ජීවිතයේ හීන සැබෑ කරගන්න මිනිස්සු නොකරන දෙයක් නැහැ. අද දවසේ අපේ කතා නායකයත් හම්බන්තොට ඉඳලා කොළඹ එන්නේ නළුවෙක් වෙන හීනය සැබෑ කරගන්න. උදයකාන්තගේ “හිරිපොද වැස්ස” සිනමා නිර්මාණයෙන් ඒ හීන සැබෑ කරගෙන අන්තිමේ පුංචි තිරයෙන්ද නිතර දකින්න ලැබෙන නළුවෙක් බවට පත්වෙනවා. නමුත් කාලයක් යද්දි ඔහු නිහඬ වෙනවා. මේ වෙනකොට ඔහු අධ්යක්ෂවරයෙක් ලෙස ඔබ හමුවට ඇවිත් තිබෙනවා. ඉතිං මේ කතා බහ අකිල සඳකැලුම් සමගයි.
අකිල දිගු නිහැඬියාවකට පසුව ඔබ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් තිරගත වෙන්නේ?
ඇත්තටම මම 2005 “හිරිපොද වැස්ස” චිත්‍රපටයෙන් තමයි කලා ක්ෂේත්රයට එන්නේ. ඊට පසුව ඇත්තටම මෙගා නාට්‍ය කිහිපයකටම හිරවෙලා චිත්‍රපට කිහිපයක් මඟ හැරුණා. 2018 රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ ඩොක්ටර් නවරියන් තමයි අවසානයට මම රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙන්නේ. එතැනින් පසුව රංගනයට අවුරුදු පහක විතර විරාමයක් තියලා ව්‍යාපාර කටයුතු වගේම අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය කරන්න මහන්සිවෙලා ඒ උත්සාහය සාර්ථක වෙලා දැන් තමයි තිරගත වෙන්නේ.
2019 ඉඳලා මොනවද කළේ?
හැමෝම දන්නවනේ ලංකාවේ කලාව විතරක් කරලා ජීවත්වෙන්න අමාරුයිනේ. අවුරුදු 12ක් විතර එක දිගට රඟපාලා ස්ථාවරයක් හදාගන්න අපහසු තැන අකැමැත්තෙන් වුණත් රඟපෑමෙන් ඉවත්වෙලා ව්‍යාපාර කටයුතුවලට යොමුවුණා. ඒ අතරේ කවදාහරි අධ්යක්ෂණයට එන්න ඕනෑ හින්දා ඒ ගැන ඉගෙන ගත්තා.
නිහඬව හිටපු කාලයේ රඟපෑමට ආරාධනා ලැබුණේ නැතිද?
ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් තීරණයක් අරගෙනනේ තිබුණේ අවුරුදු පහක් මේකෙන් ඉවත්වෙලා ස්ථාවර වෙන්න ඕනෑ කියලා.
රඟපෑමට විරාමයක් තියපු එක ගැන දුකක් නැතිද?
දුකයි ගොඩක් දුකයි. මොකද මේ තැනට එන්න ගොඩක් කැපකිරීම් සිදු කළා අනික අද කාලේ වගේ නෙමෙයිනේ. අද කාලේ දැන් ටික්ටොක් එකක් කරලා දැම්මාහම හෙට උදේ රඟපාන්න. හම්බවෙනවා අපි ක්ෂේත්රයට ආපු කාලයේ යුටියුබ්, ෆේස්බුක්, ටික් ටොක් නෑ.
ඔබට ලැබුණු අවස්ථාවන්වලට බැහැ කිව්වහම ඉන් ප්‍රයෝජන ගත්ත අය නැද්ද?
තියෙනවා. මම මෙගා නාට්‍යවල රඟපාන වෙලාවේ චිත්‍රපටයකට මට ලැබුණු ආරාධනාවකට මම බැහැ කිව්වම ඒක එහෙම වුණේ මගේ දින ප්‍රශ්නයක් හින්දා. අන්තිමේ ඔහු ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වුණා.
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න නිදහස ආවේ?
2005 හිරිපොද වැස්ස තිරගතවෙන කොට එක්තරා වැඩසටහනකදී චිත්‍රපටයේ හිටපු අලුත්ම නළුවෝ පස්දෙනා ගැන අදහසක් ලබාදෙනවා. රොෂාන් ජනප්‍රිය නළුවෙක් වෙයි කියලා කිව්වා. පුබුදු දක්ෂ නළුවෙක් වෙයි කිව්වා. ජනිත් හොඳ හාස්‍ය නළුවෙක් වෙයි. ජයන්ත මාධ්‍ය ක්ෂේත්රයෙන් ඉදිරියට යයි මට කිව්වේ අකිල කවදාහරි තාක්ෂණය පැත්තෙනුත් ඉහළට යයි කියලයි කිව්වේ අන්තිමේ ඒ සියල්ල සැබෑවෙලා තියෙනවානේ.
“හදගැස්ම” පිටපත ඔබේ පුද්ගලික ජීවිතයේ අත්දැකීමක්ද?
අපි ලියනකොට අපේ ජීවිතයේ අත්දැකීම් එකතු කරගන්නවා මේ කතාව මගේ ජීවිතයේ අත්දැකීමක් නෙමෙයි. මේ කතාව හැම ගෙදරකම හැම පවුලකම සිද්ධවෙන්න පුළුවන් කතාවක්. හැබැයි මේකට පාදක වුණේ සත්‍ය කතාවක්.
අද කාලේ නිෂ්පාදකවරයෙක් සොයා ගන්නවා කියන්නේ ලේසි නැහැ නේද?
චිත්‍රපට තිරනාටක ලියාගෙන කිහිල්ලේ ගහගෙන නිෂ්පාදකවරු පස්සෙ අනන්තවත් ගිහිල්ලා ඇති. පිටපත් එකොළහක් ලියලා තියෙනවා හෙට පටන් ගන්න තියෙන වැඩේ අද නැවතිලා තියෙනවා. මොකද නිෂ්පාදකට ඕනෑ නිළිය ගන්නලු. සමහරු මම ඒ ගොල්ලෝ එක්ක කන්න බොන්න සෙට්වුණේ නැහැ කියලා ඒ ව්‍යාපෘති අතහැරියා.
එතකොට “හදගැස්ම” ට පාර කැපුණේ?
හදගැස්ම පිටපත මම රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයාව යොදාගෙන රූගත කිරීම් සිදු කරන්න. රටේ අවාසනාවට ජැක්සන් අයියා නැති වුණා. ඊට පසුව මෙහි චරිතය රඟපාන්න තමයි අර්ජුන අයියට කතා කළේ. ඔහු නිෂ්පාදනයටත් දායක වුණා.
“හදගැස්ම” අධ්‍යක්ෂණය කරද්දි මුහුණ දුන් අභියෝග?
ඇත්තටම අභියෝගවලට මුහුණ දුන්නේ නෑ. මොකද ජීවිතය කියන්නේම ප්‍රශ්න පත්තරයක්නේ. අලුත් අධ්යක්ෂවරයෙක් පළමු චිත්‍රපටය කරද්දි අභියෝග එනවා මම ඒක දන්නවා මම ඒකට මුහුණ දෙන්නත් දන්නවා. හැබැයි මාර වැඩේ කියන්නේ මට ප්‍රශ්න කිසිවක් ආවේ නෑ. මොකද මෙහි නිෂ්පාදක අර්ජුන අයියාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔහුගෙන් කිසිම බලපෑමක් මට ආවේ නෑ. හදගැස්ම කරද්දි මට හැමෝගෙන්ම සහයෝගය ලැබුණා.
ඇයි ඔබ රඟපෑවේ නැත්තේ?
මුලදී ඒ වගේ අදහසක් තිබුණා අන්තිමේ ඒ අදහස අතහැරියා.
ආපහු රඟපාන්න අදහසක් නැතිද?
මොකද නැත්තේ. රඟපානවා මගේ සිනමාවේ දෙවැනි ගමන පසුගිය නොවැම්බර් 01 වැනිදායින් ආරම්භ කළා. ඉදිරියේදී රංගනයෙන් දායක වෙන්න අදහසක් තියෙනවා.
එවැනි ආරාධනා ලැබුණද?
මාස දෙක තුනක වගේ කාලය ඇතුළත ආරාධනාවක් ලැබුණේ නැහැ. මොකද කතාව තියෙන්නේ අකිල දැන් වැඩ කරන්නේ නැහැ කියලානේ. ඒ හින්දා අකිල දැන් වැඩ කරන්න සූදානම් කියලත් කියමු.
අකිලගේ ජීවිතයේ කඩාවැටීම් එහෙම තියෙනවද?
කිසිම කලකිරිමක් නැහැ. ජීවිතය අපිට ලැබෙන්න තියෙන විදිහට භාරගන්නවා. මම කවුද කියන එක මම හොඳට දන්නවා. අලුත් මුහුණු කවුරු ආවත් මට අභියෝගයක් නෙමෙයි.
අකිලගේ පුද්ගලික ජීවිතය ගෙවීගෙන යන්නේ කොහොමද?
මම කලාවයි පුද්ගලික ජීවිතයයි පටලවා ගන්නේ නැහැ. මම ආපු ගමන ගැන සතුටුයි. මම තිස්සමහාරාමයේ කටුමැටි ගහපු ගෙදරක ගොවිතැන් කරන දෙමාපියන්ගේ දරුවෙක්. මම ගමෙන් කොළඹ එන්නේ නළුවෙක් වෙන්න බලාගෙන. රඟපාන්න සොයාගෙන හැමෝගෙම පස්සෙ ගියා. මුලින්ම ක්ෂේත්රයට එන්නේ කාර්මික ශිල්පියෙක් විදිහට. ඒ කාලේ තමයි උදයකාන්ත අයියගෙන් රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන ගෙදරට ගියේ. අන්තිමේ මගේ හීනය සැබෑ වුණා. මම කොළඹ ආපු මුල්ම දවසේ බහින්න ඕනෑ තැනවත් දැනගෙන හිටියේ නෑ. ඒ තරම් පිස්සුවක් තමයි නළුවෙක් වෙන්න තිබුණේ.
දිනේෂ් විතාන