි අපෙන් අහපු ප්‍රශ්නය වුණේ බඳින්නෙ නැද්ද? කියන එක. කවුරුත් අහපු, කවුරුත් බලාගෙන හිටපු ඒ උත්තරය හිතුවටත් වඩා ලස්සනට දෙන්න පහුගිය දවසක අපට හැකි වුණා. අපි දෙන්නගෙම කැමැත්තට හරිම චාම් විදිහට අපි අපේ විවාහ උත්සවය ගත්තා. පළවෙනි දවසේ දෙපැත්තේ නෑ හිතමිතුන් විතරක් සහභාගි කරවගෙන මං ආසම විදිහට පෝරුව චාරිත්‍ර විතරක් කළා. ඒ පානදුර බාන් හවුස් හෝටලයේදී. මං කැමැති විදිහට හරිම චාම් අයුරින් මාව හැඩ කළේ මලිත් හෙට්ටිවත්ත. මගේ ඇඳුම නිර්මාණය කළේ චමිල් උදයංග. ගයාන් හැඩ කළේ සැලෝන් ප්‍රභූ. ළා දම් පැහැයෙන් රෝස සහ සුදු මුසුකරමින් හරිම ලස්සන ප්ලවර් ඇරේන්ජ්මන්ට් එකක් කරල දුන්නේ බුද්ධික ඉඩම්ගෙදර අයියා. දෙවැනි මනාලියන් විදිහට සැරසිලා එදා දවසට තවත් ලස්සනක් එක් කළේ කස්තුරි ජයවර්ධන, රොෂෙල් රොජර්, ප්‍රවීණා දිසානායක සහ සසින්දි නිම්හාරා. ගයාන්ගේ මිතුරන් වුණේ සංගීත් ප්‍රභූ, යෂ් වීරසිංහ, සංජය මුරමුදලි සහ විරාජ් ධනූෂ. දෙවැනි දවසේ අගති දෙව්මිත් අපට එකතු වුණා. ජීවිතේ සුන්දරම දවස ලස්සනම සිහිවටනයක් බවට පත්කළේ ධනුෂ්ක සේනාධීර අයියා. ඒ සුන්දරත්වය යළි යළිත් විඳින්නට අවස්ථාව ලබාදුන්නේ ශෂික අබේවික්‍රම. ඇත්තටම මට ඕන වුණේ සරලම උත්සවයක් ගන්න. ඒක අපි හිතුවටත් වඩා ලස්සන වුණා විතරක් නෙවෙයි නොහිතුව විදිහට සමාජ මාධ්‍යවල වයිරල් වෙන්නත් පටන් ගත්තා.


ලෙහෙන්ගා ඇඳුමින් සැරසුණු ඔබේ රුවටත් මේ දිනවල ප්‍රතිචාර ලැබෙනවා වැඩියි?


ඔව් . ඒ ෂූට් එක හරිම ලස්සනට කළා. ලොකු කැපවීමක් කරලා මගේ ලෙහෙන්ගා එක ඩිසයින් කළේ දිනිසි පෙරේරා. ගයාන් හැඩ කළේ අශෝක් පැෂන්. මෙහෙන්දි ඇඳලා මාව තවත් ලස්සන කළේ නුෂ්රාක්. සියලු මල් සැරසිලිවලට ඉන්දියානූ හැඩයක් අරන් දුන්නේ පැරඩයිස් ෆ්ලෝරාහි මිහිරි අක්කා. ඩෝල ගහලා ඒ අවස්ථාවට ඉන්දියානු හැඩයක් එක් කළේ ආශීර්වාද වෙඩින් ආයතනය. ඒ අවස්ථාවත් නොමැකෙන සිහිවටනයක් බවට පත්කළේ ධනුෂ්ක සේනාධීර සහ ශෂික අබේවික්‍රම දෙපළ.




පූජනීගේ ෆී ෂූට් එකත් සුවිශේෂී අත්දැකීමක් වුණා නේද?


ඔව්… එදා විශේෂත්වය වුණේ ගයාන් අයියා මං වෙනුවෙන් පූජනියේ කියලා ගීතයක් කළා. ඒක ශෙහාන් ගලහිටියාවගේ පද රචනයක්. ලස්සනට මෙලඩියක් දාල දුන්නේ අශාන් ප්‍රනාන්දු. සංගීතවත් කරමින් ගායනා කළේ ගයාන්. ඒක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉහළටම ආවා. තාමත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තියෙනවා. අපේ ෆී ෂූටි එක විදිහට කෙරුණේ ඒක. ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදුන්නේ සංදේශ් බණ්ඩාර ඇතුළු කණ්ඩායම. දැන් මං වෙනුවෙන් ට්‍රෙන්ඩින් වුණු සින්දුවක් තියෙනවා කියලා දැනෙද්දි ලොකු සතුටක් දැනෙනවා.


කලා තරු රැසක් පෑයූ දෙවැනි දවසේ සුන්දරවය ගැනත් සිහිපත් කරමු?


ඇත්තටම අපි හෝම් කමින් එකක් සූදානම් කළේම අපේ අනුග්‍රාහක භවතුන් වෙනුවෙන්මයි. මේ කාලය පුරා අපට උදවු කළ ලොකු පිරිසක් හිටියා. ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්නත් මං මේක අවස්ථාවක් කර ගන්නවා. දෙවැනි දවසේත් චාම් උත්සවයක් සංවිධානය වුණේ බොල්ගොඩ පැරඩයිස් ඉන් එකේ. එළිමහන් රාත්‍රී සාදයක් විදිහට පැවැත්වුණු එය හැමෝ අතරම කතාබහට ලක්වෙන සුන්දර මොහොතක් කරල දුන්නේ මිහිරි අක්කා. අපේ කණ්ඩායමම එදා දවසේ හැඩ කළේ ඩීස් සැලෝන්හි දිනුක්ෂි නාරංගොඩ. ‍ඩ්‍රෙස් එක කළේ ජිනාලි. වෙඩින් කේක් නිර්මාණය විජිත අයියා. අමල්ෂාත් ලොකු සහායක් දුන්නා.


රෝඩ්ස් සංගීත කණ්ඩායමෙන් ලැබුණු විශේෂ තෑග්ග ගැනත් කියමු?


අපේ විවාහ උත්සවය සංගීතයෙන් ඔපවත් කළේ ගයාන්ගේ රෝඩ්ස් සංගීත කණ්ඩායම. එදා ගයාන් වෙනුවෙනුත් ගීතයක් එළිදැක් වුණා. අපේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් එකතු වෙලා ගයාන් වෙනුවෙන් ‘ලොක්කා බැඳලා ‘කියලා ගීතයක් නිර්මාණය කරල තිබුණා. කීබෝඩ් වාදක ශම්මික ගීෂාන්, ලීඩ් ගිටාර් වාදක මනුජ ප්‍රනාන්දු, ඩ්‍රම්ස් වාදක සෙව්නෙත් දේවාෂ්, බේස් ගිටාර් වාදක නෙහම් ශෙහාර එකතු වෙලා ඔවුන්ම ගීතය ලියලා, මෙලඩිය දාලා, සංගීතය මුසු කරලා ඔවුන්ම ගයමින් වීඩියෝ කරලා හරිම ලස්සන නිර්මාණයක් කරල තිබුණා. ඒක අපිටත් හොරෙන් හදිසියේම කළ එකක් වුණත් ලස්සනට කරලා තිබුණා. ඒකත් මේ දවස්වල ජනප්‍රියයි. එය නැවත රූගත කරලා රෝඩ්ස් සංගීත කණ්ඩායමේ ගීතයක් විදිහට ඉදිරියේදී රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී විවාහ උත්සවවල ඒ ගීතයත් ඇහේවි. කලා තරු රැසක් එදා රෝඩ්ස් සංගීතයට ගීතවත් වීමෙන් මංගල උත්සවය තවත් රසවත් වුණා.


ඉතාම කාර්යබහුල දිනයක් වුණත් හරිම නිදහසේ අපිට අපේ කටයුතු ලස්සනට කර ගන්න විකුම් ජයරත්න අයියගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්. ඔහු තමයි මේ හැමදේම හරිම ලස්සනට ප්ලෑන් කළේ. ඒ වගේම දෙවැනි මනාලියක් වගේම මගේ හොඳම යෙහෙළිය විදිහට හැමදේටම උදවු කළේ කස්තුරි ජයවර්ධන. අපේ පවුල් දෙකෙන්ම ලැබුණු සහයෝගයත් අගය කළ යුතුයි. දෙපැත්තෙ මවුපියන් කරල දෙනකන් බලන් ඉඳලා තවදුරටත් සාම්ප්‍රදායික යුවළක් වෙන්න අපට ඕන වුණේ නෑ. ගයාන්ගේ අම්මා, අක්කා වගේම අපේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නාත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. අපි එයාලට සම්පූර්ණයෙන්ම නිදහසේ උත්සවයට සහභාගි වෙන්න ඉඩ දීලා අපි හැමදේම ඇරේන්ජ් කරගත්තා. අවශ්‍ය පොඩි පොඩි උපදෙස් විතරක් ගත්තා. ගයාන් මූල්‍යමය පැත්ත හරි ලස්සනට හැන්ඩ්ල් කළා. මං ක්‍රියේටිව් පාර්ට් එක කළා. අපි දෙන්නා කතාබහ කරලා වැඩ බෙදාගෙන හරිම ලස්සනට වැඩේ කර ගත්තා. පහුගිය දවස්වල අපේ ෆොටෝ ෂූට් ගැන වුණත් වැරදියට තේරුම් ගත්ත අය හිටියා. හිත් රිදවීම් අනන්තවත් වුණා. ඒ හැමදේටම හරිම ලස්සනට උත්තරයක් දෙන්න අපිට පුළුවන් වුණා.


නිතර නිතර මනාලියකගේ රුවින් හැඩවන පූජනී පහුගිය කාලයේ මනාලියකගේ රුවින් දැක්කෙම නැති තරම්?


ඔව්. මං ගොඩක් අවස්ථාවල බ්‍රයිඩ්ල් ෂූට් කරල තියෙනවා. ඒත් මගේ වෙඩින් එක ප්ලෑන් කළාට පස්සේ මං සම්පූර්ණයෙන්ම බ්‍රයිඩ්ල් ෂූට්වලින් ඈත් වුණා. දැන් අවුරුදු එකහමාරක් දෙකක් වගේ ඉඳන්ම මං බ්‍රයිඩ්ල් ඇන්දෙ නෑ. මට ඕන වුණේ මගේ ජීවිතේ ලස්සනම දවස ලස්සනටම කර ගන්න. ටිකක් නිදහසේ ඉඳගෙන ඒ සඳහා සූදානම් වෙන්න. ඒ නිසාම ආයාචනා ටෙලි නිර්මාණයෙන් පස්සේ මං ටෙලි නිර්මාණ භාර ගත්තෙත් නෑ. මං සොයන්නේ ප්‍රේමයක් සිනමාපටයට විතරයි දායක වුණේ. ඒ චරිතයෙන් මට සිනමා ප්‍රේක්ෂකයින් අතරට යන්න පුළුවන් වේවි කියලා හිතනවා. තව නොබෝ දිනකින් තිරගත වේවි. ගොඩක් අය අපේ විවාහ උත්සවයේ ඡායාරූප වීඩියෝ දර්ශන දැකලා ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා. සමහර තරුණියන් මාත් ඔය විදිහට කරන්න කැමැතියි කියලා දාල තිබුණා. අපි සරල විදිහට කළ දෙය තවත් කෙනෙක් ආදර්ශයට ගත්තා කියන්නෙම අපිට ලොකු සතුටක්.


ගයාන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් සඳහන් කරමු?


ඇත්තම කිවුවොත් මනමාලියක් වෙන්න ඉද්දි කරන්න තියෙන වැඩ කොටස වැඩියි. ඒ අතරේ කේන්ති යනව කියන එකත් සාමාන්‍ය දෙයක්. ගයාන් ඒ හැමවෙලාවකම මං ළඟ ඉඳන් මාව ලස්සනට හැන්ඩ්ල් කළා. මගේ හැම ප්‍රශ්නෙකටම එයා ළඟ උත්තර තිබුණා. හැමදේම සංවිධානය කළේ ඔහු. මගේ ඔළුවෙ තියෙන ක්‍රියේටිව් පැත්තෙන් මං එයාට උදවු කළා. එයත් උපරිමයෙන් මට සහයෝගය දුන්නා. මංගල උත්සවයක් ළංවෙද්දි ඕනම කෙනෙකුට මානසික පීඩනය එනවා. ඒත් ඒ කාලේ සුන්දරම විදිහට ගත කරන්න ඔහුගෙන් ලැබුණු සහාය හරිම ඉහළයි. මං හිතන්නේ අපේ බැඳීම වෙනදටත් වඩා වැඩි වුණා කිව්වොත් හරි. අපිට තිබුණු එකම අඩුපාඩුව වුණේ ගයාන් අයියගේ තාත්තා නැති වුණු එක. ගයාන් අයියා තාත්තා එක්ක ලොකු බැඳීමක් තිබුණා. පෝරුවේදී ඔහු සංවේදී වෙන්න හේතුවත් ඒක.


පෙම්වතියට වඩා බිරියගේ වගකීම වැඩියි. ඉදිරියේදී පූජනී භාග්‍යා කියන රංගන ශිල්පිනියට තහංචි වැටෙයිද?


කොහෙත්ම නෑ. ගයාන්ගෙන් මට කිසිම බලපෑමක් නෑ. ඔහු නිතරම ඉලක්ක කරන්නේ මගේ රංගනය පැත්ත. එයා ආසයි තව තවත් ඉදිරියට මං ක්ෂේත්‍රයේ වැඩ කරනවා දකින්න. අපි දෙන්නා එදා ඉඳන්ම හරිම විනෝදෙන් ගත කරන දෙන්නෙක්. ඒ නිසා පෙම්වතිය බිරිය වුණා කියලා ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. කොහොමත් මං පාඩුවේ බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්. වෙනද වගේම ඉදිරියේදීත් රංගනයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන්න බලාපොරොත්තු වෙනවා.


 



Previous Post Next Post