මගේ තාත්තා ගොවියෙක් තඹුත්තේගමට මේ කිරුළ මහමෙරක්-අංජලී හේරත්




පසුගිය දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී දෙරණ ඩී්‍රම් ස්ටාර් 11 වැනි අදියරේ කිරුළ තමන් සතු කරගැනීමට තඹුත්තේගම අංජලී හේරත් සමත් වෙනවා. බහ තෝරන වියේ පටන්ම ගීත ගායනයට හුරු වුණ ඇය අද ගුවන් හමුදා නිළධාරිනියක්. තමන් ලද ජයග්‍රහණය ගැන අංජලී මේ විදිහට හඬ අවදි කළා.


අංජලී ඩී්‍රම් ස්ටාර් කිරුළ ජයග්‍රහණය කරනවා?


මුලින්ම කියන්න ඕන” ඒ ගැන ගොඩක් සතුටුයි. ඩී්‍රම් ස්ටාර් වෙන්න ඕනා කියන හීනය තිබුණා. නමුත් මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියල හිතුවෙ නැහැ.


 ජයග්‍රහණය ඔබට ලැබෙන බවට විශ්වාසයක් තිබුණාද?


නැහැ” ඔඩිෂන්වලින් සිලෙක්ට් වෙලා ඉදිරියට එද්දි අවසන් 72 දෙනා අතරට ආවට පස්සෙ තමයි ටීවී එකේ සජීවීව ගායනා කරන්න පටන්ගත්තෙ. එතැන ඉඳන් මම ටාගට් කරනව අවසන් 24 දෙනා අතරට එන්න. එතැනින් පස්සෙ මගේ ඉලක්කය වෙන්නෙ අවසන් 12 දෙනා අතරට එන එක. ඒ 12 දෙනා අතරට තේරෙන අතරතුර ඇකඩමි එකට ගන්නෙ අවසන් 10 දෙනා කිව්වා. එතැන් පටන් ෆයිනල් දක්වා යන්න ඕන කියන බලාපොරොත්තුව මට ඇතිවෙනව.


● පිටකවරය ගීතයෙන් ඔබ වඩාත් ජනප්‍රිය වුණා?


මම මුලින්ම ජනතාව අතරට ගියේ ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයෙන්. එතනදි මට නොහිතන විදිහේ රසික පිරිසක් හැදුනා. එතනින් ඉදිරියට එනකොට පිටකවරෙ ගීතයෙන් වෙනමම පිරිසක් මට එකතු වුණා. තවත් ආදරය කරන්න පටන්ගත්තා. එතනින් ඉදිරියට එනකොට මාව හඳුන්වන්න ගත්තෙ අමු සිංදුව කිව්ව අංජලී කියල. ඒකම අවසන් තරගයට ගායනා කරන්නත් මම තෝරා ගත්තා.


අවසන් මහා තරගයේදී සංජීව ලෝලියෙන්ස් දැක්වූ ප්‍රතිචාරය ගැන ඔබේ අදහස?


මම හිතන්නෙ මම සතුටුම වෙන්න ඕන හේතුව ඒක. මොකද නියම ගායකයා ඉදිරියේ මම ගීතය ගායනා කළේ. ගීතය අවසන් වුණ ගමන් ඔහු නැගිටලා අත්පුඩි ගහනව. තරගය අවසන් වුණාට පස්සෙ මගෙ ළඟට ඇවිත් අපි හොඳ වැඩක් කරමු නංගී කියල මට කතා කළා. එවැනි නිහතමානී කලාකරුවෝ අපේ රටේ ඉන්නවා කියන දේත් ලොකු ආඩම්බරයක්.


 ඔබේ රසිකයො සමාජ මාධ්‍ය තුළ ඔබ වෙනුවෙන් නිහඬ මෙහෙවරක් කළා?


ඇත්තටම ඒක මං කරල තියෙන ලොකු පිනකට සිදු වුණ දෙයක්. මම කොහොමටවත් බලාපොරොත්තු වුණේ නැහැ මිනිස්සු මට මේ තරම් උදව් කරයි” මේ තරම් ආදරය කරයි කියල. ලංකාවේ වගේම විදේශයන්හි ඉන්න ලාංකිකයන් පවා ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ සහයෝගයට බොහෝම ස්තූතියි.


 පවුලෙන් ලැබුණ සහයෝගය මොන වගේද?


මගේ අම්මයි තාත්තයි නිසයි අද මම මෙතන ඉන්නෙ. මම මේ තැන ඉන්නව දකින්න ලොකුම ආසාව තිබුණෙ මගේ තාත්තට. අවසන් 72ට තේරුණ දවසේ තාත්තා කිව්වා ඩී්‍රම් ස්ටාර් වෙන්නෙ මමමයි කියල. එයාට සමහර දේවල් දරාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි කළේ ගොඩක් වෙලාවට හිත හදපු එක. මොකද මම සිංදු කියනකොට තාත්තා හැමදාම කළේ අඬන එක. පස්සෙ පස්සෙ ඔහු ඒකට හුරු වුණා.


අංජලී ගැන විස්තර ටිකක් කිව්වොත්?


මගේ ගම තඹුත්තේගම. පවුලේ ඉන්නෙ මමයි” අම්මයි” තාත්තයි” නංගිලා දෙන්නයි. මගේ තාත්තා ගොවියෙක්. අම්මා මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. ලොකු නංගි කැම්පස්. දෙවැනියා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා.


 ගමෙන් ලැබුණෙ මොන වගේ සහයක්ද?


තඹුත්තේගම කියන්නෙ හරි අහිංසක පුංචි නගරයක්. අහිංසක මිනිස්සු ඉන්නෙ. එයාලට මගේ ජයග්‍රහණය මහමෙරක් වගේ. මට වඩා මගේ ගමේ පිරිස මේ ජයග්‍රහණය ගැන සතුටු වෙනවා.


 සංගීතය කොතෙක් දුරට හදාරලා තියෙනවාද?


මේ හැකියාව මට උපතින් ලැබුණ දෙයක්. මගේ අම්මට වගේම අම්මගෙ තාත්තටත් සිංදු කියන්න පුළුවන්. අම්මා කියන්නෙ මට කතාකරන්න පුළුවන් වුණ කාලෙ ඉඳන් මම සිංදු කිව්වලු. ඒ හැකියාව හඳුනාගත්ත නිසා අම්මා ඒ සම්බන්ධව තියෙන හැම වැඩකටම මාව එක්කගෙන ගියා. උසස් පෙළ දක්වාම මියුසික් කළා වගේම උසස් පෙළට කළේත් මියුසික්.


 ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්නෙ?


උසස් පෙළ විභාගයට දෙවතාවක් මුහුණ දුන්නා. දෙවැනිවර ප්‍රතිපල එක්ක මම එයාෆෝස් එකේ බෑන්ඩ් එකට සම්බන්ධ වෙනව. මගේ ආසාව තිබුණෙ බෑන්ඩ් එකකට සම්බන්ධ වෙන්න වගේම යුනිෆෝම් එකක් අඳින්න.


 අවසන් මහා රාත්‍රිය ගැන මතකය අවදි කළොත්?


ඒක මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණ තත්පර කිහිපය කිව්වොත් නිවැරදියි. ෆයිනල් ස්ටේජ් එකේ පර්ෆෝර්ම් කරන එක මට තිබුණ හීනයක්. අවසන් තිදෙනා අතරට තේරුණාට පස්සෙ දෙවැනියා තුන්වැනියා වුණත් මට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඒ තරම් ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ ගායනා කරන්න ලැබීම තමයි ලොක-ුම අත්දැකීම.


 මොනවද අංජලීගේ ඉදිරි බලාපොරොත්තු?


දෙරණත් එක්ක එකතුවෙලා ලොකු ගමනක් යන්න අදහස් කරනව වගේම මගේම නිර්මාණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.


 ඔබේ රැකියා ස්ථානය ලොකු සහයක් ලබා දුන්නා?


ඇත්තටම මේ තරගය වෙනුවෙන් මාව නිදහස් කරල” මේ හැමදේටම මට උදව් කරපු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වගේම ගුවන් හමුදාපතිතුමා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔවුන්ගේ සහයෝගය නොවෙන්න මට මේ ජයග්‍රහණය මගහැරෙන්න තිබුණා.


 ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඔබට කතා කළාද?


ඔව්” හිතපු නැති විදිහට ප්‍රවීණයන් ගොඩක් දෙනෙක් කතා කරල සුබ පැතුවා වගේම එයාලත් එක්ක වැඩ කරන්න එකතු වෙන්න කියලත් කිව්වා.


ඔබේ පෙනුම තරගය වෙනුවෙන් කළ වෙනස්කමක්ද?


පොඩි කාලෙ ඉඳන් මම කොණ්ඩය වවල තිබුණෙ. නමුත් මගේම කැමැත්තෙන් උසස් පෙළ පන්තියේදි කොණ්ඩය කැපුවා. එදා පටන් මම මේ විදිහමයි. තරගය වෙනුවෙන් විශේෂ වෙනස්කමක් කළේ නැහැ.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post