අලුත් සිංදුවට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා-දිල්කි උරේෂා




දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ රසිකයන් අතර බොහොම ජනප්‍රිය තරුණ ගායන ශිල්පිනියක්. කාලෙක මල් පිපේ කියන දිල්කිගේ අලුත්ම ගීතයට මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් බොහෝ රසික ආකර්ෂණයක් ලැබිලා තිබෙනවා. ඉතින් දිල්කිගේ මේ අලුත්ම ගීතය ගැන වගේම ඇගේ සංගීත ජීවිතය ගැනත් මෙවර ‘හදගැස්ම’ සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


 ඔබට කොහොමද?


ගොඩක් හොඳයි. ඇත්තටම සතුටින් හොඳින් කාලය ගතකරනවා.


මේ දිනවල මොකද වෙන්නෙ?


මේ දිනවල මගේ ගීත නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් වැඩිපුරම කාලය ගත වෙන්නේ මේ නිර්මාණ එක්ක. ඒ අතර මීට දින කිහිපයකට කළින් මගේ අලුත්ම ගීතයක් සමාජ මාධ්‍යයට එක් කළා. මගේ අනෙක් නිර්මාණත් තවත් නොබෝ දවසකින් අවසන් කරන්න පුළුවන් වේවි.


කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ ෆීල්ඩ් එකට ආව මුල්ම කාලයේ ඉඳලාම අද වෙන තුරුම මගෙත් එක්ක බොහෝ රසික පිරිසක් ඉන්නවා. ඉතින් මම ඒ අය වෙනුවෙන් අලුත් නිර්මාණ ගෙන එන්නත් උත්සාහ කරනවා. විශේෂයෙන්ම පසුගියදා එළිදැක්වූ ගීතයට නම් හිතුවෙ නැති තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරය තමයි මාව හැම මොහොතකම වැටෙන්නට නොදී ඉදිරියටම අරගෙන යන්නේ.


ඔබේ අලුත්ම සින්දුව ගැනත් කතා කළොත්?


ඔව්. මගේ අලුත්ම ගීතය තමයි කාලෙක මල් පිපේ කියන ගීතය. මේ ගීතය මම මෙතෙක් ගායනා කළ ගීත ආරයෙන් තරමක් වෙනස්. මොකද මට අවශ්‍ය වුණා ටිකක් වෙනස් ගීතයක් ගායනා කරන්න. ඉතින් මේ ගීතය ලියවෙන්නේ හර්ෂණ කේ. පෙරේරා අතින්. මියුසික් කළේ සුපුන්. ඒ වගේම මියුසික් වීඩියෝ එක කළේ ඉරුෂ්ක බෝගොඩ. මේ හැමෝගෙම උදව්වෙන්, මහන්සියෙන් සහ කැපවීමෙන් තමයි මේ අපූරු නිර්මාණය බිහිවෙන්නේ. ඇත්තටම අපි හිතුවාටත් වඩා හොඳින් සාර්ථකව මේ ගීතය අවසන් කරන්න පුළුවන් වුණා. ඒ සාර්ථකත්වය රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින්ම අපට දැනෙනවා.


බොහෝදෙනා රියැලිටි ෂෝවලින් ක්ෂේත්‍රයට එන ගායක ගායිකාවන් විවේචනය කරනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ?


ඇත්තටම මට නම් එහෙම විශේෂයක් නැහැ. දක්ෂතාව තියෙනවා නම් ඕනෑම තැනක පවතින්න පුළුවන්. රියැලිටි ෂෝවලින් සංගීත ක්ෂේත්‍රයට ආවා. මේ ක්ෂේත්‍රය වෙනුවෙන් බොහෝ දේ කරන තරුණ පිරිස් ඕනෑ තරම් අද ඉන්නවා. ඇත්තටම මේ ගැන විවේචනය කරනවාට වඩා ඒ අයට තියෙන දක්ෂතාව අගය කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද විවිධ දේවල්වලට කබ ඇද ඇද ඉන්නවාට වඩා හැමෝම එකතුවලා මේ ක්ෂේත්‍ර ඇතුළේ


ලස්සන වැඩක් කරන්න පුළුවන් නම් තමයි හොඳ.


ගායක ගායිකාවන්ට සංගීත ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් ජනප්‍රියත්වය කෙතරම් වැදගත්ද?


සංගීත ක්ෂේත්‍රය ඇතුළේ ගායකයකුට හෝ ගායිකාවකට ජනප්‍රියත්වය කියන දේ බොහොම වැදගත්. මොකද ඔවුන් කරන වැඩ සමාජයට කොතරම් යනවාද කියන දේ තීරණය වෙන්නේ මේ ජනප්‍රියත්වය එක්ක. නමුත් දක්ෂතාව තියෙන ඕනෑම කෙනකුට ජනප්‍රියත්වය ගොඩනඟාගන්න එක අපහසු නැහැ. නමුත් අද කාලේ හැම දෙයක්ම රඳා පවතින්නේ ජනප්‍රියත්වයත් එක්ක.


ඔබ විවිධ ශානරවල ගීත ගායනා කරන්න උත්සාහ කරන්නේ නැද්ද?


මම බොහෝ දුරට ගායනා කරන්නේ විරහ ගීත සහ සරල සංගීතයට අයත් ගීත. නමුත් මම නිතරම වෙනස් අත්හදාබැලීම් කරන්න කැමැති කෙනෙක්. ඒ නිසාම මම වෙනත් ශානරවල ගීත මීට පෙරත් ගායනා කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම නිතරම ගායනා කරන විරහ ගීත සහ සරල සංගීතයේ ගීත නිසා රසිකයන්ට වෙනත් ශානරවල ගීත ගායනා කළාට වැඩිය මතක නැහැ.


වර්තමාන සංගීත ක්ෂේත්‍රය ගැන ඔබ මොකද හිතන්නේ?


ඇත්තටම සතුටු වෙන්න පුළුවන් තැනක නම් වර්තමානයේ සංගීත ක්ෂේත්‍රය නැහැ. නමුත් දක්ෂ ළමයින් මේ ක්ෂේත්‍රයට දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම එන්න බලාගෙනත් ඉන්නවා. ඒ සෑම දෙනාම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් දේවල් කරනවා නම් මම හිතනවා එය මේ සංගීත ක්ෂේත්‍රයේ පැවැත්මට හොඳ දෙයක් වෙයි කියලා. වර්තමානයේ සංගීත ක්ෂේත්‍රය නරකයිම කියලා බැහැර කරන්න බැහැ. නමුත් එයට එක්විය යුතු බොහෝ දේවල් තියෙනවා.


හරියට වැඩක් ගන්නවා නම් කලාකරුවකුට සෝෂල්මීඩියා කියන්නේ අපූරු තෝතැන්නක් නේද?


ඇත්තටම ඔව්. අද කාලයේ බොහෝ ගායක ගායිකාවන් මේ සෝෂල්මීඩියා හරහා මේ ක්ෂේත්‍රයට එනවා. ඒ වගේම දක්ෂතාව තියෙන ඕනෑම කෙනකුට සෝෂල්මීඩියා කියන්නේ තනිව හෝ දෙයක් කරගන්න පුළුවන් තෝතැන්නක්. මේ සෝෂල්මීඩියා නිසා අද වන විට බොහෝ සීමා මායිම් බිඳගෙන ලෝකයත් එක්ක ගැටෙමින් සංගීත නිර්මාණ කරන බොහෝ පිරිසක් අද ලංකාවේ ඉන්නවා.


අපේ රටේ සංගීත ක්ෂේත්‍රය ඇතුළේ ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?


ඇත්තටම මම මේ ක්ෂේත්‍රය ඇතුළේ බොහෝ කාලයක් රැඳිලා ඉන්න උත්සාහ කරනවා. ඒ අතර විවිධ නිර්මාණ අත්හදා බලන ගමන් හොඳ නිර්මාණ මගේ රසිකයන්ට ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් සංගීතය පැත්තෙන් මේ ක්ෂේත්‍රයට මගෙන් වියයුතු දේවල් වගේම මම කරන්න කැමැත්තෙන් ඉන්න දේවල් ක්ෂේත්‍රයට දායාද කරන්නත් බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post