කෙෂාන් කියන්නෙ හරි ගැඹුරින් ආදරය කරන කෙනෙක්-කෙෂාන් ශෂීන්ද්‍ර



ජනතා මනාපය ඉහළින්ම ලබමින් දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් – 3හි සිහින කිරුළට හිමිකම් කී යෞවනයේ සිහින කුමරා ඔහුය. එහි උණුසුම යන්නටත් මත්තෙන් දෙවෙනි ඉනිම අවන්තගේ භූමිකාව හරහා නැවතත් ප්‍රේක්ෂක හදවත් ගැඹුරින්ම ස්පර්ශ කිරීමට තරම් ඔහු භාග්‍යවන්ත විය. සෑම නිවසකම පාහේ ටෙලිවිෂනය හරහා දිගු කලක් තිස්සේ සමීපතම නෑයා බවට පත්ව සිටින අවන්තගේ භූමිකාවට පණ පොවන ඔහු නමින් කෙෂාන් ශෂීන්ද්‍රය.


ඔබ ඩ්‍රීම්ස්ටාර් සීසන් 3හි සිහින කිරුළේ හිමිකරු. ඒත් ඒ ගායකයා යටපත් කරගෙන දෙවෙනි ඉනිමේ අවන්ත ලෙසින් ඔබ තුළ සිටි රංගන ශිල්පියා ජනප්‍රිය වුණා කිවුවොත්?


දෙරණ ඩ්‍රිම්ස්ටාර් සීසන් – 3 හි කිරුළ හිමිවුණේ මට. ඒත් එක්කම දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. බොහෝවිට රියැලිටි වැඩසටහනක් ජනප්‍රිය වෙන්නෙ තාක්ෂණික පහසුකම් තියෙන එක්තරා පිරිසක් අතරේ. නමුත් ටෙලි නිර්මාණයක් ටෙලිවිෂනය හරහා ලොකු පිරිසක් අතරට යනවා. අනිත් එක තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නෙත් ඉන්දීය ටෙලි කතාවලින් අපේ රට ආක්‍රමණය වුණු කාලයක. මිනිස්සු පුදුමාකාර විදිහට ඒවට ඇබ්බැහිවෙලා හිටියා. ඒ තත්ත්වෙන් ගලවගෙන ඔවුන් අපේ දේකට ඇබ්බැහි කරගත්ත කියන්නෙම ලොකු ජයග්‍රහණයක්. දෙවෙනි ඉනිම හරහා ඒ දේ සිදුවුණා කියලා මං හිතනවා. ඒ නිර්මාණයේ හැම චරිතයක්ම වගේ ඔවුන් ආදරෙන් වැලඳගත්තා.


ඔබ කලාවට පිවිසෙන්නේ ගායකයෙක් විදිහට. සංගීතයට ද වැඩි කැමැත්ත?


සංගීතයට කැමැත්තක් තිබුණට ලොකුවට හැදෑරීමක් කරල තිබුණෙ නැහැ. මං සිංගප්පූරුවෙ රැකියාවක නිරත වෙන ගමන් චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගනිමින් හිටියෙ. වැකේෂන් එකට ලංකාවට ආපු වෙලාවෙ මගේ අම්ම තමයි මටත් හොරෙන් ඩ්‍රිම්ස්ටාර් ඇප්ලයි කරල තිබුණේ. කොහොමහරි ඒකට ඉදිරිපත් වෙලා මුල් වට දෙක තේරිලා ඉදිරියට යද්දි ආසාවක් ඇති වුණා. අන්තිමට නැවත විදෙස්ගතවීම අතෑරල ඩ්‍රීම්ස්ටාර් තෝරගත්තා. හිතුවෙවත් නැති විදිහට මට ජයග්‍රහණය හිමිවුණා. ඊට පස්සෙ තමයි මං සංගීතය ගැන ලොකුවට හදාරන්න පටන් ගත්තෙ.


රංගන ශිල්පියා නිසා ගායකයාට අසාධාරණයක් වුණා කියල හිතෙන්නෙ නැද්ද?


ඔව් ඒක ඇත්ත. වසර ගණනක් රංගන ශිල්පියා එක්කම කාර්යබහුල වුණ නිසා ගායකයා ටිකක් යටපත් වුණා. ගොඩ කාලෙකින් මගේ ගීතයක් එළියට ආවෙ නෑ. ඒකට තවත් හේතුවක් වුණේ දෙවෙනි ඉනිම කරන අතරතුරේ මං මගේ සිනමාකරණය ඩිප්ලෝමා එකත් අවසන් කළා. ඉදිරියෙදි ගායනය පැත්තට වැඩි ඉඩක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියෙදි මගේ ගීත අහන්න ලැබේවි.


ඒ කියන්නෙ කෙෂාන් ශෂීන්ද්‍ර ඉදිරියෙදි අධ්‍යක්ෂවරයාගේ භූමිකාවෙනුත් අපට හමුවේවි කියලද?


අනිවාර්යයෙන්ම. ක්ෂේත්‍රය තුළ ටික කාලයක් ඉද්දි අධ්‍යක්ෂණයට පොඩි ආසාවක් ඇති වුණා. ජාතික චිත්‍රපට සංස්ථාවෙ සිනමාකරණය පිළිබඳ පාඨමාලාව හදාරන්න පෙලඹෙන්නෙ ඒ නිසා. මං හිතන විදිහට අධ්‍යක්ෂණය සම්බන්ධව ලංකාවෙ ගන්න පුළුවන් පළවෙනි ෆවුන්ඩේෂන් එක ඒක. ඒක අවසානයේ අපිට ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරන්න වෙනවා. මං අධ්‍යක්ෂණය කළ ෂෝට් ෆිල්ම් එකක් ඉදිරියේදි දකින්න ලැබෙයි.


අවන්ත කියන්නෙ ඔබේ නිල මුද්‍රාව වගේ. වෙනත් චරිතයකින් ආවත් ප්‍රේක්ෂකයන් ඔබට ප්‍රතිචාර දක්වන්නේ අවන්තගෙ කෝණයෙන්. ඒක ඔබට අසාධාරණයක් නෙවෙයිද?


අවුරුදු ගාණක් එකම නිර්මාණය තුළ දකිද්දි මිනිස්සුන්ට ඒකාකාරී වෙනව. වෙන නිර්මාණයක වෙන චරිතයකින් ආවත් මිනිස්සු මං දිහා බැලුවෙ අවන්ත විදිහට. ඒ නිසා මං තීරණය කළා දෙවෙනි ඉනිම සීසන් -2 එකෙන් අයින් වෙලා ටික කාලයක් නිහඬව ඉඳලා, අලුත් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න.


හිතුවක්කාර ටෙලි නිර්මාණයේ රුකී ඔබේ රංගන දිවියට ආලෝකයක් වුණා කිවුවොත්?


ඇත්තටම ඔව්. තිළිණ බොරලැස්සගේ හිතුවක්කාර කියන්නෙ මගේ රංගන දිවියේ ටර්නින් පොයින්ට් එක කිවුවත් හරි. හරිම සතුටුයි ඒ වගේ අවස්ථාවක් ලැබීම. අදටත් යූටියුබ් එකේ රේටින්ස්වල ඉහළින්ම තියෙන නිර්මාණයක්. ඕනෑම කෙනෙක්ගේ හීනයක් තමයි හෙළයේ නිළි රැජන එක්ක නිර්මාණයකට දායකවීම. ඒ අවස්ථාව මට ලැබීම ලොකු සතුටක්. මාව විශ්වාස කරල මට ඒ අවස්ථාව ලබාදෙන්නෙ දෙරණ නාළිකාවේ චරිත් කොතලාවල. මුලින්ම හිතුව ඒ වගේ පරිපූර්ණ චරිතයක් එක්ක රඟපාන්න අමාරු වෙයි කියලා. නමුත් මාලිනි අක්ක එක්ක රඟපාන්න හරිම පහසුයි. හරිම නිහතමානී හදවත පිරිසුදු මනුස්සයෙක්. ‍බෙදා ගත්ත හැම අත්දැකීමක්ම, හුවමාරු කරගත් හැම වචනයක්ම මට ගොඩක් වටිනවා.‍


ඔබ රංගනයෙන් දායක වුණු කසුන් කල්හාරගේ හඳක් වගේ ගීතය මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලබනවා. ඒ අත්දැකීම ගැනත් කියමු?


මේක මං රංගනයෙන් දායක වන පළවෙනි මියුසික් වීඩියෝව. සාමාන්‍යයෙන් මං මියුසික් වීඩියෝවලට පෙනී ඉන්නෙ නැහැ. ඩිරෙක්ටර් දර්ශන රුවන් දිසානායක කියන්නෙ දක්ෂ සංගීතඥයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. කසුන් කියන්නෙත් මගේ ළඟම හිතවතෙක්. ඒ වගේම රංගනයෙන් දායක වෙන තරින්දිත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ හැමදේම එක්ක ගත්තම මේක හොඳ නිර්මාණයක්. ඒ නිසා මං ගොඩක් කැමැත්තෙන් සම්බන්ධ වුණා.


කෙෂාන් කියන්නෙ පුංචි තිරයේ ආඩම්බරකාර පෙම්වතානෙ. සැබෑ ජීවිතේ ආදරය ගැන තියෙන්නෙ මොන වගේ අත්දැකීමක් ද?


කෙෂාන් කියන්නෙ හරි ගැඹුරින් සෑහෙන්න ආදරය කරන කෙනෙක්. ආදරය කරන්න පටන් ගත්තොත් නවත්තන්නෙත් නැහැ. ආදරය කරලත් තියෙනවා. ආදරය නිසා දුක් වෙලත් තියෙනවා. ආදරය කියන්නෙ පරිත්‍යාගය කියන එකට. තමන්ගෙ දේවල් නැති කරගන්න එකට. ආදරේදි තමන් ආසකරන, ගරු කරන දේවල් නැති වෙන්න පුළුවන්. 100%ක්ම තමන්ට ගැළපෙන කෙනා කවදාවත් හමුවෙන්නෙ නෑ. කොතරම් අපි හරියි කියල හිතුවත් තව තැනකින් අපිට වඩා වෙනස් කෙනෙක් තමයි හමුවෙන්නෙ. ඒ වගේ කෙනෙක් අතෑරල හරියි කියල හිතෙන කෙනෙක්ට ළං වෙනවට වඩා ඒ කෙනා ළඟ තියෙන වැරැදි දේවල්වලට ආදරය කරලා ඒව එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් එතැන තමයි මම දකින තැන. වෙනස් වෙනවද කියල අහන්නෙ නැතුව වෙනස් වීම දරාගන්න පුළුවන්ද කියල අහන එකයි හරි. අර කියමනකුත් තියෙනවනෙ සියලු දේ වෙනස්වෙමින් පවතිනවා. වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම කියලා.


නාමලී ගමගේ




Previous Post Next Post