කට් කියපු තැන ඉඳන් අපි හැමෝම බදාගෙන ඇඬුවා - උදාරි වර්ණකුලසූරිය



 ජැක්සන් සමඟ උදාරි කළ මුල්ම නිර්මාණය මොකක්ද?


ජැක්සන් අයියා එක්ක මුලින්ම මම කළේ 'එක ගෙයි සොකරි' චිත්‍රපටයයි. ඒ චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළා වගේම ඔහු නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටයයි. ඒ මීට වසර හතරකට විතර කලින්. ඔහුගෙන් ඒ ආරාධනාව ලැබුණම මම හරිම වාසනාවන්තයි භාග්‍යවන්තයි කියලා මට දැනුණා. මම ගැන විශ්වාසය තියලා මාව ඒ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට තෝරාගත්ත ඔහු මගේ කලා ජීවිතේ පියා කිව්වොත් නිවැරදියි. සිනමාවේ මට වටිනාකමක් දුන්නේ ඔහුයි. මගේ සිනමා ජීවිතේ පෙරළිකාරයා විදිහට ප්‍රේක්ෂක ආදරයත්, සිනමා නිළියක් විදිහට වැජඹෙන්නත් අවස්ථාව ලැබුණේ ජැක්සන් ඇන්තනී මහතා නිසයි. ඔහු මම ගැන විශ්වාසය තියලා 'එක ගෙයි සොකරි' චිත්‍රපටයට මාව තෝරාගත්තට පස්සෙ රටේ අති දැවැන්ත ප්‍රවීණ අධ්‍යක්ෂකවරැන් මාව ඔවුන්ගේ චිත්‍රපටවල ප්‍රධාන භූමිකාවලට තෝරාගත්තා. කලා ජීවිතේදි ඔහු මට ලබාදුන් දැනුම, ඒ අවවාද අනුශාසනා නිසා අද මට මේ විදිහට රංගන ශිල්පිනියක් විදිහට රැඳිලා ඉන්න පුළුවන් වෙලා තියෙනවා.


ජැක්සන් ඇන්තනී මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද?


ඔහු පෙර සූදානමක් ඇතිව නිර්මාණ කරන අධ්‍යක්ෂවරයෙක්. සමහරැ පුටුවේ ඉඳගෙන 'ඇක්ෂන්.. කට්' කිව්වාම අධ්‍යක්ෂවරයෙක් කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. නමුත් ජැක්සන් ඇන්තනී මහතාගේ නිර්මාණවලදී පෙර සූදානම වැඩියි. අපි චිත්‍රපටයේ රූගත කිරීම්වලට යද්දි කලාකරැවන් සියලු දෙනාට මුළු පිටපතේම දෙබස් කට පාඩම්. ඒ වෙනුවෙන් වෙනමම දෙබස් පුහුණුවීම් කළා. රංගනය පුහුණුවීම් කළා. ඔහුගේ පෙර සූදානම අති දැවැන්තයි. නිර්මාණවලට යද්දි අපේ ආත්ම ශක්තිය වැඩියි. ඒ තරමටම ඔහුගේ පෙර සූදානම වැඩියි. ඔහු අති දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් වගේම අපේ කලා ක්ෂේත්‍රයට අහිමිවුණු වටිනා දියමන්තියක්.


Q ඔහු සොබාදහමට, අපේකමට හරියට ආදරය කළ මනුස්සයෙක්. අති දුෂ්කර පළාතක 'එක ගෙයි සොකරි' රූගත කිරීම් කරද්දි ඔහු ඒ අපූර්වත්වය විඳින්න ඇති?


ඔව්. අනිවාර් යෙන්ම. 'එක ගෙයි සොකරි' සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කළේ බිබිල කියන දුෂ්කර ගමෙයි. අපි මාසයකට කිට්ටු වෙන්න ඒ ප්‍රදේශයේ හිටියා. බිබිල කියන්නෙ ලංකාවේ දුෂ්කරම පැත්තක්. අපිත් ඒ දුෂ්කර ජීවිතය ගෙව්වා. ඒ ග්‍රාමීය බව අපි උපරිමයෙන්ම වින්දා. ඒ ගමේ හිටපු මිනිස්සු ''අපි කොළඹ'' කියද්දි ''කොළඹ අහස නිල් පාටද?'' කියලත් ඇහුවා. ඒ තරමටම ඒ ග්‍රාමීය මිනිස්සු ජීවත් වුණු පරිසරයක්. ඒ වෙද්දි ඒ අය කවදාවත් රූගත කිරීමක් කරන හැටි දැකලා තිබුණේ නැහැ. ඒ චිත්‍රපටයේ සොබාදහම උපරිමයෙන්ම තියෙනවා. ඇත්තටම ඔහු ඉතා උපරිමයෙන් ඒ සොබාදහම වින්දා. අපිට ඒ වින්දනය ගැන කියලා දුන්නා. ඇත්තටම ඔහු මේ සොබාදහමට ආදරය කළ මනුස්සයෙක්.


Q නිර්මාණයකදි කලාකරැවන්ගේ ආරක්ෂාව ගැන අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඔහු තුළ තිබුණු පෙර සූදානම, දැක්ම කොහොමද?


'එක ගෙයි සොකරි' චිත්‍රපටයෙදි මගේ බෙල්ලෙ ගලක් ගැටගහලා උඩ ගලක ඉඳන් වතුරට පැනලා සියදිවි හානිකර ගන්න උත්සාහ කරන දර්ශනයක් තිබුණා. චිත්‍රපටයේ මාව මුලින්ම රූප රාමුවකින් පෙන්නන්නෙනත් ඒ කොටසෙනුයි. ඔහු මට බෙල්ලේ ගලක් ගැටගහලා 'පැනපං' කිව්වෙ නැහැ. ඒ වෙනුවෙන් මම සූදානම්ද? මට පීනන්න පුළුවන්ද? උඩ ඉඳන් පනින්න බය කෙනෙක්ද? කියන හැම දෙයක් ගැනම ඔහු මුලින්ම සොයා බැලුවා. නිර්මාණයකදි ලබා දිය යුතු හැම ආරක්ෂක පියවරක්ම ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපිට ලබා දුන්නා. ඒ වතුර මාරම සීතලයි. මගේ වටේ ආරක්ෂාව උපරිමයෙන්ම යොදවලා තිබුණා. වතුරට පනින දර්ශනයේ ඉඳන් 'කට්' කියපු ගමන් වතුර යට හිටපු මාව ක්ෂණිකව ගොඩගන්න කට්ටිය ඒ අවට ලෑස්ති කරලා තිබුණා. බිබිල ග්‍රාමීය බව තිබුණත් හැම පහසුකමක්ම උපරිමයෙන්ම ඔහු සපයලා තිබුණා. ආරක්ෂාව උපරිමයෙන්ම දුන්නා. අපිට කිසිම බයක් නැතිව අපේ රූගත කිරීම් කරන වටපිටාවක් අපිට ලබා දුන්නා.


Q 'එක ගෙයි සොකරි' චිත්‍රපටයේ සියලුම දර්ශන කොටස් අවසානයෙදි ජැක්සන් ඇන්තනීගේ ස්වරූපය, හැසිරීම කොහොම වුණාද?


'එක ගෙයි සොකරි' චිත්‍රපටයේ අවසාන දර්ශනය රූගත කිරීම් කළාට පස්සෙ අපි හැමදෙනාම බදාගෙන ඇඬුවා. 'එක ගෙයි සොකරි' චිත්‍රපට කණ්ඩායම මාසයක් පවුල් කෑවා වගෙයි හිටියෙ. 'එක ගෙයි සොකරි' චිත්‍රපට කණ්ඩායම ඒ දින විසි අට පුරාවටම බිබිලේ හිටියෙ. එකම එක වතාවක් මට අහම්බෙන් නිවාඩුවක් ලැබිලා කොළඹ ඇවිත් ගියා. ඒ හැර අපි හැමෝම මාසයක්ම එතැන එකට පවුල් කෑවා. අවසන් රූගත කිරීම 'කට්' කියපු තැන ඉඳන් අපි හැමෝම බදාගෙන ඇඬුවා. අදටත් ඒ මතකයන්වලට යද්දි පපුව රිදෙනවා. එතැනින් පස්සෙ ජැක්සන් ඇන්තනී මහතා අතින් ලියැවුණු සෑම නිර්මාණයකටම ඔහු මාව සම්බන්ධ කර ගත්තා. ඒ අතර සුනිල් ආරියරත්න මහතාගේ ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයෙත්, ජැක්සන් ඇන්තනී මහතා අවසානයට අධ්‍යක්ෂණය කළ 'දේවි ස්ම්බුලා' චිත්‍රපටයෙත් මම රඟපෑවා. ඔහුගේ අන්තිම කාලෙදි ඔහු සමඟ ළඟින්ම වැඩ කරපු කලාකාරිය මම වෙන්න ඇති. ඒ නිසා මට ඔහුගේ වියෝව දරාගන්න අමාරැයි. මගේම පවුලේ කෙනෙක් නැතිවීමේ වේදනාවක් මට තියෙන්නෙ. කවදාවත් ඒ හිස්තැන පිරවෙන එකක් නැහැ. ඔහු ගැන මතක්වෙන හැමවෙලේම පපුව බරයි.


I දිශානි ජයමාලි




Previous Post Next Post