බෙල්ල කඩාගෙන හරි වකුගඩු රෝගීන් වෙනුවෙන් මම ඒ දේ කරනවා කරනවාමයි - සේනක විජේසිංහ



සේනක... ජූනි 28 වැනිදා පවත්වන්න සූදානම් වන සංගීත ප්‍රසංගය ගැන අපිට කියන්න?


ජූනි 28 වැනිදා රාත්‍රී හතේ සිට මහනුවර සහස් උයනේදී අපි "Kandy Fun Blast” නමින් සංගීත ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. මෙම ප්‍රසංගයේදී සේනානායක වේරලියද්ද, උරේෂා රවීහාරි, රවි රොයිස්ටර්, සඳුන් පෙරේරා, නලින්ද රණසිංහ, අංජලී හේරත් ඇතුළු ගායික ගායිකාවන් ගීත ගායනයෙන් එකතු වෙනවා. Seeduwa Legends මෙම ප්‍රසංගය සංගීතවත් කරනවා.


වෙනත් ප්‍රසංගවලට සාපේක්ෂව මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමට සේනකට යම් අරමුණක් තියෙනවා නේද?


ඔව්... මේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒවාට එකිනෙකාට ඇඟිල්ල දිගු කරලා වැඩක් වෙන්නේ නෑ. මේ නිසාම මෙවැනි ප්‍රසංගයකින් මේ රටේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් යමක් කළ යුතු බව තේරුම් ගත්තා. මුලින්ම මෙම ප්‍රසංගයෙන් ලැබෙන ලාභයෙන් කොටසක් නුවර වකුගඩු ඒකකයට ලබාදීමට නුවර වකුගඩු සංගමයෙන් අවසරය ඉල්ලුවා. නමුත් ඔවුන්ගෙන් අපිට එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. වකුගඩු රෝගීන් වෙනුවෙන් ලොකු සේවයක් කළ මම දන්න වෛද්‍යවරයෙක් "සේනක.. වකුගඩු ව්‍යසනයෙන් ගොඩක් පීඩා විඳින්නේ අනුරාධපුර, පොළොන්නරු පැතිවල මිනිසුන්. නමුත් අද වෙද්දී අනුරාධපුරේ සිට ගිරාදුරුකෝට්ටේ, හලාවත, තිස්සමහාරාමය දක්වා මෙය  ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා උතුරුමැද පළාත්වල රෝගීන් වෙනුවෙන් මෙම කටයුත්ත කරන්න" යැයි යෝජනා කළා. අපි ඒ යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එම්. පාලිත බණ්ඩාර මහතා අපිට ඒ සම්බන්ධයෙන් ලිඛිත අවසරයක් ලබා දුන්නා. දළ වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අටදහස් ගණනකුත්, පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් පන්දහසකට වැඩි රෝගීන් පිරිසකුත්, මරණාසන්න රෝගී 1000 කට වැඩි ගණනකුත් ජීවත් වෙනවා. එමෙන්ම පවතින රුධිර කාන්දුකරණ යන්ත්‍ර (Dialysis Machine) අටක් මේ වනවිට අබලන් තත්ත්වයක තියෙන්නේ. එක්වරම මෙම යන්ත්‍ර දෙක තුනක් සම්පූර්ණයෙන්ම කැඩී ගියොත් දින කිහිපයක් ඇතුළත විශාල වකුගඩු රෝගීන් ගණනකගේ ජීවිත අවදානමට ලක්වෙනවා. මේක ඒ තරම් ලොකු ව්‍යසනයක්. අපේම රටේ  ජීවත්වෙන අපේම මිනිසුන් කොටසක් යුද්ධයක් නොකර, හදිසි අනතුරක් හෝ නොවී නිරපරාදේ මිය යන්න අප ඉඩ දිය යුතු නැහැ. මේක නරඹන්න එන, ටිකට්පතක් මිලදී ගන්න හැම කෙනෙක්ම මේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින මිනිසුන්ට අලුත් හුස්මක් ගන්න උදව් කරන අය කියලයි මම හිතන්නේ. ඔවුන් ඒ ජීවිතවල කොටස්කරුවන්. ඒක ටිකට්පතේ මිලට එහා ගිය වටිනා පුණ්‍යකර්මයක්.


මේ ප්‍රසංගයට සහභාගිවෙන කලාකරුවන් කලාකාරියන් මේ සම්බන්ධයෙන් දැනුවත්ද?


මුල සිට මේ වෙනතුරුම මම ඒ කලාකරුවන්ගෙන් මේ සඳහා විශේෂ උදව්වක් ඉල්ලුවේ නැහැ. එයාලා කොහෙන් හෝ දැනගෙන මට ඒ ගැන කතා කළොත් මිස මම ඔවුන්ට ඒ ගැන කිව්වේ නැහැ. කියන්නෙත් නැහැ. මේ ඔවුන්ගේ වෘත්තියයි. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් මෙතෙක් කතාබහ කරලා නැහැ. ලංකාවේ කලාව ඇතුළේ සිදුවන දේවල් නිසා කලාකරුවන් මම ගැන වැරදියට හිතයි කියලා බයක් මට තියෙනවා.


වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙවැනි පුණ්‍යකර්මයක් කරන්නට ඔයාට අදහසක් ඇතිවුණේ කොහොමද?


මම ජීවිතේ බොහෝ ගැටලුවලට මුහුණ දුන්න මනුස්සයෙක්. මම දෙවතාවක්ම හදිසි අනතුරුවලට මුහුණපාන්න සිදුවුණු කෙනෙක්. ඒ දෙපාරම මමත් සින්දු කියලා, සංගීත ප්‍රසංග පවත්වලා මුදල් හෙව්වා. මෙහෙම යද්දී මේ ගැන යථාර්ථය දන්නේ නැති නිසා සාමාන්‍ය සමාජයෙන් පොඩි පොඩි දෝෂාරෝපණ එන්න පටන් ගත්තා. ඒ නිසා පහුගිය කාලයේදී මහරගම පිළිකා රෝගීන් වෙනුවෙන් යමක් කරන්න අපි බලාපොරොත්තු වුණා. එහෙම හිතපු කාලයේදී මම නුවර ඉගෙන ගත්ත නිසාත්, මම අවුරුදු තිහකට වැඩි කාලයක් නුවර පරිසරයේ ජීවත් වුණු නිසාත්, මගේ ගම නුවර නිසාත්, මම මේ ප්‍රසංගය නුවරම පවත්වන්න තීරණය කළා. මගේ පුබුදු කියන නුවර යාළුවා "මචං... වකුගඩු රෝගීන් වෙනුවෙන් යමක් කරමු" කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව ජූනි මාසේ විසිඅට නුවරත් අගෝස්තු මාසේ අනුරාධපුරත් වගේම ඉදිරියේදී රට පුරා මෙම ප්‍රසංගය පවත්වා අවම වශයෙන් රුධිර කාන්දුකරණ යන්ත්‍ර දෙකක්වත් මේ රෝගීන්ට පරිත්‍යාග කරන්න අපි බලාපොරොත්තු වෙනවා.


මේ ප්‍රසංගය කරගෙන යන්න සේනකට උදව් කරන්නේ කවුද?


ඇත්තම කිව්වොත් අපිට එහෙම ලොකු පිරිස් කණ්ඩායමක් නැහැ. මගේ යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් මට උදව් කරනවා. මගේ පැරණි සිසුන් මට මේකට සහයෝගය දෙයි කියලා හිතුවා. නමුත් ඒ සහයෝගය මම හැර තුන්දෙනෙකුට පමණක් ලඝුවෙලා තියෙනවා. ඔය අතරේ මම මෙතෙක් නොදන්නා නමුත් මෙම සත් ක්‍රියාව අගය කරපු හොඳ මිනිසුන්  පිරිසක් මට උදව් කළා. මේක ඇත්තටම ලොකු අවදානමක්. අපිට තව සති දෙකකට අඩු කාලයක් තියෙන්නේ. මේ වෙද්දි අපිට කිසිම අනුග්‍රාහකයෙක් නැහැ. නමුත් මම බෙල්ල කඩාගෙන හරි මේ වැඩේ ඉවරයක් කරනවා.


රුධිර කාන්දුකරණ යන්ත්‍රය (Dialysis Machine) ලබාදීමට බලාපොරොත්තු වෙන්නේ කොහොමද?


ඔය යන්ත්‍රයක් ලක්ෂ පහළොවක් විස්සක් අතර මිලක් වෙනවා. එක ප්‍රසංගයකින් ඒ යන්ත්‍රයක් අපිට මිලදී ගන්නට බැහැ. ඒ නිසා ඉදිරියේදී ප්‍රසංග කිහිපයක්ම කරලා මේ යන්ත්‍ර මිලදී ගන්නවා. කෙසේ හෝ මම උත්සාහය අතහරින්නේ නැහැ. තාමත් ලොකු  අර්බුදකාරී තත්ත්වයක තමයි අපි ඉන්නේ.


මේ වැඩේ නිසා අමතර ඉගැන්වීම් පවා නතර කරලා කියලයි ආරංචිය?


මම කොහොම හරි මේ ප්‍රසංගය සාර්ථක කරගන්න ඕනෑ. ඒ නිසා මගේ ඉගැන්වීම් පන්ති නතර කරලයි තියෙන්නේ. මම අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක් නාලිකා කිහිපයකටම දීලා තියෙනවා. ඉදිරියේදී කුමක් හෝ නාලිකාවකින් ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි යැයි මම විශ්වාස කරනවා.


• දිශානි ජයමාලි



Previous Post Next Post