තෝරා බේරාගෙන රඟපාන්න බැරි නළු නිළියන් හරි අසරණයි -මැල්කම් මචාඩෝ

 


චිලියානු මහාකවි පැබ්ලෝ නෙරුඩාගේ කතාව තේමාකරගනිමින් අශෝක හඳගමයන් අධ්‍යක්ෂණය කළ ‘අල්බෝරාදා’  (Aborada)  සිනමා කෘතියේ නෙරුඩාගේ සේවකයා ලෙස කළ විශිෂ්ට රංගනය උදෙසා මෙවර සිග්නිස්(OCIC) සිනමා සම්මාන උළෙලේදී හොඳම සහය නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ මැල්කම් මචාඩෝ ‘අල්බෝදාරා’ හි සිය චරිතය පිළිබඳවත් සිය සිනමා, කලා භාවිතය පිළිබඳවත් අදහස් දැක්වීමේ අරමුණින් සරසවිය හා බොහෝ කලකට පසු මෙසේ එක්විය.


ඉකුත්දා පැවැති සිග්නිස් සිනමා සම්මාන උලෙළේදී හොඳම සහය නළුවා වුණේ ඔබයි...?


අශෝක හඳගමගේ "අල්බෝරාදා" චිත්‍රපටයේ "රත්නෙ අයියා" චරිතය වෙනුවෙනුයි මෙවර සිග්නිස් සිනමා සම්මාන මම හොඳම සහය නළුවා සම්මානයට පාත්‍රවුණේ. චිත්‍රපටයේ හැටියට චිලියානු මහාකවි පැබ්ලෝ නෙරුඩාගේ කතාවයි එහි අන්තර්ගත වෙන්නේ. ඔහු ලංකාවේ චිලී තානාපතිවරයෙක් විදිහට කොන්සාල්වරයෙක් විදිහට දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත ප්‍රදේශවල ජීවත්වුණු කෙනෙක්. ඔහුගේ සේවකයා තමයි රත්නේ අයියා කියන්නේ. ඔහු ලංකාවේ සිටි දමිළ ජාතිකයෙක්....මේ චරිතය මම ඉතා ආසාවෙන් රඟපෑවේ. එහි රංගනය බොහෝදෙනෙක් අගය කළා. මෙය සම්මානයට ලක්විය යුතුයි කියා බොහෝඅය මට කියා තිබුණා. කෙසේනමුත් මෙවර සිග්නිස් සිනමා සම්මාන උලෙළේදී "රත්නෙ අයියා" හොඳම සහය නළුවා බවට පත්වුණා.


"අල්බෝරාදා' රංගනයට ආරාධනා ලැබුණේ කොහොමද ...?


අශෝක හඳගම කියන්නේ අවුරුදු 40ක විතර සිට මගේ මිත්‍රයෙක්.. අපේ ඒ හිතවත්කමට දශක 04ක් වෙනවා...මගේ පාසල් කාලයේ මාත් එක්ක එකම පන්තියේ ඉගෙනගත්ත මිතුරෙක්..මීට පෙරත් ඔහුගේ බොහෝමයක් නිර්මාණවලට මම රංගනයෙන් දායක වුණා. ඔහුම තමයි "අල්බෝරාදා" සඳහාත් මට ආරාධනා කළේ. තිරරචනය කියවලා මේ සඳහා සූදානම් වුණා.


"රත්නෙ අයියා"ව ඔබ ග්‍රහණය කරගත්තේ කෙසේද......?


සාර්ථක තිරනාටකයකින් නළුවාට විශාල මෙහෙයක් සිදුවෙනවා කියලා මම හිතනවා. තිරනාටකය තුළින් අමුද්‍රව්‍ය ලැබුණට පසුව දර්ශනතලයේදී එය ප්‍රතිනිර්මාණය කරන්න ලැබෙනවා. මෙහිදී අධ්‍යක්ෂවරයාගේ සීමා තියෙනවා. කෙසේවෙතත් මූලික අමුද්‍රව්‍ය තිරරචනයෙන් ලැබුණට පසුව සාර්ථකව මම මේ චරිතය ග්‍රහණය කරගත්තා. එසේ ග්‍රහණය කරගැනීම අධ්‍යක්ෂවරයාටත් සැහැල්ලුවක් වෙනවා. නැත්නම් නළුවාව මෙහෙයවන්න සිදුවෙනවා. අධ්‍යක්ෂවරයා කොහොමත් නළුවා, නිළිය මෙහෙයවීමක් කරනවා තමයි. තිරනාටක රචකයා අරමුණු කරගත් දේ නළුවා හෝ නිළිය තේරුම්ගැනීමයි වඩාත් වැදගත් වෙන්නේ. නෙරුඩා නොබෙල් සම්මානලාභී කවියෙක් වූ නිසා මා ඔහු ගැන අසා තිබෙනවා. ඒදේත් මට බොහෝ ප්‍රයෝජනවත් වුණා චරිතය මනාව ග්‍රහණය කරගන්න.


මෙහිදී අධ්‍යක්ෂවරයාගෙන් ඔබට ලැබුණු සහය මොනවගේද.....?


අධ්‍යක්ෂවරයා කොහොමත් අපව මෙහෙයවීම කරනවා. සිනමාව කියන්නේ ඇත්තෙන්ම තාක්ෂණය සමඟ ගමන්කරන මාධ්‍යයක්නේ. සීමාවන්වලට අනුව රංගනය මෙහෙයවීම අධ්‍යක්ෂගෙන් සිදුවුණා. අධ්‍යක්ෂ හඳගම සමඟ මා අතර තිබූ වසර 40ක පමණ මිතුදම අනුව ඔහු මාව හොඳීන් හඳුනනවා. මාත් ඔහුව හඳුනනවා. ඔහුගෙන් මගේ රංගනයට මනා සහයක් ලැබුණා කිව්වොත් නිවැරදියි.


අශෝක හඳගම සමඟ ඔබ මීට පෙරත් වැඩ කර තිබෙනවා ....?


ඔව්. 1991දී ඔහුගේ "ප්‍රභාතය" ටෙලිනාට්‍යයේදී එහි කලා අධ්‍යක්ෂණයට මම දායකවුණා . 1993දී "දුන්හිඳ අද්දර" ටෙලිනාට්‍යයේ "නන්දසේන"ගේ චරිතය කළා. 1995දී "දියකැට පහණ" ටෙලිනාට්‍යයේ "සරත් සර්" වුණේ මමයි.ඉන්පසුව 2006 වගේ "නැඟෙනහිර වෙරළින් ඇසෙන" ටෙලිනාට්‍යයේ "රාමයියා" වුණා. ඒ ටෙලිනාට්‍යය විකාශය වුණේ දෙරණ නාලිකාව ආරම්භ කළ අවධියේම වගේ. ඒ කාලයේ දෙරණ නාලිකාව බොහෝ ප්‍රදේශවලට පැහැදිලිව පෙනුණේ නැති නිසාත් මේ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයා අතරට වැඩිය ගියේ නැහැ. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගත්තොත් 1992දී "චන්ද කින්නරි"හි කර්මාන්ත ශාලාවක කම්කරුවෙක් ලෙස එහි සුළු චරිතයක් නිරූපණය කළා . 2011දී "ඉනිඅවන්" චිත්‍රපටයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස රංගනයේ යෙදුණා. මේ ආකාරයට අශෝක හඳගමයන්ගේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකටම මම මුල්කාලයේ ඉඳන්ම දායකවුණා.


ඔබ හඳගමව කියවාගන්නේ කවරාකාරයෙන් ද.....?


හඳගම නිර්මාණකරුවෙක් ලෙස අපේ බොහෝ ප්‍රේක්ෂකයන්ට සමීපයි. ප්‍රකාශනයත් සමඟ ඉදිරිගාමීව සිටින අධ්‍යක්ෂවරයෙක් කියා කියන්න පුළුවන්. ඔහු සමාජය, පරිසරය, ලෝකය දකින විදිහ අනුව ඉදිරිගාමීව සිටින්නෙක්. ඔහුගේ චිත්‍රපට මෙරට බොහෝ අයට ග්‍රහණය කරගන්න බැරිවුණා. ඒවගේම ඔහුගේ නිර්මාණවලට කැමැති පිරිසක් , ඒවා පරිශීලනය කරන පිරිසක් ඉන්නවා කියන එක සහතිකව කියන්න පුළුවන්. ඔහු නිර්මාණ භාවිතයේ ඉදිරියෙන්ම ඉන්නවා. ඔහුගේ "ඉනිඅවන්" වැනි චිත්‍රපටයකින් ඔහු යුද්ධයෙන් පසු සමාජ, දේශපාලන පසුබිම මෙන්ම යාපනය අර්ධද්වීපය වැනි දේවල් කලින්ම දැකලා තියෙනවා. ඔහුගේ සෑම නිර්මාණයකම ඒ ලක්ෂණ ඉතා පැහැදිලිව පෙනෙනවා. අනාගතයටයි ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේ. හඳගමගේ නිර්මාණවල සර්වකාලීන බවක් පැහැදිලිව පෙනෙනවා. විශේෂයෙන් යුද සමය, පශ්චාත් යුද සමය වැනි දේවල් කතා කිරීමේදී පවා එහි සමාජ, දේශපාලන හරය කලින්ම දැකලා තිබෙනවා. එය ඔහුගේ ප්‍රකාශනය තුළ වඩාත් සර්වකාලීනව ගැඹුරින් කතා කරනවා. ඒ ගැඹුර මෙරට සමහර ප්‍රේක්ෂකයාට වටහාගන්න අපහසුයි. ඔහුගේ නිර්මාණ භාවිතය ප්‍රේක්ෂක, විචාරක අගය කිරීම්වලට ද ඉහළින්ම ලක්ව තිබීම සතුටට කරුණක්....


ඔබ මෙවර හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමේදී ඔබත් සමඟ නිර්දේශවූ අනෙක් රංගන ශිල්පීන් කවුරුන්ද....?


මාත් සමඟ "ප්‍රාණ" චිත්‍රපටයෙන් ශ්‍යාම් ප්‍රනාන්දුත් එම චිත්‍රපටයේම රඟපෑ විදෙස් ජාතික රංගන ශිල්පියෙකුත් නිර්දේශ වුණා .


අල්බෝරාදා" රූගතකිරීම් කළ අවධිය ගැන කිව්වොත් ...?


2021 අගෝස්තු මාසයේ තමයි මෙහි රූගතකිරීම් සිදුවුණේ . කොරෝනා සමයේ එය සිදුවුණේ. අම්බලන්තොට ප්‍රදේශයේ තමයි දර්ශනතල තිබුණේ . දවස් 15ක් 20ක් වගේ ෂූටින් සිදුවුණා. මෙහි ප්‍රධාන චරිත රඟපෑ විදෙස් ජාතික "ලුවිස් රොමෙරෝ" සහ බුරුම ජාතික රංගන ශිල්පිනියක් වන "ඈන් සොලේන් හන්තේ"යන දෙදෙනාත් සමඟ සුහදව කටයුතු කරන්න ලැබුණා. ඔවුන් අප සමඟ ඉතා මිත්‍රශීලි වුණා. ඔවුන් විදෙස් ජාතිකයන් වුණාට නිර්මාණය සාර්ථක කරගන්න ඔවුන්ගෙන් පුදුම සහයක් ලැබුණා. අපිත් ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. ඈන් සොලේන් හන්තේ නමැති නෙරුඩාගේ පෙම්වතිය වන එම නිළිය වෘත්තියමය නිළියක්. ඇය රංගනයේ යෙදෙන අවස්ථා බලාගෙන ඉන්නත් ආසයි. ඔවුන් අපිව වසර ගණනක ඉඳන් දන්නවා වගේ තමයි ඇසුරු කළේ. අනෙක් ශිල්පීන් ලංකාවේ අය . ඔවුන්ව අපි හඳුනනවානේ.


ඔබේ මුල්ම රංගන අත්දැකීම් විස්තර කළොත්....?


මම වේදිකාවෙන් තමයි රංගනයට පිවිසියේ. මා ඉගෙනගත්තේ කෑගල්ල ශාන්ත මරියා පාසලේ. එහිදී වේදිකාවට සම්බන්ධ වුණා. අපේ සංගීත ගුරුවරයා වුණේ සමන් බොකලවෙලයන්ගේ මල්ලි සෝමපාල බොකලවෙල. ඔහුගේ වේදිකා නාට්‍යයකින් තමයි නාට්‍යකලාව ඉගෙනගත්තේ. ඒ නාට්‍යය වුණේ පංචතන්ත්‍රය ඇසුරින් නිර්මාණය කළ "උකුණු මකුණු කතාව" එයින් තමයි ප්‍රසිද්ධ වේදිකාවට දොරගුළු විවර වුණේ.... අශෝක හඳගමත් මගේම පාසලේ මාත් එක්ක එකට ඉගෙනගත්ත එකම පන්තියේ සිටි යාළුවෙක්.


ඔබට රංගනය කියන විෂයය එතරම් ආගන්තුක වුණේ නැහැ මම සිතන්නේ....?


නැහැ, පාසල් කාලයේ ඉඳන්ම රඟපෑම් කළ නිසා ප්‍රසිද්ධ වේදිකාවේදී, සිනමාවේදී චකිතයක් ඇතිවුණේ නැහැ... පුහුණුව ලැබුවා. පාසල් රංගනය මට ලොකු අත්වැලක් වුණා . අපේ ගුරුවරුන් අවස්ථාවල ඉඳන්ම අපට හොඳීන් රංගනය ඉගැන්වුවා . ඒවගේම පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා , ඩග්ලස් සිරිවර්ධන වගේ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වුණා. ඒවායින් විශාල දැනුම් සම්භාරයක් ලබාගත්තා.... ඒ වැඩමුළුවලට දායකවෙන්න ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ.


රංගනයේදී ඔබ ගුරුකොට ගත් පිරිසක් වේද....?


ඒකට අහවලා කියලා නම් වශයෙන් කියන්න අමාරුයි . ලංකාවේ, ලෝකයේ රඟපෑම් දැකලා තිබුණා. චරිත නිරූපණ දැකලා තිබුණා. කාගේවත් එහෙම විශේෂ ආභාසයක් ගන්නේ නැහැ. මගේ හැකියාව ඉදිරියට ගන්න බැහැ එහෙම ආභාසයක් ගත්තොත්....විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන් වගේ විශිෂ්ට රංගන ශිල්පීන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔවුන්ගේ රංගනයන් හදාරලා ඉගෙනගත්තා. ඒවගේම "බඹරු ඇවිත්, අහස් ගව්ව, සොල්දාදු උන්නැහේ " වගේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ චිත්‍රපට අපට ගැළපෙනවා. ඒවායින් බොහෝදේවල් අපි ඉගෙනගත්තා වගේම ජීවිතයට එයින් බොහෝදේවල් එකතු කරගත්තා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, වසන්ත ඔබේසේකර, පරාක්‍රම නිරිඇල්ල වගේ සිනමා අධ්‍යක්ෂවරුන් ගුරුකොටගත්තා කිව්වොත් හරි. ඒ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ හොඳීන් අධ්‍යයනය කළා.


ඔබ වැඩිපුරම නිර්මාණවල දක්නට ලැබෙන්නේ නැහැ. එහෙත් ඔබ මෙරට සිනමාවට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස මම දකිනවා...?


මට ආරාධනා ලැබෙන විදිහටයි මම නිර්මාණ භාරගන්නේ. මාව සුදුසුයි කියා හිතෙන අය මට පෞද්ගලිකව කතා කරනවා. මට කතා කරද්දී ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම වෘත්තියමය වශයෙන් නීතිඥ වෘත්තියේ යෙදෙන කෙනෙක්. අවුරුදු 30ක් සක්‍රියව නීතිඥ වෘත්තියේ යෙදෙනවා. ඒ වැඩත් එක්ක නිර්මාණවලට කතාකරන විදිහට ඒවාට සම්බන්ධ වෙනවා.


වේදිකාවේ ඔබේ භූමිකාව කෙසේද....?


වේදිකා නාට්‍යවලට කියලා සම්බන්ධ වුණේ අශෝක හඳගමගේම "භූමිකා, හෙණ" වේදිකා නාට්‍ය දෙකට සහ ඡ්.ර්.ච්. උපාලිගේ "පියාඹන අස්සයා" වේදිකා නාට්‍යයටයි.


මෙරට සිනමා කෘති අන්තර්ජාතික සම්මානයට ලක්වෙනවා. ඒ ගැන ඔබේ මතය කෙසේද....?


අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. ඔවුන් අන්තර්ජාතික තලයට යනවා. වෙළෙඳපොළ භාණ්ඩයක් ලෙස අන්තර්ජාතික වෙළෙඳපොළේ එය විකිණීම කියන සාධකයේදී අන්තර්ජාතික ප්‍රජාව අතර අපේ නිර්මාණ සහ අපේ සිනමාව ඉතා සෙමින් ගමන් කරන්නේ. අපට නියම වෙළෙඳපොළක් තවම නිර්මාණය වෙලා නැහැ. ඉන්දියාව වගේ මහා සිනමාවක් තිබෙන රටවල් එක්ක අපට තරඟ කරන්න බැහැ. අපේ යම්කිසි මට්ටමක් තියෙන්නේ. ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර, විසාකේස චන්ද්‍රසේකරම් වගේ අය සෑහෙන මට්ටමක තරඟයක් දෙනවා අන්තර්ජාතික මට්ටමින්. ඔවුන්ව අපි අගය කළ යුතුයි.


හඳගමගේ චිත්‍රපටවලට අමතරව ඔබ වෙනත් නිර්මාණකරුවන්ගේ සිනමා කෘතිවලටත් දායක වුණාද....? පරාක්‍රම නිරිඇල්ලගේ "අයෝමා" චිත්‍රපටයේ සුළු චරිතයක් කළා. විසාකේස චන්ද්‍රසේකරම්ගේ "පාංශු" හි රඟපෑවා. ඒවගේම මම ඕනෑම අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩකරනවා. විශේෂයක් කියලා නැහැ. මට ගැළැපෙන චරිතයක් තිබේනම් රඟපානවා. එහෙම විශේෂ චරිතයක් කියලා නැහැ


ඔබට නිර්මාණයකට ආරාධනා ලැබුණාම මූලික වශයෙන් සලකා බලන යම් කරුණු තිබේද....?


මුලින්ම පිටපත තමයි බලන්නේ. පිටපත ගැන සෑහීමකට පත්වෙනවා නම් මට අධ්‍යක්ෂවරයා එතරම් ප්‍රශ්නයක් නැහැ. පිටපත හොඳනම් අධ්‍යක්ෂවරයාත් හොඳවෙන්න ඕනනේ.


හඳගමගේ නිර්මාණයන් හැරුණුකොට ඔබ රංගනයෙන් දායකවූ වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ ටෙලි නිර්මාණ ගැන කතා කළොත් ...?


ආනන්ද අබේනායකගේ "සාරා" ටෙලිනාට්‍යය. ප්‍රදීප් ධර්මදාසගේ "සික්කා ටීම්" . ඉනෝකා සත්‍යාංගනී, සුදත් මහදිවුල්වැව ආදීන්ගේ ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයකට දායක වී තියෙනවා


1990 දශකයේ නිර්මාණය වූ ටෙලිනාට්‍ය හා සාපේක්ෂව බලද්දී අද මෙගා ටෙලිනාට්‍ය ගැන මොකද හිතෙන්නේ....?


දැනුත් හොඳ නිර්මාණ ඉඳලාහිටලා නිර්මාණය වෙනවා. ජගත් මනුවර්ණගේ "කොඩි ගහ යට" , ලකා ධර්මරත්නගේ "කූඹියෝ" , ලලිත් රත්නායකගේ "ජීවිතයේ එක් දවසක්" වගේ ටෙලිනාට්‍ය බිහිනොවෙනවාම නෙවෙයි. මෙගාරැල්ල කියලා අද විශාල රැල්ලක් හැදිලනේ. නළු නිළියන්, කාර්මික ශිල්පීන් ජීවත්වෙන්නත් ඕනනේ. කර්මාන්තයක් ලෙස පවතින්න ඒවාත් කරන්න වෙනවා. එතැනදී සමහර නළුනිළියන් හරිම අසරණයි. ඔවුන්ට චරිත තෝරාබේරාගෙන රඟපාන්න බැරි තත්ත්වයකුයත් තිබෙනවා


තිරරචනාවක් ලියන්න අදහසක් නැද්ද...?


තවම නම් ඒ ගැන අදහසක් නැහැ.


අධ්‍යක්ෂණ කාර්යයට අත තියන්න හිතුණේ නැද්ද.....?


අධ්‍යක්ෂණයටත් එහෙම අදහසක් නම් නැහැ. මම වෙනත් වෘත්තියක යෙදෙන නිසා ඒ ගැන හිතුවේ නැහැ. රංගනයට තමයි කැමැත්ත තියෙන්නේ


ඉදිරි නිර්මාණ ගැන සඳහන් කළොත්....?


දැනට නම් නිර්මාණ මුකුත් නැහැ. ඉදිරියට ආරාධනා ලැබුණොත් භාරගන්නවා


ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත් .....?


මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා උසස් අධ්‍යාපනය ලබනවා. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ



Previous Post Next Post