පක්ෂග්‍රාහී නොවී රඟපාන එකයි වැදගත්-බිමල් ජයකොඩි

 



කලාවට ඇති හැකියාව ලේ උරුමයෙන්ම රැගෙන ආ ඔහු, ශ්‍රී ලාංකේය කලාව තුළ නිරන්තරයෙන් කියැවෙන නැතුවම බැරි චරිතයකි. රංගනයෙන් ඔබ්බට ගායනය විෂයෙහිද සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කරන ඔහු, තම දශක ගණනක රංගන ජීවිතය පුරාවට අහිංසක පෙම්වතාගේ සිට අනුක්‍රමික ඝාතකයෙක් දක්වා වූ පුළුල් පරාසයක විහිදෙන  රංගනයන් රාශියක් කරමින් සම්මානයට පාත්‍ර වී තිබේ. මේ දිනවල අති සාර්ථකව තිරගත වන රාණි හි සුවිශේෂී භූමිකාවකට පණ පොවන ඔහු නමින් බිමල් ජයකොඩිය.


රාණි චිත්‍රපටයේ ඔබේ භූමිකාව ගැන කියලම කතාව ආරම්භ කරමු?


දැනටමත් බොහෝ දෙනා දන්නවා රාණි චිත්‍රපටයේ මගේ භූමිකාව ගැන. එවකට ලංකාවේ හිටපු ශූර විපක්ෂ දේශපාලනඥයෙක් වුණු මහින්ද රාජපක්ෂ මහතාගේ එම කාලයට අදාළ භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ. මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු එකක් නිසා පෞද්ගලිකව අපි කැමැති දේශපාලන මතිමතාන්තරවලින් එහාට ගිහින් ඔවුන්ගේ ඒ ඒ කාලවලට අදාළ භූමිකාවන් තමයි අපි නිරූපණය කරන්නේ. එතැනදී අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වුණු  සහ පිටපත මඟින් ගොඩනඟා තිබුණු චරිත ස්වභාවයන් අධ්‍යක්ෂවරයාගේ ඉතා ශූර මෙහෙයවීම යටතේ රඟදක්වන්න පුළුවන් වුණා.


ඒ චරිතය ඔබට අභියෝගයක් වෙන්නට ඇති?


ඇත්තටම මම පළමු වතාවට තමයි සත්‍ය පුද්ගලයෙක්ගේ ජීවිතය ඇසුරින් නිර්මාණය වුණු චරිතයකට දායක වෙන්නේ. ඉතින් ඒ නිසාම මෙය වඩා පරිස්සමින් කළ යුතුයි කියන වගකීම දැනුණා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසය කතා කරද්දි සුවිශේෂී ස්ථානයක් වෙන්වන චරිතයක්. බොහෝ දෙනෙක් මෙහි දිගහැරුම සොයන්නේ අද ඔහුගේ තිබෙන දේශපාලන භූමිකාව ඇසුරෙන්. එතැනදී අද ඔහුගේ තිබෙන භූමිකාවද එදා තිබුණේ, එදා තිබුණු ඒ ලක්ෂණද අද තිබෙන්නේ කියන ගැටලුව මතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙය බොහොම සංයමයෙන් සහ සීරුවෙන් කළ යුතු කාරණයක් කියලා වැටහුණා. අද තිබෙන ඕනෑ එපාකම් මත එම චරිතය නිරූපණය කරන්න බැහැ. එතැනදි එදා ඔහුට තිබුණු දැක්ම ගැන අවබෝධයක් ලබා ගතයුතු වුණා. මෙහිදී ඒ භාරදූර කාර්ය වෙනුවෙන් අධ්‍යක්ෂවරයාට පැසසුම් හිමි විය යුතුයි. මීට වසර සිය ගණනකට පෙර සිටි කෙනෙක් ඇසුරින් නිර්මාණයක් කරද්දි අපිට ප්‍රේක්ෂකයන්ගේ මතය   තැනකට ගෙන ඒම පහසුයි. නමුත් මෙතැනදී ජීවත්ව සිටින අයගේ චරිතය නිරූපණය කරද්දී  ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය ගැන අපි පරිස්සම් වුණා, සැලකිලිමත් වුණා. මම හිතනවා ලංකාවේ නිර්මාණකරුවන්ටත් ඒ වෙනස දැනෙයි කියලා.


රාණි රූගතකිරීම්වලට පෙර  මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සාහ කළේ නැද්ද?


නැහැ. එහෙම පෞද්ගලිකව හමුවුණේ නැහැ. ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියට ඩොක්ටර් සරවනමුත්තු සමඟ සමීප හිතවත්කමක් තිබිලා තිබෙනවා. ඇය ඒ බව කිහිප වතාවක්ම ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කරලා තිබෙනවා. නමුත් මම ඇතුළු අනෙක් රංගන ශිල්පීන් එහෙම පෞද්ගලිකව ඒ චරිත හමුවී නැහැ. මෙතැනදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෑ රාණිහි කලා අධ්‍යක්ෂ බිමල් දුශ්මන්තට. ඔහු තමයි අපිට ඒ ඒ චරිතවල ඒ කාලයේ වීඩියෝ, ඔවුන් කතා කරපු දේවල්, දේශපාලනික වශයෙන් ඔවුන් හිටපු ස්ථානය, ඔවුන්ගේ පෙනුම වගේ සියලු දේවල් ගැන අවබෝධයක් ලබා දුන්නේ. අපි ඒ දේවල් ගැන විශේෂ අධ්‍යයනයක් සිදු කළා.එතැනදි අපි වැඩිම අවධානයක් යොමු කළේ පක්ෂග්‍රාහී නොවී රංගනයේ යෙදෙන්නේ කොහොමද කියන දේ ගැන. ඔවුන්ව සියයට සියයක් අනුකරණය කරනවා වෙනුවට ඒ මොහොතේ ඔවුන්ගේ දැක්ම, ඔවුන්ගේ දේශපාලන අරමුණ මොකක් වෙන්න ඇතිද  කියන එක හොයාගන්න තමයි අපි උත්සාහ කළේ.


ඔබ දායක වුණු මන්දාරා චිත්‍රපටයත් බොහොම සාර්ථකව තිරගත වුණා?


පසුගිය අර්බුදකාරී වාතාවරණයට පස්සේ ප්‍රේක්ෂකයෝ තිබුණු ඒකාකාරී බව සහ මානසික පීඩනයන් නිදහස් කරගන්න කලා භාවිතයන්වලට විශාල වශයෙන් පෙලඹිලා තිබෙනවා. සංගීත ප්‍රසංග, වේදිකා නාට්‍ය වගේ ඒවාට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වනවා. ඒ වගේම චිත්‍රපට ගත්තම විශේෂයෙන් ගජමෑන් චිත්‍රපටයේ ඉඳලම මෙරට සිනමාවේ යම් විධියක වෙනසක් සිද්ධ වෙලා තිබෙනවා. මම හිතනවා එයට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගොඩනැඟෙන සිනමා සංකීර්ණ යම් බලපෑමක් එල්ල කළා කියලා. ඒ වගේම විවිධ ශානරයේ චිත්‍රපට කිහිපයක්ම බිහිවීමත් එක්ක රසිකයන්ට විවිධත්වයකින් යුතුව නැරඹීමේ හැකියාවක් ලැබුණා. හාස්‍ය, ආදරය, ඓතිහාසික වගේම ක්‍රියාදාම ආදී විවිධ ශානරයේ චිත්‍රපට අතර මන්දාරා චිත්‍රපටයේ මගේ චරිතය නිසා එය වෙනස්ම ආකාරයේ එකක් වුණා. 


චෙෆ් නාරද ගැන කතා නොකරම බැහැ?


මෙය මලයාලම් චිත්‍රපටයකින් ආභාසය ලබාගෙන නිර්මාණය වුණු නාට්‍යයක්. මගේ චරිතය ඇත්තටම චිත්‍රපටයේ තිබුණු එකක් නෙවෙයි. එය මෙහි රචකයා හා අධ්‍යක්ෂවරයාගේ එකමුතුවෙන් ගොඩනැඟුණු එකක්. එහි නාරද කියන්නේ අමතක වීම සම්බන්ධයෙන් රෝගයකින් පෙළෙන කෙනෙක්. අපිත් සමහර වෙලාවට අධ්‍යයනය කරමින් තමයි මේක කරන්නේ. නාරදගේ රෝගය අපි භාවිත කරන ඩිමෙන්ෂියා තත්ත්වය නෙවෙයි. එයට හාත්පසින් වෙනස් තත්ත්වයක්. නාරදගේ රෝගය සම්බන්ධයෙන් සමාජයේ තර්ක විතර්ක ගොඩක් තියෙනවා. ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම, චෝදනාත් තිබෙනවා. ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ හරිම සක්‍රීයයි. චරිතයට අමතරව එහි තේමා ගීතය ගායනා කිරීම වෙනුවෙන් මට විශාල වශයෙන් ප්‍රතිචාර හිමිවෙනවා. එහි ගෞරවය මංගල ගලප්පත්ති සංගීත අධ්‍යක්ෂවරයාට හා පද රචනය කළ අංජලී බුදවත්තට හිමි වෙනවා.


මේ දිනවල විකාශය වන සීසෝ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක අවධානය අඩු බවක් දැනෙනවා?


මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ඕනෑම කාරණයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය කියන්නේ බොහොම හොඳ ප්‍රචාරණ මාධ්‍යයක්. නාට්‍යයක් ජනතාව අතරට අරගෙන යන්න ප්‍රචාරණ කටයුතු කළ යුතුයි. සීසෝ ටෙලි නාට්‍යයට මුලදී ඉතාමත් හොඳ ප්‍රචාරයක් ලැබුණත් අතරමඟදි එය අතපසු වුණාදෝ කියලා හිතෙනවා. කොහොම වුණත් සීසෝ කියන්නේ සීමිත කොටස් ගණනක නිර්මාණයක්. සීසෝ කියන්නේ ප්‍රේක්ෂකයන් මගෙන් අපේක්ෂා නොකළ ආකාරයේ රංගනයක යෙදෙන්න මට ලැබුණු අවස්ථාවක්.  මම සහ සුජානි බොහෝ කාලයකට පසුව ඒ නිර්මාණයේ එකට රංගනයේ යෙදෙනවා. ඉතාමත් හොඳ රංගන ශිල්පීන් පිරිසක් යොදාගෙන කළ  හොඳ නිර්මාණයක්. මෙතැනදී නාලිකාව, ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම හා ශිල්පීන් සියල්ල එකතුව මේ නාට්‍යයේ ප්‍රචාරණ කටයුතු පිළිබඳව එක තැනකට එන්න අවශ්‍යයි කියලා හිතනවා.


අවසන් වශයෙන් මේ වසරේ අලුතෙන් එන්න තිබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


බොහොම මෑතකදී මදර් ලංකා චිත්‍රපටය නිකුත් වෙන්න නියමිතයි. ඊට අමතරව වසරේ මැද වන විට මගේ සමකාලීන ආදරණීය මිත්‍රයෙක් වන ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ අයිස්ක්‍රීම් චිත්‍රපටය නිකුත් වීමට නියමිතයි. ඒ වගේම චමින්ද විජේසූරියගේ ෆාදර් චිත්‍රපටය නිකුත් වෙන්න නියමිතයි. ඊට අමතරව මගේ මිත්‍රයෙක් වන රුක්මන් නිරෝෂ් අධ්‍යක්ෂණය කළ අවාළු පැහැ වලාකුළක් චිත්‍රපටයත් බොහෝ දුරට මේ වසරේ නිකුත් වේවි. ඔය දේවල්වලට අමතරව ගීත ගායනය පැත්තෙන් අලුත් වැඩ කිහිපයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.



Previous Post Next Post