මට දැනුණු ඒ ආදරේ මගේ හිතේ හැමදාමත් තියෙනවා- බුද්ධිනි ජයවර්ධන



බුද්ධිනි ජයවර්ධන කියන්නේ දක්‍ෂ ලේඛිකාවක්, මාධ්‍යවේදිනියක්, හඬ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්, නිෂ්පාදකවරියක් මෙන්ම තිර පිටපත් රචිකාවියක්. එමෙන්ම ඇය අප රටේ එක් කලා පුරුකක සාමාජිකාවක්. ඒ ඩොමී ජයවර්ධනගේ ආදරණීය මිනිපිරිය සහ නිහාල් ජයවර්ධනගේ ආදරණීය දියණියයි. මේ දිනවල මොනරා ටීවී හි විකාශය වන “කවිතා” සහ ඉදිරියට රූ ගැන්වෙන තරු ආදරයක් කියන්නේ ඇයගේ නවතම තිර රචනාවන්. ඇයගේ තිර රචනා හි වස්තු විෂය වෙන්නේ ආදරය. ආදරේ ගැන විවිධ කෝණ වලින් රූප තිරයට කතා මවන බුද්ධිනි ජයවර්ධන රසඳුන සමඟ කළ කතාබහයි මේ.


තිර රචනා එක්ක මේ කාලයේ වැඩියෙන්ම කාර්යබහුල නිසා එතනින් අපි කතාව පටන් ගමු


මම මුලින්ම ලිව්ව තිර රචනය තමයි 2017 දී ITN නාළිකාවේ විකාශය වුණු “මේ මමයි” ටෙලි නාට්‍යයට. ඒක මගේ පළමු නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු තිර රචනාවක්. ඊට පස්සේ මම ලිව්වා බන්ධනා ටෙලි නාට්‍යය. ඒ හරහා තමයි ගොඩක් ජනප්‍රිය වෙන්නේ. මේ දවස්වල කවිතා නාට්‍යය විකාශය වෙනවා මොනරා ටීවී තුළින්.


තරු ආදරේ අලුත්ම ආදර කතාව ගැනත් කියමු?


තරු ආදරේ කියන්නේ මගේ අලුත්ම තිර රචනාව. එය සංගීතමය ආදර කතාවක්. එහි රූගත කිරීම් ජුලි මාසයේ ආරම්භ වෙනවා. එය නිෂ්පාදනය කරන්නේ ධනුෂ්ක ප්‍රනාන්දු. ඔහුගේ පළමු ටෙලි නාට්‍යය නිෂ්පාදනය. ඔහු ඔස්ට්‍රේලියාවේ ජිවත් වෙන අපේ කෙනෙක්. ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ සංදේශ් බණ්ඩාර. ඔහුගේත් පළමු ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය. සංදේශ් කියන්නේ කවුරුත් දන්නා දක්ෂ තරුණ නිර්මාණවේදියෙක්.


මේ දේවල් කරන්නේ රැකියාවකුත් අතරේ, කොහොමද කාලය කළමනාකරණය කර ගන්නේ?


මම ලයිකා ප්‍රඩක්ෂන් ශ්‍රී ලංකා කියන ආයතනයේ තිර පිටපත් උපදේශිකාවක්


(Script consultants) විදියට කටයුතු කරනවා. මේ කාලයේ මට නින්දට තියෙන්නේ පැයක් හෝ දෙකක් වගේ කාලයක්. මම ලියන්න බොහොම කැමති කෙනෙක්. විශේෂයෙන්ම ආදරේ ගැන. මම ආදරේ ගැන කතා කරන්න කැමති මිනිසුන්ගේ හැඟීම් දැනීම් ගැන ලියන්න කැමති කෙනෙක්.


කවිතා සහ තරු ආදරේ ගැන අපි කතා කළොත්?


කවිතා තුළින් මම කතා කරන්නේ අපේ සමාජයේ ගැහැනිය ගැන. එය වෙනස් තේමාවක් එක්ක යන කතාවක්. තරු ආදරේ කියන්නේ සංගීතමය ආදර කතාවක්. ජනප්‍රිය ගායන ශිල්පියෙක්ගේ ආදරේ වටා නිර්මාණය වුණු කතාවක්. එකිනෙකට වෙනස් කතා දෙකක්. හැබැයි අපි එක්ක ජිවත් වෙන අපි දකින අපි අතරේ ජිවත් වෙන කාගේ හෝ කතාවක් මේ කතා දෙක ඇතුළෙම තියෙනවා කියන විශ්වාසය මට තියෙනවා. ‍


ඔබේ බොහෝ කතාවලට මූලික වෙන්නේ ආදරේ, ඔබ ආදරේ කියවාගෙන තියෙන්නේ කොහොමද?


මම බොහොම ලස්සනට ආදරේ දැක්ක සහ වින්ද කෙනෙක්. උසස් පෙළ කරන කාලයේ මම අත්වින්ද ඒ ආදරේ මගේ කරගන්න මට මගේ දෛවය ඉඩක් තිබ්බේ නැහැ. මම හරි ලස්සනට ගෞරවාන්විත ආදරයක් වින්ද කෙනෙක්. එතැනදී මට දැනුණු ආදරේ මගේ හිතේ හැමදාම තියෙනවා. පසුකාලයේ මම සෑහෙන්න හැල හැප්පීම්වලට මුහුණ දෙනවා. ඒ මම නැති වෙලා ගිය ආදරේ හොයපු නිසා වෙන්න ඇති. ආදරේ කියලා දෙයක් මේ ලෝකයේ තියෙනවද කියන හැඟීම මට ඇවිත් තියෙනවා. මම ආදරේට ආදරේ කරන කෙනෙක් සහ අනිත් අයට ආදරේ දෙන කෙනෙක්. ආදරය කියන එක මට අනුව නම් ජීවිතය. ජීවිතය ලස්සන වෙන්නේ ආදරේ නිසා. අනිත් අය ආදරේ කරනවා දකිද්දී මම ඒ ආදරේ විඳිනවා. කවුරු හරි ලස්සන ආදර කතාවක ඉන්නවා දකින්න මම ආසයි. ඒ දේවල් තමයි මගේ අතින් ලියවෙන්නේ. මම විඳපු ආදරේ, ආදරේ නිසා මම විඳපු ජිවිතේ සහ ආදරේ හින්දා මට විඳින්න බැරි වුණු ජීවිතය මම ලියලා, මගේ රංගන ශිල්පින් ඒ චරිත රඟපෑමේදී මම වින්දනයක් ලබනවා.


තිර රචනාව වගේම බොහෝවිට ඔබේ නිර්මාණවල නිෂ්පාදිකවත් ඔබයි, මේ වගේ කාලයක නාට්‍යයක් නිෂ්පාදනය කිරීම ගැන කතා කළොත්?


මේ මමයි සහ බන්ධනා කියන ප්‍රඩක්ෂන් දෙකම මගේ. පළමු වතාවට කවිතා නාට්‍යය සම නිෂ්පාදකවරියන් දෙදෙනෙක් එක්ක පටන් ගත්තේ. නමුත් විවිධ හේතු නිසා මේ වෙද්දී ඒ නිර්මාණයත් තනියම කරගෙන යන්නේ. මගේ නිර්මාණ වලදී සම්පූර්ණ ප්‍රඩක්ෂන් පැත්ත බලන්නේ මම. එතැන කාර්මික ශිල්පින් නළු නිළියන් එක්ක දවසකට 40කට අධික පිරිසක් එක්ක මම වැඩ කරනවා. ඒ හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. ඒක හැබැයි ලේසි නැහැ. එතකොට අපිට ලේසි නැති දෙයක් පහසුවට දැනෙන්නේ අපි එකිනෙකා ගැන තියෙන අවබෝධය එක්ක.


තිර රචනාවට වැඩි ඉඩක් දෙද්දී බුද්ධිනි ජයවර්ධන කියන හඬ ශිල්පිනිය සහ රංගන ශිල්පිනියට මොකද වෙන්නේ?


හඬ කැවීම් කියන එක නම් මම බොහොම කැමැත්තෙන් අවුරුදු තුනේ හතරේ ඉඳන් කරපු කෙනෙක්. ඒ මගේ තාත්තාගේ ආභාසය එක්ක. හැබැයි මේ ගත වුණු පහුගිය අවුරුදු දෙක ඇතුළත කිසිම හඬ කැවීමකට සම්බන්ධ වෙලා නැහැ. අවුරුදු තුනේදී ඒ කියන්නෙ කිසිම දෙයක් දන්නේ නැති කාලේ රඟපාලා තියෙනවා ධර්ම ශ්‍රී කල්දේරා මහතාගේ “ගිම්හානේ ගී නාදේ” චිත්‍රපටයේ විජය කුමාරතුංග මහතා එක්ක. මට සතුටක් තියෙනවා එතුමා එක්ක රඟපාන්න ලැබීම ගැන. ඊට පසු කාලයේ නම් ලැබුණු ආරාධනා මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා මට රඟපාන්න බැහැ කියලා. නමුත් 2022 දී මට තුෂාරි අබේසේකර මහත්මිය මට කතා කළා එයාගේ චන්දොලි නාට්‍යයේ රඟපාන්න. එතැනදීත් මම බැහැ කිව්වම එයා මට කිව්වේ ඔයා රඟපාන්න එපා හැබැයි මට ඔයාගේ ඇස් දෙකයි මූණයි දෙන්නකෝ කියලා. ඒ නිසා රඟපෑවා. මට සැලකිය යුතු චරිතයක් ලැබුණා. මම හිතුවේ නැති තරමට ප්‍රතිචාරත් ලැබුණා.


ජයවර්ධන කියන නාමය මේ කලාවේ සලකුණක් තබපු නාමයක්, ඔබේ සීයා ඩොමී ජයවර්ධන සහ ඔබේ පියා නිහාල් ජයවර්ධන. මේ කලා උරුමය ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඒක මට කියන්න වචන නැහැ. ඔයා දැන් මෙහෙම අහද්දිත් මගේ ඇඟේ හිරිගඩු පිපුණා. ඒක තමයි ඇත්ත. ඩොමී ජයවර්ධන කියන සීයා පප්පා ගැන කතා කළොත් ඔහු අදටත් මිනිස්සු අතර නොමැකෙන නමක්. ඔහු ඉතාම දක්ෂ ප්‍රවීණ සිනමා නළුවෙක් සහ සිනමා අධ්‍යක්ෂවරයෙක්. මගේ සීයා පප්පා ලංකාවේ චිත්‍රපට සංස්ථාව බිහිවෙන්න පුරෝගාමී වූ කලාකරුවන් අතර මුල් වූ කෙනෙක්. සීයා පප්පාට මැතිනි දුන්නු ලිපියක පිටපතක් තවම මගේ ළඟ තියෙනවා. ඒ දේශපාලන පොරොන්දුවක් විදියට චිත්‍රපට සංස්ථාවක් දෙන්න කියලා මැතිනිට කිව්වාම, මැතිනිය ඒකට එකඟ වුණත් මගේ සීයා පප්පා සහ රෝයි ද සිල්වා මහතා, සුමනා අමරසේකර මහත්මිය ඒ ගැන ලිඛිත සටහනක් ඉල්ලා තියෙනවා. ඒ වෙලාවේ මැතිනිය ඒ ලිපිය දීලා තියෙන්නේ මගේ සීයා පප්පාගේ නමට. ඒක මට දුන්නෙත් රෝයි ද සිල්වා මහතා. එදා චිත්‍රපට සංස්ථාව බිහිවෙලා පළමු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වෙන්නෙත් මගේ සීයා පප්පා. මගේ තාත්තා නිහාල් ජයවර්ධන. ඔහුත් දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් සහ හඬ නළුවෙක්. තාත්තා තමයි සිංහල සිනමාවේ දිගම චිත්‍රපට නාමාවලි ගීතය ගායනා කරලා තියෙන්නේ. රෝමියෝ ජුලියට්හි විනාඩි 14ක් ඒ ගීතය ලියලා තිබ්බේ තිස්ස කාරියවසම් මහතා. සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා. ඒ එක්කම තාත්තා තමයි හඬ කැවීම් කරපු වෘතාන්තමය ටෙලි කතා මාලාවක පළමු හඬ කැවීම් ශිල්පියා. ටාසන්ට හඬ කැවීම් කළේ තාත්තා. ඒ පරම්පරාවේ මම සිටීම සතුටක් සහ අභිමානයක්. මම ඩොමී ජයවර්ධනගේ මිනිබිරිය සහ නිහාල් ජයවර්ධනගේ ලොකු දුව හැටියට බුද්ධිනි ජයවර්ධන කියන එකත් එක්ක බොහොමයක් දෙනා සතුටින් ආදරෙන් කතා කරනවා සහ මම මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා ඒ අය ගැන අදටත් කතා වෙනවා. මම හිතන්නේ තව කාලයක් ඒ අයගේ හැමෝගෙම හිත්වල ජිවත් වෙයි.


පුංචි තිරයෙන් සිනමාවට එන්නේ කවද්ද?


සිනමා පිටපතකට හොඳ කතා වස්තුවක් තියෙනවා. මමත් මගේ හිතින් ප්‍රාර්ථනා කරන්නේ බොහොම ඉක්මනින් මගේ පිටපතක් සිනමා නිර්මාණයක් විදියට දකින එක.


 අනුෂා රණසිංහ




Previous Post Next Post